3. මණිකණ්ඨ ජාතකය (253)
මමන්නපාණං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අලව්නුවර අග්ගාලව චෛත්‍ය ස්ථානයෙහි වාසය කරන සේක් කුටිකාර ශික්‍ෂාපදය අරබයා වදාළ සේක. අලව්නුවර වාසී භික්‍ෂූහු උපකරණ ඉල්ලාගෙන කුටි කරවමින් පුරුෂයකු දෙන්න, අත්වැඩ දෙන්න ආදිය කියමින් ඉල්ලීම් බහුලව වාසය කළහ. ඉල්ලීමෙන් පීඩාවට පත්වූ මිනිස්සු භික්‍ෂූන් දැක බියපත් වූහ. තැති ගත්හ. පලාගියහ. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අලව් නුවරට එළඹ පිඬු පිණිස වැඩි සේක. මිනිස්සු තෙරුන් වහන්සේද දැක එසේම පිළිපැද්දාහුය. උන්වහන්සේ දන් වළඳා හවස්වරුවෙහි භික්‍ෂූන් අමතා ඇවැත්නි, පෙර නම් අලව් නුවර පිණ්ඩපාතය සුලබයි. දැන් පිණ්ඩපාතය දුලබ වූයේ ඇයිදැයි විචාරා ඒ කාරණය අසා බුදුරජාණන් වහන්සේ අලව් නුවරින් වැඩමවා අග්ගාලවක චෛත්‍යස්ථානයේ වැඩවාසය කරද්දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙම කරුණ දැන්වූහ. බුදුරජාණන් වහන්සේ මේ කරුණෙහිලා භික්‍ෂු සංඝයා රැස්කරවා අලව්නුවර වැසි භික්‍ෂූන්ගෙන් ඇත්තද මහණෙනි, නුඹලා උපකරණ ඉල්ලාගෙන කුටි කරව්දැයි විමසූහ. ඇත්තයි ස්වාමීනියි කී කල්හි ඒ භික්‍ෂූන්ට ගරහා මහණෙනි, මේ ඉල්ලීම නම් සත්රුවන් පිරි නාග භවනෙහි වසන නාගයන්ට පවා අමනාප දෙයකි. මිනිසුන් ගැන කියනුම කවරේද? එක් කහවණුවක් උපයාගන්නා අයට ගලකින් මස් උපුටාගන්නා කාලයක් මෙන් වේයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ මහත් සම්පත් ඇති බමුණු කුලයක උපන් සේක. ඔහු දුවපැන ඇවිදින කාලයේ තවත් පින් ඇති සත්ත්වයෙක් ඔහුගේ මවගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ දෙදෙනාම වැඩිවියට පත්ව මව්පියන්ගේ කාලක්‍රියාවෙන් සංවේගයට පත් සිත් ඇතිව සෘෂි පැවිද්දෙන් පැවිදිව ගංතෙර පන්සලක් සාදාගෙන විසූහ. ඔවුන්ගෙන් වැඩිමලාගේ පන්සල ගඟ ඉහළ විය. බාලයාගේ පන්සලක් ගඟ පහළ විය. ඉක්බිති එක්දිනක් මණිකණ්ඨ නම් නාරජ භවනයෙන් නික්මී තරුණ මිනිස් වෙසින් ගංතෙර හැසිරෙන්නේ කණිටු සහෝදරයාගේ අසපුවට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය. ඔවුහු ඔවුනොවුන් සතුටු සාමීචි කතාකොට හිතවත් වූහ. වෙන්ව විසීමට නොහැකි වූහ. මණිකණ්ඨ නාරජු නිතර නිතර කණිටු තවුසා සමීපයට අවුත් කථාබස් කරමින් සිට යන්නට සූදානම් වු අවස්ථාවේ තවුසාට ස්නේහයෙන් මිනිස් සිරුර අත්හාර දරණ වැලින් තාපසයා වෙළාගනිමින් වැළඳගෙන තාපසයාගේ හිස මත මහත් වූ පෙණය තබාගෙන ටික වේලාවක් නිදාගෙන ස්නේහය සංසිඳුවා තාපසයාගේ සිරුරෙන් දරණවැල ඉවත්කොට තාපසයාට වැඳ සිය භවනටම යයි. තාපසයා නාගයාට බියෙන් නොසියුම් වූයේ, දුර්වර්ණ වූයේ, සුදුමැලි වී පඬුවන් පැහැ ඇතිවූයේ නහර මතුව සිරුර ඇති වූයේ කෙට්ටු විය.
