5. සුක ජාතකය (255)
යාව සො මත්තඤ්ඤොසි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවාසය කරන සේක් බොහෝ වැළඳීමෙන් අජීර්ණයෙන් මියගිය එක් භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව මෙසේ අපවත් වූ කල්හි දම් සභාවෙහිදී භික්ෂූහු ඇවැත්නි! අසවල් නම් භික්ෂුව තමන්ගේ කුසෙහි ප්‍රමාණය නොදැන බොහෝකොට වළඳා දිරවීමට නොහැකි වන්නේ අපවත් වූයේයයි ඔහුගේ අගුණ මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දැන් පමණක් නොවෙයි. මොහු පෙරත් පමණ ඉක්මවා ආහාර ගැනීමේ හේතුවෙන්ම මළේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමාල වන ප්‍රදේශයෙහි ගිරා යෝනියෙහි ඉපදී මුහුදට යාබද හිමාලය පැත්තක නොයෙක් දහස් ගණන් ගිරවුන්ගේ රජා වූහ. ඒ ගිරවාට එක් පුතෙක් සිටියේය. ඌ බලවත් වූ විට බෝසතාණන් වහන්සේගේ ඇස් පෙනීම දුර්වල විය. ගිරවුන්ගේ වේගය ශීඝ්‍ර වෙයි. ඒ නිසා උන් මහලු කාලයේදී පළමුවෙන්ම ඇස් පෙනීම දුර්වල වෙයි. බෝසත් ගිරවාගේ පුතා මව්පියන් කූඩුවක රඳවා ගොදුරු ගෙනවුත් පෝෂණය කළේය. ඒ ගිරවා එක් දවසක් ගොදුරු බිමට ගොස් පර්වතය මත්තෙහි සිටියේ මුහුද දෙස බලන්නේ එක් දිවයිනක් දුටුවේය. එහි වනාහි රන්වන් මිහිරි ගෙඩි ඇති අඹ උයනක් ඇත. ගිරවා දෙවන දවසේ කෑම වේලාවෙහි උඩට ඉගිලී ඒ අඹ උයනට බැස අඹ රස බී අඹ ගෙඩියක් ගෙන ගොස් මව්පියන්ට දුන්නේය. බෝසතාණන් වහන්සේ එය කමින් රසය හැඳින දරුව! මේ අඹය, අසවල් දිවයිනේ අඹ ගෙඩියක් නේදැයි ඇසූ විට, එසේය පියාණෙනි! කී කල්හි දරුව, මේ දූපතට යන්නා වූ ගිරව් වැඩි කාලයක් ජීවත් නොවෙති. ඒ නිසා නුඹ නැවත ඒ දූපතට නොයන්නැයි කීවේය. ගිරා පෝතකයා පියාගේ වචනය නො පිළිගෙන එහිම ගියේය.
දිනක් බොහෝ අඹ රස බී මව්පියන්ට අඹ ගෙඩියක් රැගෙන මුහුද උඩින් එන්නේ අඹ රස බිව් නිසා ක්ලාන්ත වූ සිරුර ඇත්තේ නිදි බරින් මඩනා ලද්දේ ගිරවා නිදිබරිතව ආවේය. තුඩින් ගේන අඹ ගෙඩිය වැටුනේය. ගිරවා පිළිවෙලින් එන මාර්ගය හැර පහතට වැටෙමින් වතුර මතුපිටින් එන්නේ දියට වැටුණේය. ඉක්බිති එක් මත්ස්‍යයෙක් ඌ ඩැහැගෙන කෑවේය. බෝසතාණන් වහන්සේ ඌ එන වේලාවට නොඑනවිට මුහුදට වැටී මළේ යයි දැන ගත්තේය. ඉක්බිති ඔහුගේ මව්පියෝද ආහාර නොලබමින් මලානිකව මැරුණාහ.
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා සම්මා සම්බුද්ධත්වයට පත්ව -
යාවං සො මත්ත මඤ්ඤාසි භොජනස්මිං විභංගමො,
තාව අද්ධානමාපාදි මාතරඤ්ච අපොසයී
තාව අද්ධානමාපාදි මාතරඤ්ච අපොසයී
යතොච ඛො බහුතරං භොජනං අජ්ඣනනුපාහරී,
තතො තත්ථෙව සංසීදි අමත්තඤ්ඤුහි සො අහු
තතො තත්ථෙව සංසීදි අමත්තඤ්ඤුහි සො අහු
තස්මා මත්තඤ්ඤුතා සාධු භොජනස්මිං අගිද්ධතා,
අමත්තඤ්ඤුහි සීදන්ති මත්තඤ්ඤෑච’න සීදරෙ
අමත්තඤ්ඤුහි සීදන්ති මත්තඤ්ඤෑච’න සීදරෙ
යන මේ ගාථා වදාළ සේක.
ඒ කුරුල්ලා ආහාරයේ පමණ මෙතරම් යයි දැන සිටි තාක් කල් ජීවත් විය. මාපියන්ද පෝෂණය කළේය.
යම්කලෙක ඒ කුරුල්ලා ආහාරයෙහි ප්‍රමාණය නොදත්තේද අධික ලෙස ආහාර අනුභව කළේද, එකල මුහුදෙහිම ගිලුණේය.
