ඔහු (මහසත්) වනාහි එපමණ දෙයක් කියුයේ වී නමුත් හැඟීමෙන් තොරවම මෙන් කීවේය. මේ වනවිට විෂ වේගය මුළු සිරුර පුරා පැතිරී තිබුණේය. චිත්ත සන්තතිය හදවතේ ශක්තිය නිසාම පැවතුණේය. කතාව නැවතුනි. කට වැසුණි. ඇස්වල වැඩී ගියේය. අත්පා තදව ගොස් මුළු සිරුරම ලෙයින් තෙත් විය. ඉක්බිති රජතුමා දැන් මොහු මා සමග කතා කළේය. ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස දෙකත් නතර වීදැයි බැලීය. ආශ්වාස ප්‍රශ්වාස නැති වී ගොස්ය. ශරීරය තද විය. ඒ සාම මියදුණේයැ යි ශෝකය දරාගත නොහැකි වූ රජතුමා හිස අත් ගසමින් මහ හඬින් වැළපුණි. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
සරාජා පරිදෙවෙසි, බහුං කාරුඤ්ඤ සංහිතා,
අජරා මරො වහං ආසිං, අජ්ජෙ තං ඤාසි නො පූරෙ,
සාමං කාලකතං දිස්වා, ‘නත්‍ථි මච්චුස්ස නාගමො’
ඒ රජතෙමේ මම මෙපමණ කල් ජරා මරණ දෙන්නෙක් යැයි සිතුවෙමි. අද කලුරිය කළ සාම කුමරු දැක කිසිවෙකුටත් මරුගේ නොපැමිණීමක් නැතැයි දැනගතිමි. මින්පෙර එසේ නොදැක්කෙමි. මහත් කරුණාවෙන් රජතුමා මෙසේ වැළපුණෝය.
යස්සුං පතිමන්තෙති, සව්සෙන සමප්පිතො,
ස්වාජ්ජෙවං ගතෙ කාලෙ, නි කිඤ්චි මභිභාසති
විෂ සහිත ඊයෙන් විදිනු ලැබූ යමෙක් මා සමග දැන් කතා කෙළේ ද එසේ වුවත් මෙබඳු මරණාසන්න වූ කල කිසිවෙකුදු කතා නොකෙරේ.
නිරයං නූන ගච්ඡාමි, එත්‍ථ මෙ නත්‍ථි සංසයො,
තදාහි පකතං පාපං, චිර රත්තාය කිබ්බිසං
එකල මා කළ පාපය බොහෝකල් දුක් විඳීමට සමර්ථ දරුණු වූ පාප කර්මයකි. ඒකාන්තයෙන් මම නරකයට යමි. මෙහි මට සැකයෙක් නැත.
භවන්ති තස්ස වත්තාරො, ගාමෙ කිබ්බිස කාරකො,
අරඤ්ඤෙ නිම්මනුස්සම්හි, කොමං වත්තු මරහති
පව් කරන තැනැත්තා හට අපරාධකරු වෙතැයි ගමෙහි නින්දා කරන්නෝ වෙති. මිනිසුන් නැති මේ වනයෙහි මට නින්දා කරන්නට කවරෙක් සුදුසු වේද?
සාරයන්ති හි කම්මානි, ගාමෙ සංගච්ඡ මාණවා,
ආරඤ්ඤෙ නිම්මනුසම්හි, කොනු මං සාරයිස්සතීති
ගම්හි මිනිස්සු එක්වැ කළකම් සිහි කරවති. නොහොත් චෝදනා කරති. මිනිසුන් නැති මේ වනයෙහි මට කවරෙක් චෝදනා කරන්නේදැයි (පිළියක් රජ වැළපුණේය.)
එහි ආසිං මම මෙතෙක් කල් (මිනිසුන්) අජරාමර වන්නේ යැයි යනු හැඟීමෙන් යුතුව සිටියෙමි’’යි යනුයි. අජ්ජෙතං යනු අද මේ සාම කලුරිය කළ බැව් දැක මා මෙන්ම අන්‍යයන් කරාද මාරයාගේ පැමිණීම වැලකිය නොහැක්කේ යැයි දැනගතිමි. ඒ මාරයාගේ පැමිණීම අද දැනගතිමි. මින් පෙර නොදනිමියි කියා වැළපුණෝය. ස්වාජ්ජෙවං යමෙක් විස සහිත වූ ආයුධයකින් තුවාල වී මරණාසන්නව සිටියත් දැන් වනාහි ඔහු මා සමග හොඳින් කතා කරන්නේය යනුයි. එවංගතෙ කාලෙහි මෙසේ මරණාසන්න මොහොතකට පැමිණි කල කිසිවෙකුත් කතා නොකෙරේ. තදාහි ඒ වේලාවෙහි සාමට විදිමෙන් මා විසින් මහත් පාපයක් කරන ලදි. චිරරත්තාය කිබ්බිසං එය වනාහි බොහෝකල් විපාක දීමට සමත් දරුණු භයානක පාපයකි.
තස්ස යනු මෙබඳු පාපයක් කොට (සමාජයෙහි) හැසිරෙන්නහුට වත්තාරො කොහි හෝ නින්දාකොට කතා කරන්නෝ ගාමෙ කවර ගමක හෝ වෙති යනුයි. කිබ්බිසකාරකො කරන්නෝ මේ වනයෙහි මිනිසුන් නැතිකල්හි කවරෙක් මට කතා සෑදිමට සිටින්නේද යනුයි. සාරයං යනු ගමේ හෝ නියම්ගම්හි යන්නයි. සංගච්ඡමාණවා ඒ ඒ තැන්වල මිනිසුන් එක්ව එම්බල මිනීමරුව, ඔබ දරුණුම පාපයක් කර ඇත. ඔබට අසවල් අසවල් ආකාරයේ දඬුවමක් කිරිම සුදුසුය. මෙසේ දඬුවම් නියම කරමින් අපහාසද කරති. මේ මිනිසුන්ගෙන් තොර වූ වනයෙහි රජෙකු වූ මට කවරෙක් නම් චෝදනා කරන්නේ ද? කියමින් තමාම තමන්ට චෝදනා කරගනිමින් වැලපෙන්ට විය.
