3. සාම ජාතකය (540)
කවරෙක් මට ඊයෙන් විද්දේ ද යන කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසද්දී එක් මව්පිය උපස්ථාන කිරිමේ සිද්ධියක් අරබයා දේශනා කළ සේක. සැවැත් නුවර අසූ කෝටියක් මහ ධන සම්පත් ඇති එක්සිටු කුලයක මව්පියන් ප්‍රියමනාප වූ එකම පුතෙකු සිටියේය. ඔහු එක් දිනෙක මතුමහලට ගොස් සීමැදුරු කවුළුව හැර වීථිය දෙස බලන්නේ, ගඳමල් ආදිය අතැතිව දහම් අසනු පිණිස ජේතවනාරාමය කරා යන මහජනතාව දැක, මම ද දහම් ඇසීමට යමියි ගඳමල් ආදිය ගෙන වෙහෙරට ගොස් සිවුරු ගිලන්පස ආදිය මහ සඟනට පුදා සුවඳමල් ආදියෙන් බුදුන් පුදා එකත්පසෙක සිට දහම් අසා, කාමයන්හි ආදීනව ද පැවිද්දෙහි අනුසස් ද නුවණින් සලකා පිරිස් නික්ම ගියකල්හි භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. [missing trans] මව්පියන්ගේ අනුදැනීමක් නැතිව තථාගතයන් වහන්සේ පැවිද්ද නොදෙන්නේ යැයි දැනගෙන ආපසු ගොස් සත්දිනක් නිරාහාරව සිට මව්පියන්ගේ අවසර ලබාගෙන අවුත් පැවිද්ද ඉල්ලා සිටියේය.
තථාගතයන් වහන්සේ එක් භික්‍ෂුවකට ඔහු පැවිදි කිරීමට අණ කෙළේය. උන්වහන්සේ ඔහු පැවිදි කෙළේය. පැවිදි වූ පසු උන්වහන්සේට මහත් ලාභසත්කාර උපන්නේය. ඇදුරු උපදුරු ඇරයුම්කොට ලබන ලද උපසම්පදාව ඇති උන්වහන්සේ පස්වසක් දහම් පිරිවහා, ‘දැන් වනාහි මම නොයෙක් දැයින් ආකීරණ වූයේ වෙමි. එය මට සුදුසු නොවේ’ යැයි සිතා අරණ්‍යගතව විදර්ශනා භාවිතාවෙහි යෙදෙනු කැමතිව උපාධ්‍යායයන් වෙතින් කමටහන් ලබාගෙන එක් පිටිසර ගමකට ගොස් අරණ්‍යගතව විසීය. උන්වහන්සේ විපස්සනා වඩමින් දොළොස් වසක් ගත කෙළේය. එහෙත් කොපමණ උත්සාහ කළත් විශේෂයකට (මාර්ගඵලාදියකට) පැමිණීමට නොහැකි විය. මව්පියෝ ද ඔහු ගිය තැන්සිට දුප්පත් බවට පත්වූහ. වියපත් මහළු මව්පිය දෙදෙන කුඹුරු කරනු පිණිස හෝ වෙළඳාම පිණිස මිනිසුන් යෙදවූ නමුත් ඔව්හු මේ ගෙදර (අප ගැන) සොයා බැලීමට පුතෙකු හෝ සහෝදරයෙකු හෝ නැතැයි කියා (කිසිවක් නොකොට) තමන්ට අතට අසුවන, අසුවන දේවල් රැගෙන හිතේ හැටියට පළා ගියාහුය. ගෙදර සිටි දැසිදස් කම්කරුවෝද රන් අමුරන් ආදිය ගෙන පලා ගියාහුය.
