21. අසීති නිපාතය
1. චුල්ලහංස ජාතකය (533)
සුමුඛා යන මෙය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ ජීවිත පරිත්‍යාගයක් අරභයා දේශනා කළ සේක. දේවදත්ත විසින් තථාගත ජීවිතය විනාශ කිරීමට දුනුවායන් යොදවන කල්හි, සියල්ලට පළමුව යවන ලද්දා අවුත්, ස්වාමීනි; භාග්‍යවතුන්ගේ ජීවිතය විනාශ කිරීමට මට නො හැක්කේය. ඒ භාග්‍යවතුන් වහන්සේ, මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න යයි කී කල්හි, දේවදත්ත, නුඹ ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ නො කරව. මම ම ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමි යි කියා තථාගතයන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ සවස් කාලයේ සක්මන් කරන කල්හි තෙමේ ගිජ්ඣකූට පර්වතයට නැග යන්ත්‍ර වේගයෙන් මහත් වූ ගලක් යන්ත්‍රයකින් පෙරලීය. මේ ගලෙන් ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමියි යන න්‍යායෙනි. එකල ගල්කුළු දෙකක් සපැමිණ එ් පෙරළූ ගල වැළැක්වීය. එයින් ගැලවුණු ගල් පතුරක් විසි වී අවුත් භාග්‍යවතුන්ගේ පාදයක ගැටී ලේ ගලා ආවේය. බලවත් වේදනා හටගත්තේය. ජීවක තෙමේ තථාගතයන්ගේ පාදය සැත්කමකින් පලා නරක් වූ ලේ මුදා හැර නරක් වූ මස් ඉවත්කොට සෝදා බෙහෙත් ගල්වා නීරෝගී කෙළේය. ශාස්තෲන් වහන්සේ පෙර මෙන් ම මහත් භික්‍ෂු සංඝයා පිරිවරා ගෙන මහත් වූ බුද්ධ ලීලාවෙන් නගරයට පිවිසි සේක.
ඉක්බිති උන්වහන්සේ දැක, දේවදත්ත මෙසේ සිතුවේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රූප ශෝභාවෙන් අගතැන්පත් සිරුර දැක කිසියම් මිනිසකු (බුදුන්) වෙත සමීපවීමට නොහැකි වෙයි. රජුගේ නාලාගිරි නම් ඇතා, චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුද්ධ ධම්ම සංඝ ගුණයන් නො දනියි. හෙතෙම මුන්වහන්සේට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. උන්වහන්සේ ගොස් රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු යහපතැයි පිළිගෙන ඇත්ගොව්වා කැඳවා, මිත්‍රය; හෙට නාලාගිරිව මත්කොට උදෑසන ම ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට පිටත්කර හරිව් යයි කීවේය. දේවදත්තද ඔහුගෙන් වෙනත් දිනවල ඇතා කොපමණ සුරා බොන්නේදැයි විචාරා ස්වාමීනි, කළ අටක් යයි කී කල්හි හෙට ඔහුට කළ දහසයක් පානය කරවා, ශ්‍රමණභවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට අභිමුඛ කරන්නැයි කීවේය. ඔහු යහපතැයි පිළිගත්තේය. රජු නගරයේ බෙරහඬ නංවා හෙට නාලාගිරි මත්කොට නගරයට පමුණුවන්නේය. නගරවැසියෝ උදෑසනම කළයුතු කටයුතු නිමවා, අතුරු වීථියට නොපැමිණේවායි කීවේය. දේවදත්ත ද රජමාළිගාවෙන් බැස, ඇත්හළට ගොස් ඇත්ගොව්වන් අමතා බොල; අපි උසස් තනතුරු පහත් කරන්නටත් පහත් තනතුරු උසස් කරන්නටත් දක්‍ෂයෝ වෙමු. ඉදින් තොප කීර්තිමත් වූයේ, හෙට උදෑසනම නාළාගිරිට පැසුණු රා කළ දහසයක් පානය කරවා, ශ්‍රමණ භවත් ගෞතමයන් පැමිණෙන වේලාවට හුල් තෝමරයෙන් (හෙණ්ඩුවෙන්) විදිමින්, කෝප කරවා, ඇත්හල බිඳවා ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් වීථියට අභිමුඛ කොට, ශ්‍රමණ භවත් ගෞතමයන් ජීවිතක්‍ෂයට පමුණුවවු යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගත්හ.
