6. බක ජාතකය (236)
භද්දකො වනයං පක්ඛී යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක වංචාකාරී කුහක භික්ෂුවක අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ (තමන් වහන්සේ වෙත) පමුණුවා පෙන්වන ලද ඔහු දැක මහණෙනි! දැන් පමණක් නොවේ. මේ භික්ෂුව පෙරත් කුහක පුද්ගලයෙක්ම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජතුමා රජ කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ හිමාල වන ප්රදේශයේ එක් විලක මත්ස්යයෙකු වී මහා පිරිවර ඇතිව වාසය කළ සේක. ඉක්බිති එක් කොකෙක් මසුන් කන්නෙමියි විලට ආසන්න තැනක හිස නමාගෙන පියාපත් දෙක විදහාගෙන මද මද වශයෙන් මාලු දෙස බලමින් ඔවුන්ගේ ප්රමාදයක් ඇතිවන තෙක් බලා සිටියේය. ඒ අවස්ථාවේදී බෝසතාණන් වහන්සේ මාලු සමූහයා පිරිවරන ලද්දාහු ගොදුරු ගනිමින් ඒ ස්ථානයට පැමිණියහ. මත්ස්ය සමූහයා ඒ කොකා දැක
භද්දකො වතයං පක්ඛී ද්විජො කුමද සන්නිභො,
වුපසන්තෙහි පක්ඛෙහි මන්ද මන්දොව ඣායති
වුපසන්තෙහි පක්ඛෙහි මන්ද මන්දොව ඣායති
යන පළමු ගාථාව කීහ.
හෙළැඹුල් මල් පෙති බඳු පියාපත් ඇති මේ පක්ෂියා ඉතා යහපත්ය. සන්සුන් පියාපත් ඇතිව (මසුන් දෙස බලමින්) මදින් මද ඉතා දුබල එකකු මෙන් සිතයි. (භාවනා කරයි.)
එහි, මන්ද මන්දොව ඣායති යනු ඉතා දුබලයෙකු මෙන් වී කිසිවක් නොදත්තෙකු මෙන් තනිවම භාවනා කරයි.
ඉක්බිති බෝසතාණන් වහන්සේ කොකා දෙස බලා,
නාස්ස සීලං විජානාථ අනඤ්ඤාය පසංසථ,
අම්හෙ ද්විජො න පාලෙති තෙන පක්ඛී න ඵන්දති
අම්හෙ ද්විජො න පාලෙති තෙන පක්ඛී න ඵන්දති
යන දෙවන ගාථාව කී සේක.
(තොපි) මොහුගේ සිල්වත් බවක් නොදන්නෙහුය. නොදැන ප්රශංසා කරන්නෙහුය. පක්ෂියා අප නොරකියි. (අල්ලා ගන්නේ කුමන මාලුවාදැයි සිතන) නිසා පියාපත් නොසොල්වයි.
එහි, අනඤ්ඤාය යනු නොදැන, අම්හෙ ද්විජො න පාලෙති යනු මේ පක්ෂියා අප නොරකියි. පාලනය නොකරයි. මොවුන් අතුරෙන් කුමන මාලුවෙක් ආහාරයට ගන්නෙම්දැයි විමසා බලයි. තෙන පක්ඛී න ඵන්දති යනු ඒ නිසා මේ පක්ෂියා නොසෙල්වෙයි. කම්පා නොවෙයි. මෙසේ කී කල්හි මාලු සමූහයා ජලය කළඹා කොකා පලවා හැරියහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කොකා මේ කපටි භික්ෂුවයි. මත්ස්ය රජතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
7. සාකේත ජාතකය (237)
කොනු ඛො භගවා හෙතු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සාකේත නුවර ඇසුරු කොටගෙන වැඩවාසය කරමින් සාකේත බමුණා මුල් කරගෙන වදාළ සේක. මෙහි අතීත කථාවත්, වර්තමාන කථාවත් යට (මුලින්) ඒකක නිපාතයෙහි සාකේත ජාතකයෙහි කියන ලද්දේමය. ආකාරයමයි. තථාගතයන් වහන්සේ විහාරයට වැඩම කළ අවස්ථාවේදී භික්ෂූහු, ස්වාමීනි! මේ ස්නේහය නම් කෙසේ පිහිටන්නේදැයි විචාරමින් පළමු ගාථාව වදාළහ.
කොනු ඛො භගවා හෙතු එකච්චෙ ඉධ පුග්ගලො,
අතීව හදවං නිබ්බාති චිත්තඤ්චාපි පසීදති
අතීව හදවං නිබ්බාති චිත්තඤ්චාපි පසීදති
යන පළමු ගාථාව කීහ.
“භාග්යවතුන් වහන්ස! මෙලොව ඇතැම් පුද්ගලයෙකු දුටු පමණින් හදවත නිවී යයි. සිතද පැහැදේ. මීට හේතු කවරේද?”
