5. මහාසුතසෝම ජාතකය (537)
කස්මා තුවං යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයේ වැඩවාසය කරන්නේ අංගුලිමාල තෙරුන් අරභයා වදාළ සේක. ඔහුගේ උපත ද, පැවිද්ද ද, අංගුලිමාල සූත්‍රයේ කියන ලද ආකාරයෙන් විස්තර වශයෙන් දතයුතුය. ඔහු වනාහි සත්‍යක්‍රියාවේ ගැබ මෝරා මුළා වූ ස්ත්‍රියකගේ සුවපත් භාවය කොට එතැන් පටන්, ආහාර සුලභ වශයෙන් ලැබ, විවේකය විඳින්නේ අපර භාගයේ රහත්ඵලයට පත්ව අභිඥාලාභීන් අසූමහා ශ්‍රාවකයන් අතරට පත්වූ අයෙක් විය. ඒ කාලයේ දම්සභාවේ කථාවක් ඉපදවූහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු ආකාර වැද්දකු, එනම් ලේ තැවරුණු අත්ඇති, මහාචෞර වූ අංගුලිමාල දණ්ඩකින් තොරව ආයුධ විරහිතව, දමනය කොට, කළකිරීම් කරවන්නේ ඉතා දුෂ්කර දෙයක් කරන ලදි. අහෝ! බුදුවරු නම් දුෂ්කර දේ කරන්නෝ වෙති. ශාස්තෲන් වහන්සේ ගඳකිළියේ හුන්නේ ම, දිවකණින් ඒ කථාව අසා අද, මගේ ගමන බොහෝ දෙනෙකුට උපකාර වන්නේ යයි මහා ධර්ම දේශනාවක් පවත්වන්නේ යයි දැන අනූපම වූ බුද්ධලීලාවෙන් දම් සභාවට වැඩ පනවන ලද අසුනේ වැඩසිටි සේක් මහණෙනි, දැන් කවර නම් කථාවකින් යුක්තව සිටියේ දැයි විචාරා මෙනම් කථාවකින් යයි කී කල්හි මහණෙනි, ආශ්චර්යයක් නොවේ. දැන් පරම අභිසම්බෝධියට පත් මා විසින් මොහුගේ හික්මීම පිණිස, ඉදින් පූර්වාචාර්ය වූ ඤාණ තලයෙහි පිහිටියේ යයි මේ අය දමනය කළ සේකැයි වදාරා අතීත කතාව ගෙනහැර පෑ සේක.
අතීතයේ කුරු රට, ඉන්‍ද්‍රපත්ත (ඉඳිපත්) නුවර කෝරව්‍ය නම් රජතුමා දැහැමින් රාජ්‍යය කරවීය. බෝධිසත්ත්වයෝ ඔහුගේ අගමෙහෙසිය ගේ කුසේ උපන්නෝය. සම්පත් ඇති පුතකු බැවින් හේ සුතසෝම යයි හැඳින්වූහ. රජු ක්‍රමයෙන් හේ වැඩෙන කල්හි දිසාපාමොක් ගුරුතුමා ගේ සමීපයෙහි ශිල්ප ඉගෙනීම පිණිස තක්‍ෂිලාවට යැවීය. හෙතෙම ගුරුභාගය රැගෙන (උගතයුතු දේ) නික්ම මාර්ගයට පිළිපන්නේය. බරණැස කසී රජු ගේ පුත්‍ර බ්‍රහ්මදත්ත කුමාරයා ද එසේ ම කියා පියා විසින් එවන ලදුව නික්ම මාර්ගයට පිළිපන්නේය. සුතසෝම මාර්ගයට ගොස් නගර දොරටුවේ ශාලාවේ පුවරුවක් මත විශ්‍රාම පිණිස හුන්නේය. බ්‍රහ්මදත්ත