3. සුධාභෝජන ජාතකය (535)
න ගුත්තමෙ යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, එක් දන් දෙනු කැමැති භික්‍ෂුවක් අරභයා දේශනා කළ සේක. ඔහු වනාහි සැවැත්නුවර එක් කුලපුත්‍රයෙක් ව බුදුරදුන්ගේ දැහැමි කථා අසා පැහැදුණු සිත් අත්තේ පැවිදි වී සීලාදියෙහි පිරිපුන් බව ඇත්තේ ධුතාංග වීර්ය ගුණ සම්පන්න වූයේ, සබ්‍රහ්මචාරින් විෂයයෙහි පවත්වන ලද මෙත් සිත් ඇත්තේ, දිනකට තුන්වරක් බුද්ධ ධම්ම සංඝ උපස්ථානයෙහි අප්‍රමාදි වූයේ, ආචාර සම්පන්න වූයේ, දානාධ්‍යාශයක් ඇති විය. අර්ථවත් දහම් කථා කරන සුළු වූයේ, තමන් විසින් ලද ප්‍රතිග්‍රාහකයන් වැඩ සිටිනා කල්හි, සුන් වූ බත් ඇතිව සිට දෙන්නේ ම ය. ඔහුගේ ඒ දානාශාව දානයේ ඇලුණු සිත් ඇති බව භික්‍ෂු සංඝයා කෙරෙහි ප්‍රකට විය. ඉක්බිති එක් දවසක් ධර්ම සභාවේ කථාවක් උපදවූහ. ඇවැත්නි, අසවල් භික්‍ෂුව දානාධ්‍යාශ ඇත්තේ, දානයේ ඇලුණු සිත් ඇත්තේ, තමන් විසින් ලබන ලද අල්ලක් පමණකුදු ලෝභය සිඳ සබ්‍රහ්මචාරීන්ට දෙයි. බෝධිසත්ත්වයන් වහන්සේ අධ්‍යාශයකි. ශාස්තෲන් වහන්සේ ඒ කථාව දිව්‍යශ්‍රෝත ධාතුවෙන් අසා ගඳකිළියෙන් නික්ම අවුත් මහණෙනි, කිනම් කථාවකින් යුක්ත වූවෙහිද? විචාරා, මෙනම් කථාවකින් යයි කී කල්හි මහණෙනි, මේ භික්‍ෂුව පෙර දානයෙහි නොකැමැති වූයේ, මසුරුව තණ අග පිනිබිඳක් පමණකුදු නුදුන්නේ විය. ඉක්බිති ඔහු මම දමනය කොට කළකිරීම ඇතිකොට දානානිශංස වර්ණනා කොට දානයෙහි පිහිටෙව්වේ වෙයි. හෙතෙම අල්ලක් පමණකුදු ජලය ලැබ, නොදී පානය නොකරන්නෙමියි මා සමීපයේ දී වර දුන්නේය. ඒ ප්‍රතිඵල වශයෙන් දානාධ්‍යාශ ඇත්තේ දානයෙහි ඇලුණේ යයි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් ගෘහපතියෙක් අසූකෙළක් ධනය ඇති මහත් ආඪ්‍ය සම්පන්න විය. ඉක්බිති ඔහුට රජු සිටු තනතුරේ තැබීය. හෙතෙම රාජපූජිත වූයේ නාගරිකයන් විසින් පුදන ලද්දේ වී එක දවසක් තමන්ගේ සම්පත් බලා මෙසේ සිතුවේය. මේ සම්පත් මා විසින් අතීතයේ රැස් නොකරන ලද්දේ ම කාය දුශ්චරිතාදියෙන් වෙන්වූයේ, ලබන ලද සුචරිත ධර්ම පුරා ලබන ලද්දේ අනාගතයේ දී මා විසින් මට පිහිට පිණිස යමක් කිරීමට වටී යයි. හෙතෙම රජු සමීපයට ගොස්, දේවයන් වහන්ස, මගේ නිවසේ අසූකෙළක් ධනය ඇත. ඒවා ගනීවායි කියා කී කල්හි, ඔබේ ධනයෙන් මට වැඩක් නැත. මට බොහෝ ධනය ඇති එහෙයින් යමක් කැමැත්තෙමි නම් ගනිව් යයි කී කල්හි, දේවයන් වහන්ස කිම, මම ධනය දෙන්ට දෙන්ට ලබමි යි කීවේය. ඉක්බිති රජු කැමැත්තක් කරවයි කී කල්හි නගරයේ සිව් දොරටුවල නගර මැද ද, මන්දිරයේ දොරටුවේ ද දානශාලා හයක් කරවා දිනපතා හයකෝටියක් පරිත්‍යාග කරමින් මහා දානයක් පැවැත්වීය. ඔහු දිවි ඇති තෙක් දන් දී මේ මගේ දානවංසය නොසිඳවයි, පුතුන්ට අනුශාසනා කොට ජීවිතය කෙළවර ශක්‍රදේවේන්‍ද්‍රයා වී උපන්නේය. ඔහුගේ පුතා ද එසේම දන් දී චන්‍ද්‍රයා වී උපන්නේ ය. ඔහුගේ පුතා සූර්යයා වී උපන්නේය. ඔහුගේ පුතා මාතලී වී, ඔහුගේ පුතා පංචසිඛ වී උපන්නේය. ඔහුගේ පුතා අසූ කෙළක් සම්පත් ඇති, සයවෙනි මච්ඡරිය කෝසිය සිටු විය. ඒ මගේ මූ මිත්තෝ බාලයෝ වූහ. දුකින් රැස්කරන ලද ධනය ඉවත දැමූහ. මම වනාහි ධනය රකින්නෙමි. කිසිවෙකුට කිසිවක් නොදෙන්නෙමියි සිතා දානශාලා වසා දමා ගින්නෙන් දවා තද මසුරෙක් බවට පත්විය.
