7. සාකේත ජාතකය (237)
කොනු ඛො භගවා හෙතු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සාකේත නුවර ඇසුරු කොටගෙන වැඩවාසය කරමින් සාකේත බමුණා මුල් කරගෙන වදාළ සේක. මෙහි අතීත කථාවත්, වර්තමාන කථාවත් යට (මුලින්) ඒකක නිපාතයෙහි සාකේත ජාතකයෙහි කියන ලද්දේමය. ආකාරයමයි. තථාගතයන් වහන්සේ විහාරයට වැඩම කළ අවස්ථාවේදී භික්ෂූහු, ස්වාමීනි! මේ ස්නේහය නම් කෙසේ පිහිටන්නේදැයි විචාරමින් පළමු ගාථාව වදාළහ.
කොනු ඛො භගවා හෙතු එකච්චෙ ඉධ පුග්ගලො,
අතීව හදවං නිබ්බාති චිත්තඤ්චාපි පසීදති
අතීව හදවං නිබ්බාති චිත්තඤ්චාපි පසීදති
යන පළමු ගාථාව කීහ.
“භාග්යවතුන් වහන්ස! මෙලොව ඇතැම් පුද්ගලයෙකු දුටු පමණින් හදවත නිවී යයි. සිතද පැහැදේ. මීට හේතු කවරේද?”
එහි අර්ථය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් දුටු පමණින්ම හදවත අතිශයින් නිවී යයි. මනාව සුවඳ කවන ලද සීතල ජලය කළ දහසකින් තෙමන ලද්දක් මෙන් සීතල වෙයි. ඇතැමෙකු දැකීමෙන් එසේ නොනිමෙයි. ඇතැමෙකු දුටු පමණින්ම සිත පහදියි. මොළොක් වෙයි. ප්රේම වශයෙන් ඇලෙයි. සමහරෙක් දැකීමෙන් නොඇලෙයි. මෙයට හේතු කවරේද?
ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ට ප්රේම කාරණය දක්වමින් දෙවන ගාථාව වදාළ සේක.
පුබ්බෙව සන්නිවාසෙන පච්චුප්පන්න හිතෙන වා,
එවං තං ජායතෙ පෙමං උප්පලංව යථොදකෙ
එවං තං ජායතෙ පෙමං උප්පලංව යථොදකෙ
යන දෙවන ගාථාව කී සේක.
“පෙර භවයෙහි එක්ව විසීමෙන් හෝ මේ භවයෙහි කළ හිතවත් කමක් නිසා හෝ මෙසේ ඒ ප්රේමය හටගනී. (මඩත් දියත් නිසා) දියේ උපුල් හටගන්නාක් මෙනි.”
එහි අර්ථය, මහණෙනි! මේ ප්රේමය නම් කරුණු දෙකක් මුල් කරගෙන උපදියි. පෙර ආත්මයේදී මව හෝ පියා හෝ දුව හෝ පුතා හෝ සහෝදරයා හෝ සහෝදරී හෝ ස්වාමියා හෝ බිරිඳ හෝ සහායකයා හෝ මිත්රයා හෝ වී යමෙක් යමක් සමග එක්තැනක වසන ලදද ඔහුට වේ. පුබ්බෙව සන්නිවාසෙන වා පෙර භවයෙහි එක්ව විසීමෙන් හෝ භවාන්තරයෙහිද ලුහුබඳිමින් හෙතෙම ස්නේහය (ලෙන්ගතුකම) අත් නොහරියි. මේ ආත්මභාවයේදී කරන දෙයින්, පච්චුප්පන්න හිතෙන වා එවං නං ජායතෙ පෙමං මේ ජීවිතයේදී ඇතිකරගත් හිතවත්කමින් හෝ මෙසේ ඒ ප්රේමය උපදී. මේ කරුණු දෙකින් ඒ ප්රේමය උපදියි. කෙසේද යත් උප්පලංව යථොදකෙ යනු ‘ව’ කාරයට කෙටි ස්වරය (වා ව වීම) යොදන ලදි. මෙය එක් කිරීමේ අර්ථයෙහි කියන ලදි. ඒ නිසා උපුල්ද ජලයෙහි හටගන්නා සෙසු මල්ද යම්සේ ජලයෙහි හටගන්නේ ජලය මෙන් මඩද යන කරුණු දෙක නිසා හටගනියි. එසේම ඒ කාරණ දෙකින් ප්රේමය හටගනියි. මෙසේ මෙහි අර්ථය දතයුතුයි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව වදාළ සේක. එකල බමුණා සහ බැමිණිය මේ දෙදෙනාම වූහ. පුතා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
8. ඒකපද ජාතකය (238)
ඉංඝ එකපදං තාතා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෙළඹි පුත්රයෙකු මුල් කරගෙන දේශනා කළ සේක. මේ කෙළෙඹි පුත්රයා සැවැත්නුවර වැසියෙකි. දිනක් තම උකුලෙහි සිටි ඔහුගේ පුතා දියුණුවට දොරටුව වූ එක් ප්රශ්නයක් විචාළේය. හෙතෙම ඒ ප්රශ්නය බුදුරජාණන් වහන්සේට විෂය වන්නකි. වෙන කෙනෙකුට පිළිතුරු දීමට නොහැකි වන්නේයයි සිතා පුතා රැගෙන ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට වැඳ ස්වාමීනි! මගේ උකුල මත සිටිමින් මේ දරුවා දියුණුවෝ දොරටුවට හේතුවන ප්රශ්නයක් ඇසුවේය. එය නොදන්නා මම මෙහි ආවෙමි. ස්වාමීනි! මේ ප්රශ්නයට පිළිතුරු වදාරන සේක්වා. බුදුරජාණන් වහන්සේ උපාසකය! මේ දරුවා අර්ථ ගවේෂකයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙරත් අර්ථ ගවේෂකයෙක් වී මේ ප්රශ්නය පණ්ඩිතයන්ගෙන් විචාළේය. පැරණි නුවණ ඇත්තෝද මොහුට කීවාහුය. භවයෙන් සැඟවුණු නිසා සිහි නොකරන්නෙහි යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.