ඒ ප්‍රවෘත්තිය මුළු නගරයේම ප්‍රසිද්ධ විය. බුදුන් දහම් සඟුන් මාමක වූ උපාසකයෝ ඒ පුවත අසා ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, දෙව්දත් රජු සමග එකතු වී හෙට ඔබවහන්සේ පිළිපන් වීථියට නාලාගිරිව පමුණුවන්නේය. හෙට පිඬු පිණිස නොවැඩ මෙහි ම වැඩසිටින්න. අපි විහාරයේදී ම බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට භික්‍ෂාව දෙන්නෙමුයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ හෙට පිඬු පිණිස නොවඩින්නෙමි යි නොකියාම හෙට මම නාලාගිරි දමනය කර ප්‍රාතිහාර්ය පා, තීර්ථකයන් මැඩ රජගහනුවර පිඬු පිණිස නොහැසිර භික්‍ෂු සංඝයා පිරිවරා නගරයෙන් නික්ම වේළුවනයට ම යන්නෙමි. රජගහ නුවර වාසීහු බොහෝ බත් භාජන ගෙනවුත්, වේළුවනයටම පැමිණෙන්නාහ. හෙට විහාරයේම දන් වැළඳීම වන්නේය යන මේ කාරණයෙන් ඔවුන්ගේ ඉවසීම සිදුවිය. ඔවුහු තථාගතයන්ගේ ඉවසීම දැන, බත් භාජන රැගෙන විහාරයේ ම දානය දෙන්නෙමුයි පිටත් වූහ.
ශාස්තෲන් වහන්සේ පළමු යාමයේ දහම් දෙසා මධ්‍යම යාමයේ දේවතාවන්ගේ ප්‍රශ්න විසඳා පශ්චිම යාමයේ පළමු කොටසේ සිංහ සෙය්‍යාවෙන් කල්යවා දෙවෙනි කොටසේ ඵල සමාපත්තියෙන් කල්ගත කොනට තෙවෙනි කොටසේ මහාකරුණා සමාපත්තියට සමවැදී නැගිට අවබෝධ කළයුතු වෙනේය ජනයන් බලන්නේ, නාලාගිරි දමනයේදී අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වන බව දැක අළුයම් වේලාවේ කරන ලද ශරීර පිළිදැගුම් ඇත්තේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා රජගහ නුවර හාත්පස පිහිටි අටළොස් මහා විහාරවල සියලුම භික්‍ෂූන්ට මා සමග රජගහනුවරට පිවිසීමට ආරාධනා කෙරේවායි වදාළහ. තෙරුන් වහන්සේ එසේ කළහ. සියලු භික්‍ෂූන් වේළුවනයට රැස්වූහ. ශාස්තෲන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයා පිරිවරන ලද්දේ රජගහ නුවර පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති ඇත්ගොව්වෝ කැමැති පරිදි පිළිපැද්දාහ. මහත් සේනාවක් විය. සැදැහැති මිනිස්සු අද වනාහි බුද්ධ නම් මහ ඇතෙක් තිරිසන්ගත ඇතකු සමග යුද්ධයක් වන්නේය. උපමා රහිත බුද්ධ ලීලාවෙන් නාලාගිරිගේ දමනය බලන්නෙමුයි, ප්‍රාසාද සෑදවීය. ගෙවල් පියසි ආදියට නැග සිටියහ. ශ්‍රද්ධා රහිත මිථ්‍යා දෘෂ්ටිකයෝ මේ නාලාගිරි චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුදුවරුන්ගේ ගුණ නො දනියි. හෙතෙම අද ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රන්වන් ශරීරය විදා නැතිකොට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. අදම පසමිතුරු පිටුදකින්නෙමුයි, ගස්, ගෙවල් ආදි තැන්වල සිටියහ.