6. ජරූදපාන ජාතකය (256)
ජරූදපානං ඛණවානා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන සේක් සැවැත්නුවර වැසි වෙළෙන්දන් අරබයා වදාළ සේක. ඔවුන් වනාහි සැවැත් නුවරින් බඩුගෙන ගැල් පුරවා වෙළෙඳාම් පිණිස යන කල්හි බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට මහදන් දී තිසරණ ගෙන සිල්හි පිහිටා ශාස්තෲන් වහන්සේට වැඳ ස්වාමීනි! අපි වනාහි වෙළෙඳාම් පිණිස දුර පළාතකට යන්නෙමු. බඩු විකුණා සාර්ථක වූ ගමන් ඇතිව සැපසේ ආපසු අවුත් නැවත ඔබවහන්සේට වඳින්නෙමුයි කියා මගට පිළිපන්නාහුය. ඔවුහු කාන්තාර මාර්ගයෙහි පැරණි ළිඳක් දැක, මේ ළිඳෙහි ජලය නැත. අපිද පිපාසිතයෝ වෙමු. ළිඳ හාරමුයි කියා සාරමින් පිළිවෙලින් බොහෝ යකඩද -පෙ- වෛදූර්යය මැණික්ද ලැබූහ. ඔවුහු එයින්ම සතුටුව ඒ රුවන්වලින් ගැල් පුරවාගෙන සැපසේ සැවැත් නුවරට ආපසු ගියාහුය. ඔවුහු ගෙන ආ ධනය තැන්පත්කොට සාර්ථක වූ ගමන් ඇතිව දන් දෙමුයි කියා බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට දන් දී වැඳ එකත්පසෙක හුන්නාහු තමන්ට ධනය ලැබුණු ආකාරය බුදුරජාණන් වහන්සේට සැලකළාහුය. එවිට බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි! නුඹලා ඒ ධනයෙන් සතුටුව පමණ දන්නා බැවින් ධනයද, ජීවිතයද ලැබුවාහුය. පැරණි අය වනාහි ලද දෙයින් සතුටු නොවූවාහු, පමණ නොදන්නාහු නුවණ ඇති අයගේ කීම නොකොට මරණයට පත්වූහයි වදාරා ඔවුන් විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරන්නේ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර වෙළඳ කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු වෙළෙඳ කණ්ඩායමක නායකයා වූහ. හෙතෙම බරණැස් නුවරින් බඩුගෙන ගැල්පුරවා බොහෝ වෙළෙන්දන් රැගෙන ඒ කාන්තාරයටම පිළිපන්නාහු ඒ ළිඳම දුටහ. එහිදී ඒ වෙළෙන්දෝ පැන් බොන්නෙමුයි ඒ ළිඳ හාරමින් පිළිවෙලින් බොහෝ යකඩ ආදිය ලැබූහ. බොහෝ රුවන් ලැබ එයින් සතුටට පත් නොවී මෙහි මීටත් වඩා සුන්දර දේ වන්නේ යැයි ප්‍රමාණය ඉක්මවා ඒ ළිඳ හෑරූහ. ඉක්බිති ඔවුන්ට බෝසතාණන් වහන්සේ “පින්වත් වෙළෙන්දනි! මේ ලෝභය වනාහී විනාශයට මුලකි. අප විසින් බොහෝ ධනය ලබන ලදි. එපමණකින් සතුටු වෙව්. වැඩිපුර ළිඳ හාරන්න එපා යනුවෙන් කීහ. ඔහු විසින් ඔවුහු වළක්වනු ලබද්දීත් හෑරුවෝමය. ඒ ළිඳ වනාහි නාගයන් විසින් අරක් ගන්නා ලද්දක් විය. ඉක්බිති ඒ ළිඳ යට වසන නා රජ තමන්ගේ විමානය බිඳින කල්හි මැටිකැටද, පස් ද වැටෙන කල්හි කිපියේ බෝසතාණන් වහන්සේ හැර සියල්ලන්ම නාසා වාතයෙන් පහරදී මරණයට පත්කොට නාගභවනෙන් නික්ම ගැල් යොදා සත්රුවන් පුරවා බෝසතාණන් වහන්සේ සැපපහසු යානාවක හිඳුවා නාග මානවකයන් ලවා ගැල් පදවමින් බෝසතාණන් වහන්සේ බරණැස් නුවරට පමුණුවා ගෙදරට යවා ධනය තැන්පත් කොට තමන්ගේ නාග භවනටම ගියේය. බෝසතාණන් වහන්සේ ඒ ධනය වියදම්කොට සියලු දඹදිව නඟුල් උඩතබා දන්දී සිල් සමාදන් වී පෙහෙවස් රැක දිවි කෙළවර දෙව්ලොව ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා අභිසම්බෝධියට පැමිණ -
ජරූදපානං ඛණමානා වාණිජා උදකත්‍ථිකා,
අජ්ඣගංසු අයොලොභං තිපුසිසඤ්ච වාණිජා,
රජතං ජාත රූපඤ්ච මුත්තං වෙළුරියා බහු,
තෙච තෙන අසන්තුට්ඨා භීයො භියො අඛාණිසුං,
තෙතත්‍ථාසීවිසො ඝොරො තෙජසී තෙජසා හනි,
තස්මා ඛණෙ නාතිඛණෙ අතිඛාතං හි පාපකං,
ඛාතෙනච ධනං ලද්ධං අතිඛාතෙන නාසිතං,
යන මේ ගාථා වදාළ සේක.
