9. හරිතමාතු ජාතකය (239)
ආසීවිසං මම සන්තං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අජාසත් රජතුමා මුල් කරගෙන දේශනා කළ සේක. කොසොල් රජුගේ පියා වූ මහ කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමාට දියණිය දෙමින් තමන්ගේ නැගණියට “නහානමූල” නම් කසීගම දුන්නේය. අජාසත් රජතුමා විසින් පියා මැරූ කල්හි රජතුමාට ආදරයෙන් සිටි ඈ නොබෝ දිනකින්ම කලුරිය කළාය. අජාසත් රජතුමා මව කලුරිය කළ පසුත් ඒ ගම භුක්ති විඳියි. කොසොල් රජතුමා පීතෘඝාතක සොරාට මගේ කුල සන්තක ගම නො දෙන්නෙමියි ඔහු සමග යුද කරයි. ඇතැම් දිනක මාමාට ජයවෙයි. ඇතැම් දිනක බෑණාට ජය වෙයි. යම් දවසක අජාසත් දිනයිද එකල් රථයෙහි කොඩි ඔසවා මහත් කීර්තියෙන් නගරයට පිවිසෙයි. යම් දවසක පැරදෙයිද එකල්හි දොම්නසට පත්ව කිසිවෙකුටත් නොදන්වාම පිවිසෙයි. ඉක්බිති එක්දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි! අජාසත් රජතුමා මාමා පරදවා සතුටුවෙයි. තමා පැරදුනවිට දොම්නසට පත්වෙතියි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, මා එන්නට ප්‍රථම මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මොහු දිනා සතුටු වෙයි. පැරදුනවිට දොම්නසට පත්වූයේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ නිල් මැඩි යෝනියෙහි උපන්හ. එකල්හි මිනිස්සු ගංගා දිය කඳුරු ආදී තැන්වල මසුන් අල්ලා ගැනීමට කෙමන් ඇටවූහ. එක් කෙමනක බොහෝ මත්ස්‍යයෝ පිවිසියාහුය. ඉක්බිති එක් දිය නයෙක් මසුන් කමින් ඒ කෙමනට පිවිසියේය. බොහෝ මත්ස්‍යයෝ එක්වී ඌ සපා කමින් එකම ලේ විලක් කළහ. සර්පයා පිළිසරණක් නොදකිමින් මරණ බියෙන් තැති ගෙන කෙමන් කටින් නික්මී වේදනාවෙන් යුතුව දිය කෙළවර හොත්තේය. නිල් මැඩියාද ඒ අවස්ථාවෙහි උඩට පැන කෙමන් මුලට ඉහළින් වැතිරුණි. සර්පයා විනිශ්චය කරන තැනක් නොලබන්නේ එහි වැතිර සිටින ඌ දැක යහලු නිල් මණ්ඩුකය! මේ මාලුන්ගේ ක්‍රියාව නුඹට රුචිදැයි විමසමින්
ආසීවිසං මමං සන්තං පවිට්ඨං කුමිනාමුඛං,
රුච්චතෙ හරිතා මාතා යං මං ඛාදන්ති මච්ඡකා
යන පළමු ගාථාව කීවේය.
“විෂ දළ ඇති මා කෙමනෙහි කටට පිවිසි කල්හි යම්බඳු මා මාලුවෝ කත්ද නිල් මැඩිදෙන මව කොට ඇතිය. තොපට එය රුචි කරයිද?”
එහි, ආසි විසං මමං සන්තං යනු විෂ ඇති මා (පැමිණි විෂ ඇති මා). රුච්චතෙ හරිතා මාතා යං මං ඛාදන්ති මච්ඡකා යනු නිල්මැඩි පුතුනි, මේ කරුණ ඔබට රුචි වේද යනුවෙන් කියයි.
ඉක්බිති ඔහුට නිල් මණ්ඩුකයා එසේය, යහලුව රුචි වෙයි. කුමක් නිසාද? ඉදින් නුඹද නුඹේ ප්‍රදේශයට පැමිණ මසුන් කන්නෙහිය. මාලුවෝද තමන්ගේ ප්‍රදේශයට පැමිණි නුඹ කති. තම තමන්ගේ සීමාවෙහි ගොදුරු බිමෙහි දුබලයෙක් නම් නැතැයි කියා
විලුම්පතෙව පුරිසො යාවස්ස උපකප්පති,
යදා චඤ්ඤො විලුම්පන්ති සො විලුත්තො විලුම්පතීති
යන දෙවන ගාථාව කීවේය.
“යමෙකුට යම්තාක් ධනය බලය (සමෘද්ධිය) ඇත්ද ඒතාක් පුරුෂයා අනුන්ට පහර දෙන්නේය. යම්කලෙක සෙස්සෝ ඉසුරු බවෙහි සිට පහර දෙත්ද එකල පහරන ලද හේ පහරනා ලැබේ.”
තත්‍ථ - එහි, විලුම්පතෙව පුරිසො යාවස්ස උපකප්පති යනු පුරුෂයාගේ අධිපතිකම එළඹ සිටින තාක් ක්‍රියාත්මක වන තාක් පවතින තාක් ඔහු අනිකෙකුට පහර දෙයි. යාව සො උපකප්පති යනුද පාඨයකි. අනුන්ට පහරදීමට හැකියාව ඇතිතාක් කල් පහරදෙයි යන අර්ථයයි. යදා චඤ්ඤො විලුම්පන්ති යනු යම්කලෙක අන් අය අධිපති වී පහරදෙත්ද සො විලුත්තො විලුම්පති යනු පහර ලත් ඔහු අනුන්ටද පහර දෙයි. විලුම්පතෙ යනුද පාඨයකි. මෙම අර්ථයමයි. විලුම්පනං යනුවෙන්ද කියති. එහි අර්ථය නොගැලපෙයි. මෙසේ පහර දෙන්නා නැවත පහර කෑමට ලක් වෙයි. බෝසතාණන් වහන්සේ නඩුව විසඳූ කල්හි දිය නයාගේ දුබල බව දැන සතුරා අල්ලා ගන්නෙමුයි මත්ස්‍ය සමූහයා කෙමන කටින් නික්මී දිය නයා එහිම මරණයට පමුණුවා ගියාහුය.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා නිමවා වදාළ සේක. එකල දිය නයා අජාසත් විය. නිල්මැඩියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.