4. කුණ්ඩකකුච්ඡි සින්ධව ජාතකය (254)
භුත්වා තිණ පරීඝාසං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සැරියුත් මහතෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එක් සමයෙක්හි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වස් වැස චාරිකාවෙහි හැසිර ආපසු වැඩිය කල මිනිස්සු ආගන්තුක සත්කාර කරන්නෙමුයි බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහ සඟනට දන් දෙත්. විහාරයේ එක්තරා ධර්ම ඝෝෂක භික්ෂුවක් තැබූහ. හෙතෙම යම් යම් අය අවුත් යම් යම් ප්රමාණයක භික්ෂු පිරිසක් කැමති වෙත්ද (ඉල්ලත්ද) ඒ ඒ අයට භික්ෂූන් තෝරා ලබාදෙයි.
ඉක්බිති එක්තරා දුප්පත් මහලු ස්ත්රියක් එක් නමකට පමණක් දානය සකස්කොට ඒ ඒ මිනිසුන්ට භික්ෂූන් තෝරා ලබාදුන් කල උදෑසන ධර්ම ඝෝෂක භික්ෂුව වෙතට ගොස් මට එක භික්ෂුවක් දෙන්නැයි කියා ඉල්ලුවාය. සැරියුත් මහතෙරුන් වහන්සේ පමණක් විහාරයේ සිටිති. ඒ භික්ෂුව මා විසින් සියලු භික්ෂූහු තෝරා දෙන ලදහ. ඔබතුමිය උන්වහන්සේට දානය දෙවයි කීහ. ඈ යහපතියි සතුටු සිත් ඇත්තී ජේතවනාරාමයේ දොර කොටුවෙහි සිට තෙරුන් වහන්සේ වැඩමකළ අවස්ථාවේ වැඳ අතින් පාත්රය ගෙන ගෙට වැඩමවා වඩා හිඳවූවාය. එක් මහලු තැනැත්තියක විසින් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ තමන්ගේ නිවසෙහි වඩා හිඳවූ සේකැයි බොහෝ සැදැහැතියෝ ඇසූහ. ඔවුන් අතර පසේනදී කොසොල් මහරජතුමා ඒ පුවත අසා ඒ ස්ත්රියට මගේ ආර්යයන් වහන්සේට වළඳවන විට මේ සළුව ඇඳගෙන මේ කහවණු වියදම්කොට තෙරුන් වහන්සේට වළඳවන්නැයි කියා සළුවක්ද කහවණු දහසක්ද සමග දන් පිසින බඳුන්ද යැවීය. රජතුමා මෙන්ම අනේපිඬු සිටුතුමාද, සුළු අනේපිඬු සිටුතුමාද විශාකා මහෝපාසිකාවද අවශ්ය දෑ යැවූහ. සෙසු කුලවල අයද කහවණු සියය, දෙසීය ආදී වශයෙන් තම තමන්ට හැකි පමණින් කහවණු යැවූහ. මෙසේ එක් දිනකින්ම ඒ මහලු ස්ත්රිය කහවණු ලක්ෂයක් ලැබුවාය. තෙරුන් වහන්සේ ඇය විසින් දෙන ලද කැඳ පමණක් වළඳා, ඇය විසින් සකස් කළ කැවිලි වර්ගද පිසූ දානයද වළඳා අනුමෝදනා පවත්වා මහලු තැනැත්තිය සෝවාන් ඵලයෙහි පිහිටුවා විහාරයටම වැඩි සේක.