එකල්හි ‘බහුසොදරි’ නම් දෙව්දුවක් ගන්‍ධමාදන පර්වතයෙහි වසන්නීය. ඈ මහසත්හට ආත්ම භාව හතකට පෙර මව් වූවාය. ඕ පුත් සෙනෙහසින් නිතර බෝසත් ගැන සැලකිලිමත්ව සිටියාය. එදවස ඈ දිවසැප අනුභව කරන්නී බෝසත් ගැන ආවර්ජනා කිරීමට අසමත් වුවාය. ඈ දේව සමාගමට ගියා යැයි ද කියනු ලැබේ. බෝසත් සිහිසන් නැතිව සිටි අවස්ථාවේදි මගේ පුතා ගේ සැපදුක් කෙසේදැයි ආවර්ජනා කරන්නී සිහිසන් නැතිව සිටින බව දුටුවාය. ‘පිලියක්’ රජු මාගේ පුතාට විස සහිත ඊයකින් විද මිගසම්මත ගංතෙර සුනු වැලිතලාවෙහි හොවා මහත් හඬින් වැළපෙන්නේය. ඉදින් මා නොගියේ නම් මා පුතු ‘සුවණ්ණා සාම’ එතැනම මියැදෙන්නේය. රජුගේ ද හද පැලී මිය යන්නේය. සාමගේ මව්පියෝ නිරාහාරව දිය පොදක්වත් නොලබා සුසුම්ලමින් මිය යන්නෝය. මා ගිය කල්හි රජු පැන් කළය ගෙන බෝසත්හුගේ මව්පියන් කරා යන්නේය. ඔහුගෙන් තොරතුරු දැන එම මව්පියෝ පුතු කරා එන්නෝය. මින්පසු මම ද ඔවුන් ද සත්‍යක්‍රියා කරන්නෙමු. එවිට සාමගේ විස බැසයන්නේය. එයින් මගේ පුතු දිවි ලබන්නේය. රජු සාමගේ ධර්මදේශනාව අසා, තම මාලිගයට පෙරළා ගොස්, මහත් වූ දානාදි පින්කම්කොට දෙව්ලොව යන්නේය. ඒ නිසා මම එහි යමි යි කියා ඈ එහි ගොස් මිග්ගසම්ම ගංතෙර නොපෙනී අහසෙහි සිට රජුට මෙසේ කීවේය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
සා දෙවතා අන්තරහිතා, පබ්බතෙ ගන්‍ධමාදනෙ,
රඤ්ඤොච අනුකම්පාය, ඉමං ගාථා අභාසථ
ඒ (බහුසෝදරී නම්) දේවතා දුව ගන්‍ධමාදන පර්වතයෙන් අතුරුදහන්ව (රජු සිටි මිගසම්මත නදිය කරාගොස්) රජු හට අනුකම්පාවෙන් මේ ගාථා කියුවාය.
ආගුංකරී මහාරාජ, අකරා කම්ම දුක්කටං,
අදූසකා පිතා පුත්තං, තයො එකූසුනා හතා
මහරජ, (ඔබ) මහත් අපරාධය කළේය. කළේ ඉතා ලාමක-පහත් ක්‍රියාවකි. නිදොස් මව්පිය දෙදෙනාද පුතාද යන මේ තිදෙන එක හී පහරක් නසන ලදී.
එහි තං අනුසික්ඛාමි, යථා තෙ සුගතී සියා,
ධම්මෙනන්‍ධෙ වනෙ පොස, මඤ්ඤෙහං සුගතී තයාති
එනු මැනැවි. ඔබට යහපතක් (සුගතියක්) වන්නේ නම් අනුශාසනා කරමි. මහ වනයෙහි ඒ අඳමව්පියන් සාම කුමරු මෙන් දැහැමින් පෝෂණය කිරීමෙන් රැකබලා ගනු. එසේ කළ කල්හි සුගතියට යන්නේ යැයි මම සිතමි.
එහි රඤ්ඤොවා යනු රජුමය. ආගුං කරි යනු මහරජ, ඔබ මහත් අපරාධයක්, පාපකර්මයක් කළේය යනුයි. දුක්කටං යනු යමක් කීමෙන් නරක විපාක ගෙන දෙන්නේ ද එබඳු ලාමක කර්මයක් කළේය යනුයි. අදුසකා යනු නිදොස් අයයි. පිතා පුත්තා යනු මව ද පියා ද පුතා ද මේ තිදෙන එක් ඊ පහරින් මැරුවේ යැයි කීමෙන් (පුත් සාම කුමරු පමණක් මිය ගියත්) එම ඊපහර හා බැඳුණු ඔහුගේ මව්පියන් ද නැසී ගිය බවයි. අනුසික්ඛාමි යනු හික්මවමි. අනුශාසනා කරමි යනුයි. පොසා යනු සාමගේ තැන සිට සෙනෙහස උපදවා සාම කුමරු මෙන් ඒ අන්ධයන් පෝෂණය කරව යනුයි. මඤ්ඤෙහං සුගති යාති මෙසේ කළ කල්හි ඔබ සුගතියට යන්නේ යැයි සිතමි යනුයි.