2. මහාහංස ජාතකය (534)
එතෙ හංසා පක්කමන්ති යන මෙය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක්, තෙරුන්ගේ ජීවිත පරිත්යාගයට අරභයා වදාළ සේක. කථාවස්තුව (චූලහංස ජාතකයේ) කියන ලද ආකාරමය. මෙහි වනාහි ශාස්තෲන් වහන්සේ අතීතය ගෙනහැර පාමින් මෙය ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ බරණැස සංයමස්ස නම් බරණැස් රජුගේ ඛේමා නම් අගමෙහෙසියක් වූවාය. එකල බෝධිසත්ත්වයෝ අනූදහසක් හංස සේනාව පිරිවරා චිත්රකූටයෙහි වාසය කළහ. එකල්හි එක දවසක් ඛේමා දේවිය, අළුයම් වේලාවේ සිහිනයක් දුටුවාය. රන්වන් වර්ණ ඇති හංසයෝ පැමිණ රජපලඟේ හිඳ මිහිරි හඬින් ධර්මකථා පැවැත්වූහ. දේවිය සාධුනාද දී දහම් අසන්නී, ධර්මශ්රවණය ඉක්ම යද්දී ම රාත්රිය පහ විය. හංසයෝ දහම් කථාව පවසා, සිහකවුළුවෙන් නික්ම ගියහ. ඇය ඉක්මණින් නැගිට, පලායන්නා වූ හංසයන් ගනිවු! ගනිවු! යයි පවසා අත දිගුකරද්දී ම අවදි වූවාය. ඇගේ කථාව අසා, පිරිවර ස්ත්රීහු හංසයන් කොහේදැයි ටිකක් විමසිලිවන්ත වූහ. ඇය එකෙණෙහි සිහිනයක් බව දැන, මෙසේ සිතුවාය. මම බොරුවක් නොදකිමි. ඒකාන්තයෙන්ම මේ ලෝකයෙහි ස්වර්ණවර්ණ හංසයෝ වෙති. ඉදින් ස්වර්ණ හංසයන්ගේ ධර්මය අසන්නට කැමති වම්යයි රජුට කියමි. අප විසින් රන්වන් හංසරාජයන් නම් මින් පළමුව නොදුටුවිරූය. හංසයන්ගේ කථා නම් සත්යජනකයමයයි පවසා උත්සාහ රහිත වන්නේ යයි දොළ දුකක් යයි කී කල්හි කවර උපායකින් හෝ සොයන්නේ යයි මෙසේ මගේ මනදොළ ඉටුවන්නේ යයි ඇය ගිලන් බව දන්වා පරිවාරක ස්ත්රීන්ට සංඥාවක් කොට වැද හොත්තාය.
රජු රාජාසනයේ හුන්නේ, ඇයගේ දකින වේලාවේ ඇය නොදැක ඛේමා දේවිය කොහේදැ’යි විචාරා, ගිලන්ව යයි කී කල්හි, ඇගේ සමීපයට ගොස් යහනාව පෙදෙසේ හිඳ පිට පිරිමදිමිාන් අපහසුවක්දැයි විචාළේය. දේවයන් වහන්ස, වෙනත් අපහසුවක් නැත. දොළදුකක් මට උපන්නේය යනුවෙනි. එම්බා දේවිය, යමක් කැමැතිවෙහිද, ඔබට එය ඉක්මණින් පමුණුවන්නෙමියි යනුවෙනි. මහරජ, මම ඔසවන ලද ශ්වේතඡත්ර ඇති, රජ පලගෙහි උන්නා වූ රන් හංසයකුට සුවඳමල් ආදියෙන් පුදා සාධුකාර දී ධර්ම කථාවක් අසන්නට කැමති වෙමි. ඉදින් ලබමි නම්, මේ කුසලය