ඉක්බිති ඔහුගේ ගෙදොර යාචකයෝ රැස්වී දෑස් ඔසවා, මහ සිටුතුමනි, තමන්ගේ මී මුත්තන්ගේ වංසය නොනසන්න. දන් දෙන්නැයි මහහඬින් වැළපුනාහ. ඒ අසා මහජනයා, මච්ඡරිය කෝසිය විසින් තමන්ගේ වංසය සිඳින ලද්දේ යයි ගර්හා කෙළේය. හෙතෙම ලජ්ජාවට පත්වූයේ, මන්දිර දොරටුවේ යාචකයන් සිටින තැන් වැළැක්වීමට, ආරක්‍ෂකයෙකු තැබීය. ඔවුහු සම්පත් නොමැතිව යළි ඔහුගේ ගෙදොර දෙස නොබැලූහ. ඔහු එතැන් පටන් ධනය ම රැස්කිරීමේ ඇලුණේ තමන් විසින් ද අනුභව නොකරයි. අඹුදරුවන්ට ද නොදෙයි. සතුන්ට දමන ලද කැඳබත් පමණක් අනුභව කරයි. මුල්ගෙඩි පමණක් කයි. පරණ වූ වස්ත්‍රයක් අඳියි. කොළවලින් සෑදූ මුදුනක් කරවා දිරාගිය ගොනකු යොදවන ලද රථයකින් ගමන් කරයි. මෙසේ ඔහුගේ අසත්පුරුෂ වූ ධනය බල්ලකු විසින් ලබන ලද පොල්ගෙඩියක් මෙන් විය.
ඔහු එක දවසක් රාජ උපස්ථානයට යන්නේ, දෙවෙනි සිටුතුමා රැගෙන යන්නෙමියි, ඔහුගේ ගෙදරට ගියේය. එකෙණෙහි දෙවෙනි සිටු, දූපුතුන් විසින් පිරිවරන ලද්දේ, නවනීත, ගිතෙල්, වෙඬරු, මී, උක්, සකුරු, කුඩු ආදියෙන් සමන්විත කිරිබතක් අනුභව කරමින් හුන්නේ විය. ඔහු මසුරු සිටාණන් දැක අසුනින් නැගිට, එන්න මහසිටුතුමනි, මේ පුටුවේ හිඳගන්න. කිරිබත් අනුභව කරන්නෙමු යි කීවේය. ඔහුගේ කිරිබත් දැක මුවෙහි කෙළ හටගත්තේය. ඔහු මෙසේ ද සිතුවේය. කනු කැමැත්තේ විය. ඉදින් මම කන්නෙම් ද අනුසිටුතුමා මගේ ගෙදරට පැමිණි කල්හි, පෙරළා සත්කාර කළයුතු වන්නේ ය. මෙසේ මගේ ධනය නැසෙන්නේ ය. අනුභව නොකරන්නෙමියි කීවේය. යළි යළිත් ඉල්වනු ලබන්නේ නමුත්, දැන් මම කෑමට නොහැකි වෙමියි, නොකැමැති විය. දෙවෙනි සිටුතුමා අනුභව කරන කල්හි ද බලා සිටින්නේ මුඛයේ හටගත් කෙළ ඇතිව සිට, ඔහුගේ බත් කිස නිමවූ කල්හි ඔහු සමග රාජ මන්දිරයට ගොස් යළිත් තම නිවසට පැමිණියේ කිරිබත් තෘෂ්ණාවෙන් පෙළෙමින් මෙසේ සිතීය. ඉදින් මම කිරිබත් කනු කැමැත්තේ වෙමියි කියම් ද? මහජනයා ද කනු කැමැත්තෝ වන්නෝය. බොහෝ සහල් ආදිය විනාශ වන්නේ ය. කිසිවෙකුටත් නොකියන්නෙමි. හෙතෙම දිවා රාත්‍රී දෙකේ කිරිබත් ගැන ම සිතන්නේ, කල්ගත කරමින්ම ධනය විනාශ වේ යන බියෙන් කිසිවෙකුට නොකියාම පිපාසාව ඉවසීය. පිළිවෙලින් ඉවසීමට නොහැකිව හටගත් පඬුවන් පැහැ ඇත්තේ විය. මෙසේ ඇතිකල්හි, ධනය නැසීමේ බියෙන් කථා නොකරන්නේ, පසුකාලයේ දුර්වල වී සයනයේ වැතිරී හොත්තේ ය.