දියෙන් ප්‍රයෝජන ඇති වෙළෙන්දෝ පැරණි ළිඳක් සාරන්නාහු කළු යකඩ, තඹ, ඊයම්, රිදී, රන්, මුතු හා දියමන්ති ලදහ.
එයින් සතුටු වූ ඔවුහු වැඩිවැඩියෙන් සෑරූහ. එහි (ළිඳෙහි) උන් දරුණු තෙද ඇති නයා තෙදින් (විසෙන්) ඔවුන් නැසීය.
එහෙයින් සාරන්න. පමණට වඩා නොසාරන්න. පමණ ඉක්මවා හෑරීම ලාමකය. ඒ කියන්නේ මෝ සෑරීමෙන් ධනය ලදී. පමණට වඩා සෑරීමෙන් නසන ලදි.
එහි, අයං යනු කළු ලෝහ (යකඩ). ලොහං යනු තඹ ලෝහ. මුත්තා යනු මුතු. තෙ ච තෙන අසන්තුට්ඨා යනු ඒ වෙළෙන්දෝ ඒ ධනයෙන් සතුටු නොවූවාහු තෙ තත්‍ථ යනු ඒ වෙළෙන්දන් ඒ ළිඳෙහි. තෙජසී යනු විෂ තෙදින් යුක්ත වූයේ. තෙජසාහනි යනු විෂ තේජසින් ඝාතනය කළේය. අතිඛාතෙන නාසිතං යනු අධික ලෙස හෑරීම නිසා ඒ ධනයත් ජීවිතයත් විනාශ විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල නාරජ නම් සැරියුත්ය. වෙළඳ නායකයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
7. ගාමණීචණ්ඩ ජාතකය (257)
නායං ඝරානං කුසලො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් නුවණ පැසසීමක් අරබයා වදාළ සේක. දම්සභාවෙහි භික්‍ෂූහු දශබලධාරීන් වහන්සේගේ නුවණ පසසමින් වැඩසිටියාහුය. ඇවැත්නි! තථාගතයන් වහන්සේ මහා ප්‍රඥා ඇති සේක. පුථු පඤ්ඤා ඇති සේක. භාසු පඤ්ඤා ඇති සේක. ජවන පඤ්ඤා ඇති සේක. නික්ඛ පඤ්ඤා ඇති සේක. සිනාව ප්‍රීතිය බහුල වූ නිවන ඇතියහ. වේගයෙන් දුවන නිබ්බේධික පඤ්ඤා ඇති සේක. දෙවියන් සහිත ලෝකයාගේ ප්‍රඥාවෙන් ඉක්මවා සිටි සේක. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යැයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර ජනසන්‍ධ නම් රජෙක් රජ කරන කල්හි බෝසතාණන් වහන්සේ ඒ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඒ කුමරුගේ මුහුණ මනාව ඔපදමන ලද කැඩපතක් මෙන් ඉතා ප්‍රසන්න විය. ඉතා සෝභාවෙන් අගතැන්පත් විය. ඒ නිසා නම් තබන දිනයේ මොහුට ‘ආදාසමුඛ කුමාරයා’ යනුවෙන් නම් තැබූහ. ඒ කුමාරයාට සත්වසක් ඇතුළතදීම පියතුමා තුන් වේදයක් ලෝකයේ කළයුතු නොකළ යුතු දෑ සියල්ල උගන්වා සත්හැවිරිදි කාලයේ කළුරිය කළේය. ඇමතිවරු මහත් සත්කාරයෙන් රජතුමාගේ ආදාහන කෘත්‍යය කොට මතක දන් දී සත්වෙනි දින රජමිදුලෙහි රැස්වී කුමරා ඉතා ලාබාලය. රාජ්‍යයෙහි අභිෂේක කිරීමට නොහැකිය. විමසා බලා ඔහු අභිෂේක කරන්නෙමුයි එක්දිනක් නුවර සරසවා විනිශ්චය කරන තැන සකසා පර්යංක ආසනය පනවා කුමරා සමීපයට ගොස් දේවයන් වහන්ස! විනිශ්චය ස්ථානයට යෑම වටීයයි කීහ. කුමාරයා යහපතැයි කියා මහත් පිරිවරින් ගෝස පර්යංක ආසනයෙහි හුන්නේය.