ආහාරයෙහි ප්‍රමාණය නොදන්නේ යම් හෙයකින් ගිලෙද්ද, දන්නෝ නොගිලෙත්ද එහෙයින් ආහාරයෙහි පමණ දැනීමත් එහි ගිජු නොවීමත් මැනවි.
එහි, යාවං සො යනු යම්තාක් ඒ, විහංගමො කුරුල්ලා ආහාරයෙහි, මත්ත මඤ්ඤාසි. තාව අද්ධා නමාපාදි යනු ප්‍රමාණය දැනගත්තේද එතෙක් කලක් ජීවත් විය. ආයුෂ වින්දේය. මාතරඤ්ච යනු මෙය දේශනා ශීර්ෂ පාඨයයි. මව්පියන්ද, අපොසයි පෝෂණය කළේය යන අර්ථයි. යතොච ඛො යනු යම්කිසි කාලයක, භොජනං අජ්ඣුපාහරි යනු අඹ රස අනුභව කළේද තතො යනු ඒ කාලයේ. තත්ථෙව සංසීදි යනු ඒ මුහුදෙහිම ගිලාබැස්සේය. යටගියේය. මසුන්ගේ ආහාරයක් බවට පත්විය.
තස්මා මත්තඤ්ඤුතා සාධු යනු යම් ආකාරයකින් ආහාරයේ පමණ නොදත් ගිරවා මුහුදෙහි ගිලී මළේද ඒ නිසා, භොජනස්මිං අගිද්ධතා නම් වු භෝජනයෙහි පමණ දැනීම යහපති, ප්‍රමාණය දැන සිටීම යහපත්ය යන අර්ථයි. නැතහොත් නුවණින් ප්රත්යවේක්ෂා කොට ආහාරය අනුභව කරයි. එය ක්‍රීඩා පිණිස නොවේ. -පෙ- පහසු විහරණය පිණිසයි (යනුද මෙහි අර්ථයයි)
අල්ලං සුක්ඛඤ්ච භුඤ්ජන්තො න බාළ්හං සුහිතොසියා, ඌ
නූදරො මිතාහාරො සතො භික්ඛු පරිබ්බජෙ
නූදරො මිතාහාරො සතො භික්ඛු පරිබ්බජෙ
චත්තාරො පඤ්ච ආලෙපෙ අභුත්වා උදක පිවෙ,
අලංඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො
අලංඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො
මනුජස්ස සදාසතීමතො මත්තං ජානතො ලද්ධ භොජනෙ,
නනු තස්ස භවන්ති වෙදනා සනිකං ජීරති ආයු පාලයන්ති
නනු තස්ස භවන්ති වෙදනා සනිකං ජීරති ආයු පාලයන්ති
තෙත් ආහාර හා වියලි ආහාර අනුභව කරන්නා බහුලව අනුභව නොකරන්නේහි කෑම අඩුවෙන් ගස් කුස ඇති, පමණට ආහාර ගත්, සිහියෙන් යුක්ත වූ භික්ෂුව සැරිසරන්නේය.
බත් පිඬු හතරක් පහක් නොවළඳා පැන් බොන්නේය. එය කෙලෙස් තවන වීර්යයෙන් යුත් භික්ෂුවගේ සැප විහරණය සඳහා සුදුසුය.
හැමකල්හි සිහි ඇති ලැබුණු ආහාරයේ පමණ දන්නා වූ ඒ මිනිසාගේ ශාරීරික වේදනාවෙන් තැනී වෙති. තම ආයුෂ රකිමින් ආහාර සෙමින් දිරවයි.
මෙසේ වර්ණනා කරන ලද ආහාරයේ පමණ දැනීමද යහපත්ය.
කන්තාරෙ පුත්තමංසංව අක්ඛස්සබ්භඤ්ජනං යථා,
එවං ආහරී ආහාරං යාපනත්ථාය මුට්ඨිතො’ති
එවං ආහරී ආහාරං යාපනත්ථාය මුට්ඨිතො’ති
කාන්තාරයේ පුත්‍ර මාංසය මෙන්ද රථයේ අලවංගුවට (බොස් ගෙඩියට) තෙල් දැමීමක් මෙන්ද මුළානොවී යැපීම පිණිස ආහාර අනුභව කරන්නේය.
මෙසේ වර්ණනා කරන ලද ගිජු නොවීම යහපති. පාළියෙහි (පෙළෙහි) අගිද්ධිමා කියා ලියන ලදි. එයින් අටුවාවේ එන පාඨය වඩා සුන්දරය. අමත්තඤ්ඤූ හි නිසීදන්ති යනු භෝජනයෙහි පමණ නොදන්නෝ රස තෘෂ්ණා වශයෙන් පව්කම්කොට සතර අපායවල ගිලෙත්. මත්තඤ්ඤු ච න සීදරෙ යනු යම්කෙනෙක් භෝජනයෙහි පමණ දනිත්ද ඔව්හු මෙලොවත් පරලොවත් විපතෙහි නොගිලෙත්.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර බොහෝ අය සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් වූහ. එකල භෝජනයෙහි පමණ නොදත් භික්ෂුව ගිරා පැටියා විය. ගිරා රජා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.