2. තිලමුට්ඨි ජාතකය (252)
අජ්ජාපි මෙ තං මනසි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කිපෙනසුළු භික්‍ෂුවක අරබයා වදාළ සේක. එක්තරා භික්‍ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත වූයේය. එසේම සිත් තැවුල් බහුල සුළු වචනයකට පවා කිපෙන කෝපය ද ද්වේශය ද නොසතුට ද පළකරන ස්වභාවයෙන් යුක්ත විය. දම්සභාවෙහිදී භික්‍ෂූහු “ඇවැත්නි! අසවල් භික්‍ෂුව කිපෙනසුළු බලවත් සිත් තැවුල් ඇතිව උදුනට දැමූ ලුනු මෙන් තට තට යන ශබ්ද ඇතිව හැසිරෙයි. ක්‍රෝධ නොකරන මෙබඳු ශාසනයක පැවිදිව කෝපය පමණවත් දුරුකිරීමට නොහැකිවීයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ ඒ පුවත අසා එක් භික්‍ෂුවක් යවා ඒ භික්‍ෂුව ගෙන්වාගෙන ඇත්තද මහණ? ඔබ ක්‍රෝධ කරන්නේදැයි විචාරා ඇත්තයි ස්වාමීනියි කීකල්හි මහණෙනි! මේ භික්‍ෂුව ක්‍රෝධයෙන් යුක්ත වූයේ දැන් පමණක් නොව පෙරත් ක්‍රෝධයෙන් යුක්ත වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී ඔහුගේ පුත් බඹදත් කුමාරයා නම් විය. පැරණි රජවරු ද තමන්ගේ පුතුන් මෙසේ නසන ලද මාන, අහංකාර ඇතිව සීත, උෂ්ණ ඉවසන සුළු, ලෝ සිරිත් දන්නා අය වන්නෝ යයි තමන්ගේ නුවර දිසාපාමොක් ඇදුරුතුමා සිටිද්දීම ශිල්ප ඉගෙනීම පිණිස දුරු රටකට යවත්. ඒ නිසා ඒ රජද සොළොස් වයස් ගතවූ පුත්‍රයා කැඳවා එක් පටක් ඇති වහන් සඟලක් ද පත් කුඩයක් ද, කහවණු දහසක් ද දී දරුව! තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ගනුවයි කියා යැවීය. කුමරා යහපතැයි කියා මව්පියන් වැඳ නික්මී පිළිවෙලින් තක්සලා නුවරට පැමිණ ඇදුරුතුමාගේ නිවස විචාරා ඇදුරුතුමා තරුණයන්ට ශිල්ප උගන්වා නැගිට ගෙදර දොරටුව ළඟ සක්මන් කරමින් සිටිනවිට ගෙට ගොස් ගුරුතුමා සිටින තැන දුටුවිට එහිදීම පාවහන් ගළවා, කුඩය ඉවත්කොට ගුරුතුමාට වැඳ සිටියේය. ඇදුරුතුමා කුමාරයාගේ ක්ලාන්තභාවය දැන ආගන්තුක සත්කාර කරවීය. කුමාරයා ආහාර ගෙන මදක් විවේක ගෙන ගුරුතුමා වෙත එළඹ වැඳ සිටියේය. දරුව! කොහිසිට ආවෙහිදැයි ඇසූවිට බරණැස සිට යයි කීය. කාගේ පුතෙක්දැයි ඇසූවිට බරණැස් රජුගේ පුතායයි කීය. කුමක් සඳහා ආවෙහිදැයි ඇසූවිට ශිල්ප ඉගෙනීම පිණිස යයි කීවේය. නුඹ ගුරු පඬුරු ගෙනෙන ලදද? නැතිනම් ධර්ම අන්තේවාසිකයෙකු වීමට කැමතිදැයි ඇසීය. හෙතෙම මවිසින් ගුරු පඬුරු ගෙනෙන ලදැයි කියා, ගුරුතුමාගේ පාමුල දහසක් බැඳි පියල්ල තබා වැන්දේය.
