රජ්ජයාචනකණ්ඩං
රජ මහත් සේ විපිළිසරව කුමරාගේ පෙර ලකුණු බලා ශාස්ත්‍ර කී බමුණන් කැඳවා ඔබලා කුමරා උපන් දිනයෙහි ‘ධන ධාන්‍ය ලැබීම ආදී පුණ්‍ය සම්පන්න කුමාරයෙකැයි මොහුට කිසිදු අනතුරක් නැතැයි ද කීවාහුය. දැන් ඔහු උපතින් ගොළුවෙකි. උපතින් කොරෙකි. මේ ගැන ඔබලා කුමක් කියන්නේදැයි ඇසීය. මහරජතුමනි, ඇදුරන් නො දක්නා දෙයක් නැත. එසේ වුවත් දෙවියන් පුදා ප්‍රාර්ථනා බලයෙන් රජ කුලයෙහි උපන් පුතා කාලකණ්ණියෙකැයි කී කල්හි ඔබතුමාට ඇතිවන දොම්නස ගැන සලකා නොකීවෙම්හ’යි කීහ. දැන් කුමක් කිරීම සුදුසුදැයි රජතුමා ඇසූවිට මේ කුමරා රජගෙයි සිටියහොත් ඔබගේ ජීවිතයට හෝ රාජ්‍යයට හෝ අගමෙහෙසියට අනතුරු ගෙන දෙන බව පෙනේ. එබැවින් අවමගුල් රියෙහි අවමගුල් අසුන් යොදා මොහු එහි තබා පෑළ දොරින් බැහැර කරගෙන ගොස් අමු සොහොනෙහි වළ දැමීමට උපදෙස් දුන්නෝය. කුමරා නිසා ඇතිවන අපල ගැන ඇසීමෙන් බියට පත් රජතුමා එසේ කිරීමට කැමති විය.
චන්ද්‍රා දේවිය එපුවත අසා, රජු වෙත එළඹ දේවයෙනි, කුමරා උපන් දිනයෙහි ඔබ මට කැමති වරයක් ගැනීමට කියන ලදී. මම එය පසුව ගන්නෙමැයි කල්තැබුවෙමි. දැන් එය මට දෙන්නැයි ඉල්ලා සිටියාය. ඇර ගනුවයි රජතුමා කීහ. පුතුට රාජ්‍යය දෙන්නැයි ඈ ඉල්ලුවාය. ඔබගේ පුතා කාලකණ්ණියෙකි. එසේ නොකළ හැකියැයි කී විට, දිවිතෙක් නොහැකිනම් සත් වසකට රාජ්‍යය දෙන්නැයි ඉල්ලා සිටියාය. රජු එය ද නොපිළිගත් කල්හි සය වසක්, පස් වසක්, සිව් වසක්, තෙවසක්, දෙවසක් පිළිවෙලින් මසක් හෝ රාජ්‍යය දෙන්නැයි ඉල්ලුවාය. එයද නොදිය හැකි බව කී විට සත්දිනකට රාජ්‍යය දෙන ලෙස ඉල්ලා සිටියාය. හොදයි ගනුව’යි රජතුමා දේවියගේ වරය දුන්හ. දේවිය කුමරා අලංකාර කොට සරසා ‘තේමිය කුමාරයාගේ රාජ්‍යයැයි නුවර පුරා බෙර හසුරුවා, නුවර විසිතුරු ලෙස සරසා, කුමරා ඇතෙකු පිට තබා ඉහළින් සේසත් නංවා නගරය පැදකුණු කරවා, පැමිණි පසු සිරියහනෙහි සතප්පවා මුළු රැයම මෙසේ කියමින් ආයාචනා කළාය. පුත තේමිය, කුමරුනි, ඔබ නිසා සොළොස් වසක් නිදි නොලබා හැඬු මගේ ඇස් ඉදිමී ඇත. සොවින් හද පෑරි ඇත. ඔබ කොරෙකු නොවන බව දනිමි. මා අනාථ නොකරන්න ආදී වශයෙන් දිනපතා පස් දවසක් බැගෑපත්ව ඉල්ලා සිටියාය.