ලබමි. නොඑසේ නම් මට ජීවිතයක් නැත. ඉක්බිති රජු ඇයට, ඉදින් මිනිස් ලොව තිබෙන්නක් නම් ලබන්නෙහිය. ශෝක නො කරව. නොසිතන්න යයි අස්වසා සිරියහන් ගැබෙන් නික්ම ඇමතියන් සමග කථා කෙළේය. පින්වත් ඛේමා දේවිය; “ස්වර්ණ හංසයාගේ ධර්මකථා ඇසීමට ලැබෙන්නී නම්, ජීවත් වෙමි. එය නොලැබෙන්නී නම් මගේ ජීවිතය නැත” යයි කියයි. රන්වන් හංසයෙක් ඇත්ද? දේවයන් වහන්ස; අප විසින් පෙර නොදක්නා ලද්දේ, නොඇසූවිරූ යයි කීහ. කවරෙක් නම් දන්නෙහුද? දේවයන් වහන්ස; බ්රාහ්මණයෝ ය. රජු බමුණන් කැඳවා ආචාර්යවරුනි, රන්වන් හංසයෝ ඇත්ද? මහරජ, එසේය. අපගේ මන්ත්රවල මත්ස්යයෝ, කකුළුවෝ, ඉබ්බෝ, මුවෝ, මෝරු, හංසයෝ යන මේ තිරිසන්ගත රන්වන් සත්ත්වයෝ වෙති. එහිදී ධතරාෂ්ට්ර කුලයට අයත් හංසයෝ නම්, මහා ප්රාඥයෝය. ඤාණ සම්පන්න වූවෝ මිනිසුන් සමග සමානව රන්වන් වර්ණව සිටිති.
රජු සතුටට පත්ව, ඇදුරුතුමනි, ධතරාෂ්ට්ර හංසයෝ කොහේ නම් වාසය කරත්දැයි විචාරත්වා, මහරජ නොදනිමු යනුවෙනි. එවිට කවුරු දන්නෝද? වැදි පුත්රයෝ යයි කී කල්හි සියළු තමන්ගේ රාජධානියේ වැද්දන් රැස්කරවා දරුවනි, ධතරාෂ්ට්ර කුල රන්වන් හංසයෝ කොහේ වාසය කරත්දැයි විචාළේය. දේවයන් වහන්ස, කුල පරම්පරා මතවලට අනුව හිමාලයේ චිත්රකූට පර්වතයේ වාසය කරන්නේ යයි එවිට එක වැද්දෙක් කීවේය. ඔවුන් අල්ලාගන්නා උපායක් දන්නේද? දේවයන් වහන්ස, නොදනිමි. හෙතෙම බමුණු පණ්ඩිතයන් කැඳවා, චිත්රකූට පර්වතයේ රන්වන් හංසයන් ඇති බව දන්වා ඔවුන් අල්ලාගන්නා කවර නම් උපායක් දන්නේදැයි විචාළේය. මහරජ, කිම? ඔවුන් විසින් ගෙන අල්ලා ගන්නා ලද්දෝ උපායකින් නගරය සමීපයට ගෙන එන්නෙමු. කවර නම් උපායක්ද? මහරජතුමනි, නගරයට උතුරින් තුන්ගව්වක් මත්තෙහි තුන්ගව්වක් පමණ, ඛේම නම් විලක් හාරවා, ජලය පුරවා, එහි විවිධ ධාන්ය රෝපණය කරවා, පස්පියුමින් යුක්ත කොට, එක් පණ්ඩිත වැද්දකු පිළියෙල කරවා, මිනිසුන්ට සමීපවීමට ඉඩ නොදී කොන් හතරක සිටියවුන් විසින් අභය යයි කියා ඝෝෂා කරව්. විවිධ පක්ෂීහු බසින්නාහ. ඒ හංසයෝ ද. පරම්පරාවෙන් ඒ විලෙහි අභය ඇති බව අසා, පැමිණෙන්නාහ. ඉක්බිති ඔවුන් වැල්පුඩුවලින් බන්දවා අල්ලාගනිවු යනුවෙනි.