එහි අර්ථය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් දුටු පමණින්ම හදවත අතිශයින් නිවී යයි. මනාව සුවඳ කවන ලද සීතල ජලය කළ දහසකින් තෙමන ලද්දක් මෙන් සීතල වෙයි. ඇතැමෙකු දැකීමෙන් එසේ නොනිමෙයි. ඇතැමෙකු දුටු පමණින්ම සිත පහදියි. මොළොක් වෙයි. ප්රේම වශයෙන් ඇලෙයි. සමහරෙක් දැකීමෙන් නොඇලෙයි. මෙයට හේතු කවරේද?
ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ට ප්රේම කාරණය දක්වමින් දෙවන ගාථාව වදාළ සේක.
පුබ්බෙව සන්නිවාසෙන පච්චුප්පන්න හිතෙන වා,
එවං තං ජායතෙ පෙමං උප්පලංව යථොදකෙ
එවං තං ජායතෙ පෙමං උප්පලංව යථොදකෙ
යන දෙවන ගාථාව කී සේක.
“පෙර භවයෙහි එක්ව විසීමෙන් හෝ මේ භවයෙහි කළ හිතවත් කමක් නිසා හෝ මෙසේ ඒ ප්රේමය හටගනී. (මඩත් දියත් නිසා) දියේ උපුල් හටගන්නාක් මෙනි.”
එහි අර්ථය, මහණෙනි! මේ ප්රේමය නම් කරුණු දෙකක් මුල් කරගෙන උපදියි. පෙර ආත්මයේදී මව හෝ පියා හෝ දුව හෝ පුතා හෝ සහෝදරයා හෝ සහෝදරී හෝ ස්වාමියා හෝ බිරිඳ හෝ සහායකයා හෝ මිත්රයා හෝ වී යමෙක් යමක් සමග එක්තැනක වසන ලදද ඔහුට වේ. පුබ්බෙව සන්නිවාසෙන වා පෙර භවයෙහි එක්ව විසීමෙන් හෝ භවාන්තරයෙහිද ලුහුබඳිමින් හෙතෙම ස්නේහය (ලෙන්ගතුකම) අත් නොහරියි. මේ ආත්මභාවයේදී කරන දෙයින්, පච්චුප්පන්න හිතෙන වා එවං නං ජායතෙ පෙමං මේ ජීවිතයේදී ඇතිකරගත් හිතවත්කමින් හෝ මෙසේ ඒ ප්රේමය උපදී. මේ කරුණු දෙකින් ඒ ප්රේමය උපදියි. කෙසේද යත් උප්පලංව යථොදකෙ යනු ‘ව’ කාරයට කෙටි ස්වරය (වා ව වීම) යොදන ලදි. මෙය එක් කිරීමේ අර්ථයෙහි කියන ලදි. ඒ නිසා උපුල්ද ජලයෙහි හටගන්නා සෙසු මල්ද යම්සේ ජලයෙහි හටගන්නේ ජලය මෙන් මඩද යන කරුණු දෙක නිසා හටගනියි. එසේම ඒ කාරණ දෙකින් ප්රේමය හටගනියි. මෙසේ මෙහි අර්ථය දතයුතුයි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව වදාළ සේක. එකල බමුණා සහ බැමිණිය මේ දෙදෙනාම වූහ. පුතා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
8. ඒකපද ජාතකය (238)
ඉංඝ එකපදං තාතා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෙළඹි පුත්රයෙකු මුල් කරගෙන දේශනා කළ සේක. මේ කෙළෙඹි පුත්රයා සැවැත්නුවර වැසියෙකි. දිනක් තම උකුලෙහි සිටි ඔහුගේ පුතා දියුණුවට දොරටුව වූ එක් ප්රශ්නයක් විචාළේය. හෙතෙම ඒ ප්රශ්නය බුදුරජාණන් වහන්සේට විෂය වන්නකි. වෙන කෙනෙකුට පිළිතුරු දීමට නොහැකි වන්නේයයි සිතා පුතා රැගෙන ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට වැඳ ස්වාමීනි! මගේ උකුල මත සිටිමින් මේ දරුවා දියුණුවෝ දොරටුවට හේතුවන ප්රශ්නයක් ඇසුවේය. එය නොදන්නා මම මෙහි ආවෙමි. ස්වාමීනි! මේ ප්රශ්නයට පිළිතුරු වදාරන සේක්වා. බුදුරජාණන් වහන්සේ උපාසකය! මේ දරුවා අර්ථ ගවේෂකයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙරත් අර්ථ ගවේෂකයෙක් වී මේ ප්රශ්නය පණ්ඩිතයන්ගෙන් විචාළේය. පැරණි නුවණ ඇත්තෝද මොහුට කීවාහුය. භවයෙන් සැඟවුණු නිසා සිහි නොකරන්නෙහි යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.