8. ඒකපද ජාතකය (238)
ඉංඝ එකපදං තාතා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෙළඹි පුත්‍රයෙකු මුල් කරගෙන දේශනා කළ සේක. මේ කෙළෙඹි පුත්‍රයා සැවැත්නුවර වැසියෙකි. දිනක් තම උකුලෙහි සිටි ඔහුගේ පුතා දියුණුවට දොරටුව වූ එක් ප්‍රශ්නයක් විචාළේය. හෙතෙම ඒ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට විෂය වන්නකි. වෙන කෙනෙකුට පිළිතුරු දීමට නොහැකි වන්නේයයි සිතා පුතා රැගෙන ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට වැඳ ස්වාමීනි! මගේ උකුල මත සිටිමින් මේ දරුවා දියුණුවෝ දොරටුවට හේතුවන ප්‍රශ්නයක් ඇසුවේය. එය නොදන්නා මම මෙහි ආවෙමි. ස්වාමීනි! මේ ප්‍රශ්නයට පිළිතුරු වදාරන සේක්වා. බුදුරජාණන් වහන්සේ උපාසකය! මේ දරුවා අර්ථ ගවේෂකයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙරත් අර්ථ ගවේෂකයෙක් වී මේ ප්‍රශ්නය පණ්ඩිතයන්ගෙන් විචාළේය. පැරණි නුවණ ඇත්තෝද මොහුට කීවාහුය. භවයෙන් සැඟවුණු නිසා සිහි නොකරන්නෙහි යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු පියාගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබූහ. ඉක්බිති ඔහුගේ ළදරු පුත් කුමරා උකුලෙහි හිඳගෙන පියාණෙනි! මට නොයෙක් අර්ථ ඇති එක් පදයකින් යුත් එක් කාරණයක් කියන්නැයි විමසමින්
ඉංඝං එකපදං තාත අනෙකත්‍ථ පද නිස්සිතං,
කිඤ්චි සංගාහිකං බ්‍රෑහි යෙනත්‍ථෙ සාවයාමසෙ
යන පළමු ගාථාව කීවේය.
“පියතුමනි! යම් පදයකින් දියුණුව ප්‍රකාශ කරන්නෙමුද? එබඳු අරුත් ඇති පදවලින් යුතු වූ එක පදයක් අයදිමි. එය කියනු මැනවි.”
එහි ඉංඝ යනු ඉල්ලීම් අර්ථයෙහිද චෝදනා අර්ථයෙහිද නිපාතයකි. එකපදං යනු එක් කරුණක් ඇති පදයක්, එක් කරුණක් සංග්‍රහ කළ අකුරු ඇති පදයක්. අනෙකත්‍ථ පද නිස්සිතං යනු නොයෙක් අරුත් ඇති කරුණු අඩංගු පද ඇසුරුකොට ඇති කිඤ්චි සංගාහිකං බ්‍රෑහි යන බොහෝ අර්ථ එක්රැස් කළ එක් පදයක් කියනු මැනවි. මෙයම පාඨයයි. යෙනත්‍ථෙ සාවයාමසෙ යනු නොයෙක් අර්ථ ඇසුරු කරන ලද යම්කිසි එක් පදයකින් අපි තමන්ගේ දියුණුව ප්‍රකාශ කරන්නෙමුද ඒ පදය මට කියනු මැනවි යනුවෙන් (ප්‍රශ්නය) ඇසීය.
ඉක්බිති ඔහුගේ පියා පිළිතුරු දෙමින්,
දක්ඛෙය්‍යෙකපදං තාත අනෙකත්‍ථ පදනිස්සිතං,
තඤ්ච සීලෙන සංයුත්තං ඛන්තියා උපපාදිතං,
අලං මිත්තෙ සුඛාපෙතුං අමිත්තානං දුඛාය චා
යන දෙවන ගාථාව කීය.
“දරුව! නොයෙක් අර්ථ ඇසුරු කරන ලද ඒ පදය යනු ‘වීර්යය’ යි. එයද සීලයෙන් ක්‍ෂාන්තියෙන් යුක්ත වූයේ මිතුරන් සැපවත් කරන්නටත් සතුරන් දුප්පත් කරන්නටත් සමර්ථ වේ.”