දම්සභාවෙහිදී භික්ෂූන් වහන්සේලා තෙරුන් වහන්සේලා පිළිබඳව “ඇවැත්නි! දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ මහලු ගෘහපතිනිය දුගී භාවයෙන් මිදෙව් සේක. පිහිටක් වූ සේක. ඇය විසින් පිළිගන්වනු ලැබූ ආහාරපාන පිළිකුල් නොකොට වැළඳූ සේක යනුවෙන් ගුණ කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන්යයි කී කල්හි මහණෙනි! සැරියුත් මේ මහලු ස්ත්රියට පිහිට වූයේ දැන් පමණක් නොවේ. ඇය විසින් දෙන ලද ආහාර පිළිකුල් නොකර වැළඳුවේ දැන් පමණක් නොවේ. පෙරත් වැළඳුවේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ උත්තරා පථයෙහි වෙළඳ කුලයෙහි උපන් සේක. උත්තරා පථ ජනපදවාසී පන්සියයක් අස්වෙළෙන්දෝ බරණැසට අසුන් ගෙනවුත් විකුණත්. තවත් අස් වෙළෙන්දෙක්ද පන්සියයක් අසුන් ගෙනවුත් බරණැසට යන මගට පිළිපන්නේය. අතරමග බරණැසට නුදුරෙහි එක් නියම්ගමක් ඇත. එහි පෙර මහා සම්පත් තිබූ සිටුවරයෙක් සිටියේය. ඔහුට විශාල ගෙයක් විය. ඒ කුලය ටිකෙන් ටික පරිහානියට ගියේය. එක් මහලු තැනැත්තියක් ඉතිරි වූවාය. ඈ ඒ මාලිගාවේ වාසය කරයි. ඉක්බිති ඒ අස් වෙළෙන්දා ඒ නියම්ගමට පැමිණ කුලිය දෙන්නෙමියි කියා ඒ ගෙයි නවාතැන් ගෙන අසුන් එකත්පසෙක නතර කරවීය. එදවසම ඔහුගේ එක් ආජානීය වෙළඹකට පැටවෙකු ලැබුණේය. ඔහු දෙතුන් දවසක් වාසය කොට රජු දකින්නෙමියි අසුන් රැගෙන පිටත් විය. ඉක්බිති මහලු තැනැත්තිය ඔහුට ගෙවල් කුලිය දෙන්නැයි කියා හොඳයි, අම්මේ දෙමියි කී කල්හි දරුව! මට කුලිය දෙනවිට මේ අස් පැටවාගේ වටිනාකම කුලියෙන් අඩු කරගෙන දෙවයි කීවාය. වෙළෙන්දා එසේ කොට ගියේය. ඒ තැනැත්තිය ඒ අස් පැටවා කෙරෙහි පුත් සෙනෙහස උපදවාගෙන බත් කැඳ ද ඉතිරිවන බත් දන්කුඩද (අන් සතුන් කා) ඉතිරිවන ඉඳුල් තණකොළද දී ඌ පෝෂණය කරන්නීය.
ඉක්බිති පසුකලෙක බෝසතාණන් වහන්සේ අසුන් පන්සියයක් රැගෙන එමින් ඒ ගෙයි නවාතැන් ගත්හ. කුඩු කන්නා වූ ඒ සෛන්ධව පැටියා සිටි තැන ගඳ ආඝ්රාණය කොට (ගඳ දැනී) එක අශ්වයෙකුටවත් ගෙදරට ඇතුල්වීමට නොහැකි විය. බෝසතාණන් වහන්සේ මහලු තැනැත්තියගෙන් මෑණියනි! මේ ගෙයි අශ්වයෙකු සිටිත්දැයි ඇසීය. දරුව! අනෙක් අශ්වයෙක් නම් නැත. මම වනාහි පුත් තනතුරෙහි තබා එක් අස් පොව්වෙක් පෝෂණය කරමි. ඌ මෙහි ඇත. මෑණියනි! ඌ දැන් කොහිද? දරුව! ඌ කෑමට ගියේය. මෑණියනි! කොයි වේලාවෙහි එන්නේද? දරුව! කල් ඇතිව එන්නේයයි කීවාය. බෝසතාණන් වහන්සේ උගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් අසුන් පිටත රඳවාගෙනම හුන්නේය. සෛන්ධව පෝතකයා ද ඇවිද කල් ඇතිව ආවේය. බෝසතාණන් වහන්සේ (හාල්) කුඩු ආදිය කුසෙහි ඇති සෛන්ධව පෝතකයා (කුණ්ඩක කුච්ඡි සින්ධව පෝතක) දැක දේහ ලක්ෂණ සලකා බලා මේ සෛන්ධවයා ඉතා අනර්ඝය. මැහැල්ලියට මුදල් දී ගෙනයාමට වටී යයි සිතුවේය. සෛන්ධවයාද ගෙට පිවිස තමන් වසන තැනම සිටියේය. ඒ අවස්ථාවෙහි ඒ අශ්වයන්ටද ගෙට පිවිසෙන්නට හැකි වූහ.