කුමාරයා ද ගොස් ඔහු සමග එක් ම පුවරුවේ වාඩිවී සිටියේ ය. ඉක්බිති ඔහු සුතසෝම පිළිසඳර කථා කරන්නේ, මිත්‍රය; මාර්ගයේ වෙහෙසට පත්ව කොහිසිට එන්නෙහිදැයි විචාරා, බරණැස සිට යයි කී කල්හි කවරකුගේ පුතෙක් ද? බ්‍රහ්මදත්තගේ ය. නම කුමක්ද? බ්‍රහ්මදත්ත කුමාරයා වෙමියි. කවර කරුණක් නිසා ආවේදැයි විචාළේය. ඔහු ශිල්ප ගැනීම පිණිස යයි පවසා නුඹ ද මාර්ග වෙහෙසට පැමිණෙන්නේ එ් අයුරින් ම සෙසු කරුණු ද විචාළේය. ඔහු ද සියල්ල කීවේය. ඒ දෙදෙනා ම, අපි ක්‍ෂත්‍රියෝ වෙමු. එකම ආචාර්යවරයකු ගේ සමීපයේ ශිල්ප ගැනීම පිණිස යමුයි, අන්‍යෝන්‍ය මිත්‍ර භාවය ප්‍රකාශ කොට නගරයට පිවිස ගුරු ගෙදර ම ගොස් ගුරුතුමාට වැඳ තමන්ගේ ජාතිය සිහිපත් කොට ශිල්ප ගැනීම පිණිස ආ බව කීහ. ඔහු යහපතැයි පිළිගත්තේය. ඔවුහු ගුරුපඬුරු දී ශිල්ප ආරම්භ කළහ.
හුදකලාව නොව, ඔවුහු ද වෙනත් එකසියයක් පමණ එකල දඹදිව රාජපුත්‍රයෝ ඔහුගේ සමීපයේ ශිල්ප උගනිති. සුතසෝම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයා වී ශිල්ප උගන්වන්නේ නොබෝ කලකින් දියුණුවට පැමිණියේය. ඔහු අනෙක් අය ළඟට ද ගොස් සහාය වෙමු යි පවසා බ්‍රහ්මදත්ත කුමරු වෙත ම ගොස් ඔහුගේ බාහිර ආචාර්යවරයා වී ශිල්ප පුහුණු කළේය. සෙසු අය ද ක්‍රමයෙන් ශිල්ප නිමකළේ, ඔවුන්ට සුදුසුකම් දී ගුරුතුමාට වැඳ සුතසෝම පිරිවරා නික්ම ගියහ. ඉක්බිති ඔවුන් සුතසේම මාර්ග නියමු තනතුරේ තබා පිටත් වන්නේ නුඹලා තම තමන්ගේ පියවරුන්ට ශිල්ප පෙන්වා රාජ්‍යවල පිහිටාගනිවු! පිහිටියෝ මගේ අවවාද අනුව කටයුතු කරවු! යයි කීවේය. කිම ගුරුතුමනි, මාසේ පෝය දිනවල පෙහෙවස් සමාදන් වී සතුන් ඝාතනය නොකරවු! යයි ද යනුවෙනි. ඔවුහු යහපතැයි පිළිගත්හ. බොස්තුන් වනාහි අංගවිද්‍යා කියන්නකු බැවින් අනාගතයේ බරණැස් කුමරු නිසා මහත් බියක් හටගන්නේ යයි දැන, මෙසේ අවවාද දී පිටත් කෙළේය. ඔවුහු සියල්ලෝම තම තමන්ගේ ජනපදවලට ගොස් පියවරුන්ට ශිල්ප පෙන්වා රාජ්‍යයන්හි පිහිටුවීම පිණිස ද, අවවාදයෙහි පිහිටන බවද, දැන්වීමට පඬුරු සමග හසුන්පත් යැවූහ. බෝසත් ඒ පුවත දැන අප්‍රමාද වෙත්වා’යි හසුන්පත් යැවීය.