ඔහු දිනක් සහෝදරයා සමීපයට ගියේය. එවිට වැඩිහිටි සහෝදරයා සොයුර, ඔබ මෙසේ රළු වී දුර්වර්ණ වී පඬුවන් පැහැ ඇතිවී නහර ඉල්පී කෙට්ටු වූයේ කුමක් නිසාදැයි විචාළේය. කණිටු තවුසා ඔහුට ඒ පුවත කියා සිටිවිට, සොයුර! කිම ඔබ ඒ නයාගේ පැමිණීම කැමතිද, අකමැතිදැයි විචාළවිට අකමැතියයි කීවේය. ඒ නාගරාජයා නුඹ ළඟට එන්නේ කුමන පළඳනාවක් පැළඳගෙනදැයි කී කල්හි මැණිකක් යැයි කීවේය. එසේනම් නුඹ ඒ නාරජු නුඹ සමීපයට පැමිණ හිඳගන්නට කලින්ම මට මැණික දෙන්නැයි ඉල්ලව, එවිට ඒ නාගයා නුඹව දරණවැලින් වටනොකරම යන්නේය. දෙවන දවසේ අසපු දොරටුව ළඟ සිට ඌ එද්දීම ඉල්ලන්න. තුන්වන දවසේ ගංතෙර සිට දියෙන් මතුවනකොටම එය ඉල්ලන්න. මෙසේ නාගයා නුඹ සමීපයට නැවත නොඑන්නේයැයි කීවේය.
තාපසයා, යහපතැයි පිළිගෙන තමන්ගේ අසපුවට ගොස් දෙවන දවසේ නාරජු පැමිණ සිටි විටම මට මේ පළඳනා මැණික දෙවයි ඉල්ලීය. නාරජ හිඳ නොගෙනම පලාගියේය. ඉක්බිති දෙවන දවසේ අසපු දොරටුවෙහි හිඳ ඌ එද්දීම, ඊයේත් මට මැණික නොදුන්නේය. අදවත් ලැබුණොත් හොඳයයි කීවේය. නාගයා අසපුවට නොපිවිසම පලා ගියේය. තුන්වන දවසේ ඌ දියෙන් මතුවෙද්දීම අද තුන්වන දවසයි. ඉල්ලන්නා හට මේ මැණික දැන්වත් දෙවයි කීවේය. නාරජු දියෙහි සිටම තාපසයා ප්‍රතික්‍ෂේප කරමින්
මමන්නපාණං විපුලං උළාරං, උප්පජ්ජ තී මස්ස මණිස්ස හෙතු,
තං තෙ නදස්සං අතියාච කොසි, න චාපි තෙ අස්සමං ආගමිස්සං
සුසූ යථා සක්ඛර ධොතපාණි, තාසෙසි මං සෙලං යාවමානො,
තං තෙ න දස්සං අතියාචකොසි, න චාපි තෙ අස්සමං ආගමිස්සං
යන ගාථා දෙක කීවේය.
මේ මාණික්‍යය රත්නය නිසා මට උදාර වූ බොහෝ ආහාරපාන පහළ වේ. තොපට එය නොදෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහිය. එසේ හෙයින් තොපගේ අසපුවටද යළි නො එන්නෙමි.
තෙල් ගලෙහි ගා මුවහත් කළ කඩුවක් ගත් තරුණයෙකු මෙන් තොපි මැණික් ගල ඉල්ලමින් මා තැති ගැන්වූහ. ඔබ අධිකව ඉල්ලන්නෙහිය. තොපට එය නොදෙමි. තොපගේ අසපුවටද යළි නො එන්නෙමි.
එහි, මමන්නපාණං යනු මගේ කැඳබත් ආදී දිවබොජුන් ද දිව්‍යමය අෂ්ටපානද, විපුලං යනු බොහෝ, උළාරං යනු ශ්‍රේෂ්ඨ, ප්‍රණීත. තං තෙ යනු ඒ මැණික තොපට, අතියාචකොසි යනු කාලයද ප්‍රමාණයද ඉක්මවා අදට තුන් දවසක් මට ප්‍රියමනාප මැණික් රත්නය ඉල්ලමින් ප්‍රමාණය ඉක්මවූ යාචකයෙක් වෙහි. නචාපි තෙ යනු මැණික නොදෙනු පමණක් නොව ඔබේ අසපුවටත් නොඑන්නෙමි. සූසූ යථා යම් යෞවනයෙක්, තරුණ මිනිසෙක් යම්සේ ද. සක්ඛරධොන පාණි යනු ගලෙහි මුවහත් කළ අත් ඇති, තෙල් ගලෙහි මුවහත් කළ කඩුව ගත් අත් ඇති යන අර්ථයි. තාසෙසි මං සෙලං යාචමානො මේ මැණික ඉල්ලමින් නුඹ රනින් කළ මිටක් ඇති කඩුව (කොපුවෙන්) ගෙන ඔසවා ඔබේ හිස ගසාදමමියි කියන තරුණයකු මෙන් මා තැති ගැන්වූවෙහි.