ධර්ම අන්තේවාසිකයෝ දිවා කාලයෙහි ගුරුතුමාගේ වැඩපල කොට රාත්‍රී කාලයේ ඉගෙන ගනිත්. ගුරුපඬුරු දුන් අය ගෙදර දෙටු පුත්‍රයන් මෙන් ශිල්ප ඉගෙනීම පමණක් කරති. ඒ නිසා ඒ ගුරුතුමාද සැහැල්ලු නැකතකින් කුමරාට ශිල්ප ඉගැන්වීම ඇරඹීය. කුමාරයා ශිල්ප උගනිමින් එක්දිනක් ගුරුතුමා සමග නෑමට ගියේය. ඉක්බිති මහලු ස්ත්‍රියක් තල සුදුකොට අතුරා රකිමින් සිටියාය. කුමාර සුදු තල දැක කනු කැමැත්තේ වී එක් තලමිටක් ගෙන කෑවේය. මහලු ස්ත්‍රිය මේ ආසාව වැඩි එකෙකැයි සිතා කිසිවක් නොකියා නිහඬ වූවාය. ඔහු දෙවන දවසේ ද ඒ වේලාවේ එසේම කළේය. ස්ත්‍රියද ඔහුට එදාත් කිසිවක් නොකීවාය. ඔහු තුන්වන දිනයේද එසේම කළේය. එදා මහලු ස්ත්‍රිය දිසාපාමොක් ඇදුරුතුමා තමන්ගේ අතවැස්සන් ලවා මා සතු දේ පැහැර ගන්වන්නේ යයි දෙඅත් හිස බැඳ හැඬුවාය. ඇදුරුතුමා නැවතී කිමෙක්ද මෑණියනි’යි විචාළේය. ස්වාමීනි! ඔබවහන්සේගේ ගෝලයා මා විසින් සකස් කළ සුදු තලවලින් අද එකමිටක් කෑවේය. ඊයේ එක මිටක් කෑවේය. පෙරේදා එකමිටක් කෑවේය. මෙසේ කමින් ඔහු මා සතු තල සියල්ල නසන්නේයයි කීවාය. මෑණියනි! නොහඬන්න. මම නුඹට මුදල් දෙවන්නෙමියි කීය. ස්වාමීනි! මට මුදල්වලින් වැඩක් නැත. යම්සේ වනාහි මේ කුමාරයා නැවත මෙසේ නොකරයිද එසේ මොහු හික්මවන්නැයි කීවාය. ඇදුරුතුමා එසේනම් බලන්න මෑණියනි! මානවකයන් දෙදෙනෙකු ලවා ඒ කුමාරයා දෙඅතින් අල්ලවාගෙන උණ පතුරක් ගෙන නැවත මෙවැනි දේ නොකරවයි තුන්වරක් පිටට පහර දුන්නේය. කුමාරයා ගුරුතුමා කෙරෙහි කිපී ඇස් රතුකරගෙන දෙපාවල සිට හිස් මුදුන දක්වා බැලුවේය. ඔහු කිපී එසේ බැලූ බව ඇදුරුතුමා දැනගත්තේය. කුමාරයා ශිල්ප නිමවා කළයුතු වත් දක්වා මා විසින් මොහු මැරවිය යුතුයයි සිතා ගුරුතුමා කළ දඬුවම හිතෙහි තබාගෙන යන අවස්ථාවෙහි ගුරුතුමාට වැඳ ඇදුරුතුමනි! මම බරණැස් නුවර රජකමට පත්ව නුඹවහන්සේ කැඳවාගෙන යාමට කෙනෙකු ඔබතුමා වෙතට එවන්නෙමි. එකල්හි නුඹවහන්සේ එනු මැනවැයි කියා සෙනෙහසින් යුතු කෙනෙකු මෙන් ප්‍රතිඥා ගෙන ගියේය.
කුමරා බරණැසට ගොස් මව්පියන් වැඳ ශිල්ප දැක්වීය. රජතුමා ජීවත්ව සිටියදීම මගේ පුතා දක්නා ලදි. ජීවත්ව සිටියදීම මොහුගේ රාජ්‍යශ්‍රීය බලන්නෙමියි පුතා රාජ්‍යයෙහි පිහිටුවීය. හෙතෙම රජසැප විඳිමින්ම ගුරුවරයා විසින් කළ දෝසය (පහරදීම) සිහිකර, උපන් කෝපයෙන් ඔහු මරන්නෙමියි සිතා කැඳවාගෙන ඒමට ඇදුරුතුමා වෙත දූතයෙකු යැවීය. ගුරුතුමා ඔහුට තරුණ කාලයේදී කරුණු අවබෝධ කරවන්නට නොහැකි වන්නේ යයි නොගොස් ඒ රජුගේ මධ්‍යම වයස් කාලයේදී දැන්නම් ඔහුට හොඳ නරක අවබෝධ කරවන්න හැකිවන්නෙමියි ගොස් රජගෙදර දොරටුවෙහි සිට තක්සලා නුවර ඇදුරුතුමා ආවේයයි දන්වා යැවීය. රජතුමා සතුටුව බමුණා (ඇදුරුතුමා) කැඳවා ඔහු තමන් සමීපයට පැමිණි බව දුටුවිට කෝපය උපදවා ඇස් රතුකරගෙන ඇමතියන් අමතා එම්බල! අදත් මගේ ඇදුරුතුමා විසින් පහරදුන් තැන රිදෙයි. ඇදුරුතුමා නළලින් මරණය රැගෙන මැරෙන්නෙමියි ආවේය. අද මොහුට දිවි නැතැයි කියා -