2. මහාජනක ජාතකය (539)
[missing trans] යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසද්දී මහාභිනිෂ්ක්‍රමණය අරබයා දේශනා කළ සේක. එක් දිනක භික්‍ෂූහු තථාගතයන් වහන්සේගේ මහබිනික්මන් වනමින් කතා කර සිටියාහුය. ශාස්තෲන් වහන්සේ එහි පැමිණ ‘මහණෙනි, මෙපමණ වේලාවක් කුමන කතාවකින් යුක්තව හුන්නාහුදැ’යි විචාරා මෙබඳු කතාවකින් යැයි කී කල්හි ‘මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද තථාගතයන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කළේයැයි කියා අතීතය ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතයෙහි වේදේහ රට මිථිලා නුවර මහාජනක නම් රජෙක් රාජ්‍ය කළේය. ඔහුට අරිට්ඨ ජනක හා පෝළජනක යැයි පුතුන්දෙදෙනෙක් වූහ. රජතුමා දෙටු පුතුට යුවරජ තනතුරද කනිටු පුතුට සේනාපති තනතුරද පිරිනැමීය. පසුකලෙක මහාජනක රජු කළුරිය කළ කල්හි අරිට්ඨ ජනක කුමාරයා රජවී මළනුවන්ට යුවරජ තනතුර දුන්නේය. රජුගේ එක් පාදමූලිකයෙක් (රජු සමග ගමන් යන සේවකයෙක්) රජු වෙත පැමිණ යුවරජු ඔබ නැසීමට සිතන්නේ යැයි ගතු කීවේය. ඔහු එසේ නිතර නිතර කියන කල්හි පෝළජනක කුමාරයා කෙරෙහි බිඳුන සිත් ඇත්තේ, පෝළ ජනක කුමාරයා සැකිල්ලකින් බැඳ රජගෙයි අසල එක් ගෙයක සිරකොට රැකවල් ලැවූහ. මෙහිදී පෝළජනක කුමාරයා ‘ඉදින් මා සහෝදරයාට වෛර වූයේ නම්, මේ සැකිලි නොබිඳේවා. දොරවල් ද නොඇරේවා. වෛර නොවූයේ නම් සැකිලි සිඳී ගොස් දොරවල්ද ඇරෙත්වා’යි සත්‍යක්‍රියා කළේය. ඒ මොහොතෙහිම සැකිලි කැඩී බිඳී ගියේය. දොරවල්ද විවර විය. ඔහු නික්ම එක් පිටිසර ගමකට ගොස් වාසය කළේය.
පිටිසර ගම්වැසියෝ ඔහු හැඳින පිරිවරකොට සිටියාහුය. එහෙත් රාජ්‍ය ගැනීමට තරම් ශක්තියක් තිබුණේ නැත. පෝළජනක කුමාරයා ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යන්ත ජනපදයත් තම පාලනයට ගෙන, මහත් පරිවාර සෙනගක් රැස්කර ගත්තේය. පසුව, මහත් සේනාවක් රැස් කරගත්, පෝළජනක කුමාරයා ‘මම පෙර සොහොයුරාට වෛර නොකළෙමි. එසේ වුවත් දැන් මාගේ වෛරයක් ඇතැ’යි කියා මිථිලාවට පැමිණ පිටනුවර කඳවුරු ළාගත්තේය. නුවර වැසියෝ පෝළජනක කුමාරයා පැමිණි බව දැන ක්‍රමයෙන් ඇත් අස් ආදී වාහන ගෙන ඔහු සමීපයට ගොස් පිරිවරා ගත්තාහුය. තව තවත් නුවරවැසියෝ ඔහු සමීපයට පැමිණියාහුය. පෝළජනක කුමාරයා, සොහොයුරාට හස්නක් යවන්නේ ‘මම, පෙර ඔබට විරුද්ධ නොවූයෙමි. දැන් විරුද්ධ වෙමි. මට රාජ්‍යය නොදුනහොත් යුධ වදිමි’යි කියා යැවීය. රජු යුද පිණිස යන්නේ අගමෙහෙසිය අමතා ‘සොඳුර යුද්ධයෙහි ජය පරාජයක් කීමට නොහැකිය. ඉදින් මට අන්තරායක් වුවහොත් ඔබ දරුගැබ රැකගන්නැ’යි කියා නික්ම ගියේය.