එහි, දක්ඛෙය්‍යෙකපදං යනු දක්ඛෙය්‍යං එකපදං (පද බෙදීමයි) දක්ඛෙය්‍ය යනු ලාභ උපදවන, දක්‍ෂ වූ පුද්ගලයාගේ, ඤාණයෙන් යුක්ත වූ ‘වීර්යය’යි. අනෙකත්‍ථපද නිස්සිතං යනු මෙසේ කියන ලද ආකාර ඇති ‘වීර්යය’ නොයෙක් අර්ථවලින් යුක්තය. (‘වීර්යය’ යන පදයෙහි නොයෙක් අර්ථ ඇත.) කුමන අර්ථවලින්ද? සීලාදී අර්ථවලින්. ඒ නිසාම තඤ්ච සීලෙන සංයුත්තං (එයද සීලයෙන් යුක්තය) යනාදිය කීහ. ඒ ‘වීර්යය’ ද ආචාර සීලයෙන් යුක්ත වූ අධිවාසන ක්‍ෂාන්තියෙන් (සා පිපාස දී දුක් ඉවසීමෙන්) යුක්තය යනු එහි අර්ථයයි. මිත්තෙ සුඛාපෙතු අමිත්තානඤ්ච දුක්ඛාය අලං මිතුරන් සුවපත් කරන්නට සතුරන් දුකට පත්කරන්නට සමත්ය. ලාභ උපදවන ඤාණයෙන් යුක්ත වූ දක්‍ෂ බවෙන් යුක්ත වූ වීර්යයෙන් යුක්ත වූ, ආචාර සීලයෙන් යුක්ත වූ, ඉවසීමෙන් යුක්ත වූ කවර නම් තැනැත්තෙක් මිතුරන් සුවපත් කරන්නටද සතුරන් දුක්පත් (දුකට පත්) කරන්නටද අසමත් වේද? (සමත් වේමය.)
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු සැපයූහ. ඔහු ද පියා කියන ලද පරිද්දෙන්ම තමන්ගේ අර්ථය (යහපත, දියුණුව) සිදුකරගෙන කර්මානුකූව මියපරලොව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව ගළපා නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර පියාද පුතාද සෝවාන් ඵලයෙහි පිහිටියහ. එකල්හි පුතා මොහුම වූයේය. බරණැස් සිටුවරයා වනාහි මම්ම වූයෙමියි වදාළ සේක.
9. හරිතමාතු ජාතකය (239)
ආසීවිසං මම සන්තං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අජාසත් රජතුමා මුල් කරගෙන දේශනා කළ සේක. කොසොල් රජුගේ පියා වූ මහ කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමාට දියණිය දෙමින් තමන්ගේ නැගණියට “නහානමූල” නම් කසීගම දුන්නේය. අජාසත් රජතුමා විසින් පියා මැරූ කල්හි රජතුමාට ආදරයෙන් සිටි ඈ නොබෝ දිනකින්ම කලුරිය කළාය. අජාසත් රජතුමා මව කලුරිය කළ පසුත් ඒ ගම භුක්ති විඳියි. කොසොල් රජතුමා පීතෘඝාතක සොරාට මගේ කුල සන්තක ගම නො දෙන්නෙමියි ඔහු සමග යුද කරයි. ඇතැම් දිනක මාමාට ජයවෙයි. ඇතැම් දිනක බෑණාට ජය වෙයි. යම් දවසක අජාසත් දිනයිද එකල් රථයෙහි කොඩි ඔසවා මහත් කීර්තියෙන් නගරයට පිවිසෙයි. යම් දවසක පැරදෙයිද එකල්හි දොම්නසට පත්ව කිසිවෙකුටත් නොදන්වාම පිවිසෙයි. ඉක්බිති එක්දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි! අජාසත් රජතුමා මාමා පරදවා සතුටුවෙයි. තමා පැරදුනවිට දොම්නසට පත්වෙතියි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, මා එන්නට ප්‍රථම මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මොහු දිනා සතුටු වෙයි. පැරදුනවිට දොම්නසට පත්වූයේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.