පසුකල්හි කිසිවෙක් නැතිව දෙදෙනා තනිවිය. වතුර ටිකක්වත් ලබාගැනීමට නොහැකිව, ගෙය ද විකුණා දමා නිවසක් නොමැතිව (අනේ වූ දෙයක් යැයි) සෙසු ලෝවැස්සන්ගේ කරුණාවට පමණක් පාත්‍ර වී ඇඳිවතට පමණක් හිමිකම් ලැබ අතින් ගත් කබලැතිව සිඟා ගියාහුය. එකල එක් භික්‍ෂුවක් දෙව්රම් වෙහෙරින් නික්ම එකී තෙරුන්වහන්සේ වසන ආරාමයට පැමිණියේය. තෙරුන්වහන්සේද ආගන්තුකව පැමිණි තෙරුන්ට වත්සපයා එකත්පස්ව සිට කොහිසිට පැමිණියෝදැයි පුළුවුත්හ. ජේතවන වෙහෙරෙහි සිට පැමිණි බව කී කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ද මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ද සුවදුක් විමසා මව්පියන්ගේ තොරතුරු විමසන්නේ ‘ඇවැත්නි, සැවැත්නුවර අසවල් සිටු පවුලෙහි අය සුවසේ වසන්නේ දැයි විමසීය. ඇවැත්නි, එම සිටු පවුලෙහි තොරතුරු නොවිමසන්නැයි ආගන්තුක තෙරහු කීහ. හේතුව කිමදැයි විමසූ කල්හි එම සිටුපවුලෙහි එකම පුතා සසුන්ගත විය. ඔහු පැවිදි වූ තැන් පටන් ක්‍රමයෙන් සිටු පවුල පිරිහීමට පත්විය. මේ වනවිට දෙමහල්ලෝ අන්‍යයන්ගේ කරුණාව ලබමින් සිඟාකන්නෝය. උන්වහන්සේ එම වචන ඇසූ සැණින් විඳ දරාගත නොහී කඳුළු පිරුණ දෙනෙතින් යුතුව හඬා වැලපෙන්නට වූහ. ඇවැත්නි, කුමක් නිසා හඬවුදැයි ආගන්තුක තෙරුන් විමසූ කල්හි ස්වාමීනි, ඒ මගේ මව්පියෝය. මම ඔවුන්ගේ පුතු වෙමි’යි කීය. ඇවැත්නි, ඔබගේ මව්පියෝ ඔබ නිසාම විනාශයට ගියෝය. යව, ඔවුන් පෝෂණය කරවයි ආගන්තුක තෙරුන් කීහ.
උන්වහන්සේ ද මෙසේ සිතීය. ‘මම දොළොස් අවුරුද්දක්ම වෙහෙසී උත්සාහ කළත් මගඵලයක් ලබාගැනීමට නොහැකි වූයෙමි. එසේ අභව්‍ය පුද්ගලයෙකු වූ මට මේ පැවිද්දෙන් කුමන ඵලයක්ද? ගිහිව මව්පියන් පෝෂණය කොට, දානාදි කුසල් ද සගසුව ලබා ගනිමියි සිතා තමන්වැසි ආරාමය ආගන්තුක තෙරුන්ට බාරකොට දෙවැනි දවසේ එතැනින් නික්ම අනුපිළිවෙළින් අවුත් සැවැත්නුවරට ආසන්නයෙහි දෙව්රම පිට වෙහෙරට (පවුරින් වටවූ ආරාම, විහාර ආදී ගොඩනැගිලිවලට පිටින් වූ ආරාමය හෝ උද්‍යානය) පැමිණියේ ය. එතැන දෙමගෙකි. එක් මඟෙකින් සැවැත්නුවරට යා හැකිය. අනෙක් මඟින් දෙව්රම් වෙහෙරට යා හැකිය. තෙරහු එතන නතරව, පළමුව මව්පියන් දැකබලා ගන්නේද? නැතහොත් දශබලධාරීව ශාස්තෲන් වහන්සේ දකින්නට යන්නේදැයි සිතා මගේ මව්පියන් බොහෝ කලෙකට පෙර දුටුවෙමි. එසේ වුවත් මේ අත්බවින් පසු බුදුන් දැකීම දුර්ලභ වන්නේය. අද සම්බුදුන් දැක බණ අසා හෙට උදෑසනම මව්පියන් දකින්නෙමි යි සනිටුහන් කොට සැවැත්නුවරට යන මග හැරපියා හවස් කළ දෙව්රම් වෙහෙර බලා ගියේය. එදවස අළුයම් කල මහ කුළුණු සමවතින් ලොව බලා වදාරන ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේට මෙම කුලපුත්‍රයාගේ උපනිශ්‍රය සම්පත් පෙනී ගියේය. උන්වහන්සේ ඔහු එහි පැමිණෙන වේලෙහි ‘මාතිපොසක සූත්‍රයෙන් මව්පිය ගුණ වනමින් සිටි සේක. හෙතෙම සඟ පිරිස් කෙළවර සිට බණ අසන්නේ මට ගිහිව මව්පියන්ට උවටැන් කළ හැකි යැ’ ශාස්තෲන් වහන්සේ පැවිදි වුවද දරුවෙකුට මව්පිය උපස්ථානය කළ හැකියැයි දේශනා කරති. ඉදින් මම ශාස්තෲන් වහන්සේ නොදැක ගියේ නම් ඒ උතුම් පැවිද්දෙන් පිරිහුණේ වන්නෙමි. දැන් වනාහි ගිහියෙකු නොවීම පැවිදිව ඉඳිමින්ම මව්පියන් පෝෂණය කරන්නෙමි යි සනිටුහන් කළේය.