10. මහාපිංගල ජාතකය (240)
සබ්බො ජනො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගෙන නවමසක් ගිය තැන දෙව්රම් වෙහෙර දොර කොටුවෙහි පොළොවෙහි ගිලුනුවිට ජේතවනවාසීහුද, සියලු රටවැසියෝද බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූ දෙව්දත් තෙර පොළොවෙහි ගිලුනේය. දැන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ (කටුවක් වැනි වූ) නැසුණු සතුරා ඇතිසේකැයි තුටු පහටු වූවාහුය. ඔවුන්ගේ කථාව අසා සියලු දඹදිව වාසී යක්ෂ භූත දේව සමූහයාද තුටු පහටු වූවාහුය. ඉක්බිති එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහිදී, ඇවැත්නි! දෙව්දත් තෙරුන් පොළොවෙහි ගිලුනු කල්හි බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූ දෙව්දත් තෙර පොළොවෙහි ගිලුනේ යයි මහජනයා සතුටු වූහයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුක්තව මෙහි සිටියාහුදැයි විචාරා, මෙම කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දෙව්දත් මළ කල්හි මහජනයා සතුටු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් සතුටු වූහයි, සිනාසුනහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර මහා පිංගල නම් රජතුමා අදැහැමින්, නපුරුකමින් රාජ්යය කරවීය. ඡන්දාදී වශයෙන් පව්කම් කරමින් දඬුවම් වශයෙන් කහවනු ගැනීම් ආදියෙන් උක් යන්ත්රයෙහි උක් මෙන් ජනයා වෙලුවේය. කර්කශය, රළුය, සැහැසිය. අනුන් කෙරෙහි දයානුකම්පා මාත්රයක්වත් ඔහු තුළ නැත. රජ ගෙදර ස්ත්රීන්ටද දූ පුතුන්ටද ඇමති බමුණු, ගෘහපති ආදීන්ටද අප්රියයි අමනාපයි. ඇසට වැටුණු දූවිල්ලක් මෙන්, බත් පිඩේ ගල්කැට මෙන්ද විලුඹ හිල්වී ඇනුණු කටුවක් මෙන්ද විය. එකල බෝසතාණන් වහන්සේ මහා පිංගල රජුගේ පුත්රයා වී උපන්හ. මහා පිංගල දිගුකලක් රාජ්යයකොට කලුරිය කළේය. ඔහු කලුරිය කළ කල්හි සියලු බරණැස් වැසියෝ තුටු පහටුව මහත් සේ සිනාසී දර කරත්ත දහසකින් මහා පිංගල රජු දවා කළ දහස් ගණනකින් සෑය නිවා බෝසතාණන් වහන්සේ රාජ්යයෙහි අභිෂේක කොට අපට දැහැමි රජෙක් ලැබුනේ යයි තුටුපහටු වී නගරයෙහි උත්සව බෙර හසුරුවා ඔසවන ලද ධජපතාක ඇති නගරය සරසා දොරක් දොරක් පාසා මණ්ඩපයක් කරවා විසුරුවන ලද පොරි (විළඳ) හා මල්වලින් සැරසූ භූමිවල, සැරසූ මණ්ඩපවල හිඳ ආහාරපාන අනුභව කළහ.
බෝසතාණන් වහන්සේද සැරසූ මහ පොළොවෙහි ඔසවන ලද සුදුකුඩය ඇති උතුම් වූ ආසනය මැද මහත් සම්පත් විඳිමින් හුන් සේක. ඇමති බමුණු, ගෘහපති, රටවැසි දොරටුපාල ආදීහුද රජතුමා පිරිවරාගෙන සිටියාහුය. ඉක්බිති එක් දොරටුපාලයෙක් නුදුරෙහි සිට ආශ්වාස ප්රශ්වාස කරමින් හැඬුවේය. බෝසතාණන් වහන්සේ එය දැක යහලු දොරටු පාලකය! මාගේ පියා කලුරිය කළ කල්හි සියල්ලෝම තුටුපහටු වී උත්සව පවත්වමින්, ක්රීඩා කරමින් හැසිරෙත්. නුඹ වනාහි අඬමින් සිටී. ඇයි මගේ පියා නුඹට ප්රිය වීද, මනාප වීදැයි විමසමින්
සබ්බො ජනො හිංසිතො පිංගලෙන, තස්මිං මතෙ පච්චයං වෙදයන්ති,
පියො නුතෙ ආසි අකණ්හ නෙත්තො, කස්මානු ත්වං රොදසි ද්වාරපාල
පියො නුතෙ ආසි අකණ්හ නෙත්තො, කස්මානු ත්වං රොදසි ද්වාරපාල
යන පළමු ගාථාව කීහ.
පිංගල රජු විසින් සියලුදෙනා හිංසා කරනු ලැබූහ. ඔහු මළ කල්හි රටවැසියෝ ප්රීති වෙත්. පිඟුවන් ඇස් ඇති තැනැත්ත, තට ප්රියවීද? දොරටුපාලය! කවර හෙයින් තෝ හඬන්නෙහිද?