යුද්ධයේ දී පෝළජනකගේ සෙබලුන් අතින් රජුමළේයැයි මුළුනුවරම එකම කෝලාහලයක් විය. දේවිය රජු මළේ යැයි දැන රන් ආදී වටිනා වස්තු පෙට්ටියක දමාගෙන, ඒ මත රෙදි කැබැලි දමා උඩින් සහල් අතුරා කිළුටු රෙදිකඩක් හැඳගෙන, සිරුර විරූප කොටගෙන පැස හිස තබාගෙන දිවාකල්හිම නික්ම ගියාය. කවරෙකුවත් ඈ හැඳින නොගත්තේය. ඈ නුවර උතුරු දොරටුවෙන් නික්ම යායුතු මග නොමග නොදන්නී යා යුතු දෙස නොදැන, හුදෙක් කාලචම්පා නම් නුවරක් ඇතැයි අසා තිබූ බැවින් කාලචම්පා නුවරට යන අය සිටිත්දැයි අසමින් මහමග එක් ගිමන්හලකට වී සිටියාය. ඇගේ කුස පිළිසිඳගෙන සිටියේ එසේ මෙසේ කෙනෙකු නොවේ. පුරණ ලද පාරමිතා ඇති බෝධිසත්ත්වයෝය.
බෝසත්හුගේ ආනුභාවයෙන් ශක්‍රභවන කම්පා විය. සක්දෙවිඳු කුමකින් ශක්‍ර භවන කම්පා වීදැයි ආවර්ජනා කරන කල්හි බෝසත් තෙදින් එසේ වීයැයි දැන, ‘කුස පිළිසිඳි බෝසත් මහා පුණ්‍යවන්තයෙකි. මා එහි යෑම සුදුසු යැයි සිතා පිළිසන් රථයක් මවාගෙන, එහි ඇඳක් පනවා, මහලු රියදුරෙකු මෙන් රිය පදවාගෙන මෙහෙසිය නැවැතී සිටි ශාලාව වෙත පැමිණ, කාළචම්පා නුවරට යන අය සිටිත්දැ’යි ඇසීය. ‘පියාණෙනි, මම යමි’ යි මෙහෙසිය කී කල්හි, දරුව එසේනම් රියට නැග හිඳගනුවයි රියදුරු වෙස්ගත් ශක්‍රයා කීය. පියාණෙනි, මා පිරිපුන් දරුගැබක් ඇත්තියෙක්මි. රථයට නැගීමට නොහැකිය. රථය පිටුපසින් එමි. මේ මාගේ පෙට්ටියට ඉඩක් ලබාදෙන්නැයි මෙහෙසිය කීවාය. ‘දරුව කුමක් කියන්නීද? රිය පැදවීමට දන්නෝ මා හා සමතෙකු නැත. බිය නොවන්න. රියට නැගී වාඩිවෙන්න යැයි රියදුරා කීය. ඈ රියට නගිනවිට සක්දෙවිඳු තම ආනුභාවයෙන් පොළොව ඉහළට නංවාරිය කෙළවරට පැමිණවීය. ඈ නැගී යහනෙහි වැතිරෙන්නී දෙවියෙකු විය යුතුයැයි සිතුවාය. ඈ දිවයහනෙහි වැතිරැ ගන්නාහාම නින්දට වැටුණාය.
ඉක්බිති සක්දෙවි යොදුන් තිහක් ගෙවා එක් ගංගාවක් වෙතැ පැමිණ ඈ නින්දෙන් පුබුදුවා, දරුව රියෙන් බැස ගඟට බැස දිය නාගන්න. එක් උතුරුසළුවක් රියෙහි ඇත. එය ගෙන පොරවාගන්න. ‘රිය ඇතුළ ගැබෙහි ඇති බත්මුල ද ගෙන අනුභව කරන්න’යි. කීය. ඇය ද නහා පිරිසිදු ආහාර අනුභවකොට යහනෙහි වැතිර ගත්තාය. සවස් වනවිට ඔවුහු චම්පා නුවර වෙත පැමිණියෝය. නුවර පවුරුදොර අට්ටාලය දුරදීම දුටු මෙහෙසිය ‘ඒ කුමන නගරයක්දැ’යි විමසුවාය. ‘දියණිය, ඒ චම්පා නුවර යැයි ශක්‍රයා පිළිතුරු දුන්නේය. ‘පියාණෙනි, කුමක් කියන්නේද? අපගේ නුවර සිට චම්පා නුවරට සැට යොදුනක් ඇත. (මෙපමණ ඉක්මනට පැමිණියේ කෙසේදැයි මෙහෙසිය විමතිය පළ කළාය.) ‘දරුව, මම කෙටි මගක් දැන එයින් ආවෙමි’ කී සක්දෙවිඳු ඈ නුවර දකුණුදිග දොරටුවෙහි බස්වා ‘දරුව, අපේ ගමට තවත් ඉදිරියට යා යුතුය. ඔබ නගරයට පිවිසෙන්න’ යැයි කියා, සක්දෙවි මදක් ඉදිරියට රිය පදවාගෙන ගොස් අතුරුදහන්ව ස්වකීය භවනයට ගියේය.