එහි, හිංසිකො යනු නොයෙක් ආකාර දඬුවම් කිරීම් බදු අයකිරීම් ආදියෙන් පෙළෙන ලද. පිංගලෙන දුඹුරු පැහැ ඇති ඇසින්. ඔහුගේ ඇස් දෙකම පලුදු වූයේ දුඹුරු පැහැ ඇතිවිය. බළල් ඇස් පැහැයෙන් යුක්ත විය. ඒ නිසාම ඔහුට පිංගල යයි නම් කළාහුය. පච්චයං වෙදයන්ති යනු සතුට විඳිත්. අකණ්හ නෙත්කො යනු දුඹුරු පැහැ ඇස් ඇති, කස්මානු ත්වං යනු කුමන කාරණයක් ඔබ නිසා හඬන්නෙහිද? අටුවාවෙහි කස්මා තුවං යන පාඨය ඇත.
හෙතෙමේ ඔහුගේ වචනය අසා මම මහ පිංගල මළේ යයි ශෝකයෙන් නොහඬමි. මගේ හිසට සැපයක් ඇතිවිය. පිංගල රජතුමා ප්රාසාදයෙන් බසිද්දීත් (ප්රාසාදයට) නගිද්දීත් කම්මල්කරුගේ මිටියෙන් පහර දෙන්නාක් මෙන් මගේ හිසට ටොකු අට බැගින් ගසයි. ඔහු පරළොව ගොසිනුත් මගේ හිසට ඇන්නාක් මෙන් නිරය පාලකයන්ගේත් යම රජුගේත් හිසට ටොකු අනියි. එවිට ඔවුහු මේ තැනැත්තා අපට අතිශයින් බාධා පමුණුවතියි කියා නැවත මෙහි රැගෙන විත් මුදා හරින්නාහුය. එවිට ඔහු (හිටපු පිංගල රජු) නැවතත් මගේ හිසට ටොකු අනින්නේය යන බියෙන් මම හඬමියි යන මේ අදහස ප්රකාශ කරමින් දෙවන ගාථාව කීවේය.
නමෙ පියො ආසි අකණ්හ නෙත්තො, භායාමි පච්චාගමණාය තස්ස,
ඉතො ගතො හිංසෙය්ය මච්චුරාජං, සො හිංසිතො ආනෙය්ය පුන ඉධාති
ඉතො ගතො හිංසෙය්ය මච්චුරාජං, සො හිංසිතො ආනෙය්ය පුන ඉධාති
යන දෙවන ගාථාව කීය.
“පිඟුවන් ඇස් ඇති රජ මට ප්රිය නොවේ. ඔහුගේ ආපසු පැමිණීමට බිය වෙමි. මෙලොවින් ගියේ යම රජුට හිංසා කරන්නේය. පීඩාවට පත්වූ ඒ යමරජ (ඔහු) යළි මෙහි ගෙනෙන්නේය.”
ඉක්බිති ඔහුට බෝසතාණන් වහන්සේ ඒ රජතුමා දරගැල් දහසකින් දවන ලද්දේය. දිය කල සිය ගණනක් ඉසින ලද්දේය. ඔහුගේ ඒ ආදාහන බිමද හාත්පසින් හාරන ලද්දේය. ස්වභාවයෙන්ම පරළොව ගිය, වෙනත් තැනක උපන් අය නැවත ඒ සිරුරෙන්ම නොඑති. ඔබ බය නොවන්න යනුවෙන් ඔහු අස්වසමින්
දඩ්ඪො වාහ සහස්සෙභි සිත්තො ඝට සතෙහිසො,
පරික්ඛතො චසා භූමි මා භායි නාග මිස්සති,
පරික්ඛතො චසා භූමි මා භායි නාග මිස්සති,
යන ගාථාව කීහ.
“පිංගල රජු දර කරත්ත දහසකින් දවන ලද්දේය. වතුර කළ සියයකින් තෙමන ලදි. ඒ බිමද සාරා දමන ලදි. බිය නොවන්න. ඔහු පෙරළා නොඑන්නේය.”
එතැන් පටන් දොරටු පාලයා සැනසීමක් ලැබුවේය. බෝසතාණන් වහන්සේ දැහැමෙන් රජකරවා දානාදී පිංකම්කොට කර්මානුරූපව පරළොව ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල පිංගල රජ දෙව්දත් තෙරය. පුතා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
නවවැනි උපාහන වර්ගය නිමියේය.
10. සිඟාල වර්ගය
1. සබ්බදාඨ ජාතකය (241)
සිගාලො මානත්ථද්ධො යන මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. දෙව්දත් තෙර අජාසත් රජු පහදවාගෙන උපදවන ලද ලාභසත්කාර දිගුකල් පවත්වාගෙන යාමට අසමත් විය. නාලාගිරි ඇතු මෙහෙයවූ විට සිදුවූ ප්රාතිහාර්යය (ජනයා) දුටු කාලයේ පටන් ඔහුගේ ඒ ලාභසත්කාර අතුරුදහන් විය. ඉක්බිති එක්දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි! දෙව්දත් තෙර ලාභ සත්කාර උපදවාගෙන දිගුකල් පවත්වා ගෙනයාමට නොහැකි වී යයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කිනම් කතාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දෙව්දත් තමන්ට උපන්නා වූ ලාභසත්කාර අතුරුදහන් කර ගත්තේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ අතුරුදහන් කරගත්තේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.