5. වච්ඡනඛ ජාතකය (235)
සුඛා ඝරා වච්ඡනඛ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් රෝජ මල්ල නම් තැනැත්තා අරබයා වදාළ සේක. ඔහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ ගිහි සහායකයෙකි. හෙතෙම එක් දිනක් ආනන්ද තෙරුන්ට තම නිවසට වැඩමවන ලෙස පණිවිඩයක් යැව්වේය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා වැඩි සේක. හෙතෙම තෙරුන් වහන්සේට නොයෙක් ආහාර වළඳවා එකත්පසෙක සිටියේ තෙරුන් වහන්සේ සමග පිළිසඳර කථාකොට ගිහි සැපතින් හා පස්කම් ගුණයෙන් ආරාධනා කරන්නේ ස්වාමීනි! ආනන්ද හිමියනි! මාගේ ගෙයි ඇති මේ චංචල නිශ්චල වස්තු දෙකට බෙදා නුඹවහන්සේට දෙමි. එනු මැනවි! දෙදෙනාම ගිහිගෙයි වසමුයි කීය. තෙරුන් වහන්සේ ඔහුට කාමයන්හි ආදීනව කියා ආසනයෙන් නැගිට විහාරයට වැඩමකොට ආනන්දයෙනි, රෝජ දුටුවාදැයි බුදුරජාණන් වහන්සේ විමසූ සේක. එවිට එසේය ස්වාමීනියි වදාරා ඔබ ඔහුට කුමක් කීවෙහිදැයි වදාළ කල්හි ස්වාමීනි! රෝජ මට ගිහිගෙයි විසීමට ආරාධනා කළේය. එවිට ඔහුට මම ගෘහවාසයෙහි හා පස්කම් සැපයෙහිද ආදීනව කීවෙමියි කීහ. බුදුරජාණන් වහන්සේ, ආනන්දයෙනි, රෝජමල්ල පැවිද්දන්ට ගෘහවාසයට ආරාධනා කළේ දැන් පමණක් නොවේ. පෙරත් ආරාධනා කළේයැයි වදාරා ආනන්ද තෙරුන්ගේ ඉල්ලීම පරිදි අතීත කථාව වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා නියම්ගමෙක බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තාපස පැවිද්දෙන් පැවිදිව හිමාලය වන පෙදෙසේ බොහෝ කලක් වාසයකොට ලුනුඇඹුල් සෙවීම පිණිස බරණැස් නුවරට පැමිණ රජ උයනෙහි වාසය කොට දෙවන දවසේ බරණැස් නුවර පිවිසි සේක. ඉක්බිති මුන්වහන්සේගේ යහපත් හැසිරීම් කෙරෙහි බරණැස් සිටුතුමා පැහැදී නිවසට කැඳවාගෙන ගොස් වළඳවා උයනෙහි වාසය පිණිස ප්රතිඥා ගෙන පෝෂණය කරන්නේ උයනෙහි වාසය කරවීය. ඔවුහු ඔවුනොවුන් අතර උපන් ස්නේහ ඇත්තෝ වූහ.
ඉක්බිති එක් දවසක් බරණැස් සිටුතුමා බෝසතාණන් වහන්සේ කෙරෙහි ප්රේම විශ්වාස ඇතිව පැවිද්ද නම් දුකකි. මාගේ යහලු ‘වච්ඡනඛ’ පිරිවැජියාව උපැවිදි (ගිහියකු) කරවා සියලු වස්තුව දෙකට බෙදා ඔහුටද දී දෙදෙනාම සමගියෙන් වසන්නෙමුයි මෙසේ සිතීය. ඔහු එක්දිනක් දානය වළඳා අවසානයේ ඔහු සමග මිහිරි පිළිසඳරක යෙදී ස්වාමීනි! වච්ඡනඛ, පැවිද්ද දුකකි. ගිහිගෙයි වාසය සැපයකි. ඒ නිසා එනු මැනවි. අප දෙදෙනා සමගියේ කම්සැප විඳිමින් වසමුයි කියා පළමු ගාථාව කීවේය.
සුඛා ඝරා වච්ඡනඛ සහිරඤ්ඤා සභොජනා,
යත්ථ භුත්ථාච පීත්වාච සය්යොථ අනුස්සුකොති
යත්ථ භුත්ථාච පීත්වාච සය්යොථ අනුස්සුකොති
යන පළමු ගාථාව කීවේය.
“වච්ඡනඛ තවුසාණෙනි, මිහිරි ආහාර අනුභවකොට මිහිරි පානයක් පානය කොටද යම් සිරි යහනක නොකලකිරී (උකටලී නොව) නිදන්නෙහිය. එම නිසා රන් ඇති බොජුන් ඇති ගිහිගේ සැපයයි ගුණ කීය.”
එහි, සහිරඤ්ඤා යනු සත්රුවන්වලින් යුක්ත වූ. සභොජනා යනු බොහෝ කෑයුතු අනුභව කළයුතු ආහාර, යත්ථ භූත්වාච පීත්වාච යනු හිරණ්ය සහිත බොජුන් සහිත ගෙවල්වල නොයෙක් රසයෙන් යුත් බොජුන් වළඳා නොයෙක් බීම වර්ගද පානයකොට. සයෙය්යාථ අනුස්සුකො යනු සරසන ලද යම් සිරියහනක් මත නොකලකිරී නිදන්නෙහිද, ඒ නිසා ගෘහවාසය නම් අතිශයින්ම සැපයකි.
ඉක්බිති මොහුගේ කථාව අසා බෝසතාණන් වහන්සේ මහසිටුතුමනි! නුඹ මෝඩකම නිසා කාමයෙහි ගිජුවූයේ ගිහිගේ ගුණත්, පැවිද්දෙහි අගුණත් කීවෙහිය. ගිහිගේ අගුණ ඔබට කියන්නෙමි. දැන් එය අසන්නැයි කියා කීවේය.
ඝරා නානී හමානස්ස ඝරා නාභණතො මුසා,
ඝරා නාදින්න දණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො,
එවං ඡිද්දං දුරභිභවං කො ඝරං පටිපජ්ජති
ඝරා නාදින්න දණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො,
එවං ඡිද්දං දුරභිභවං කො ඝරං පටිපජ්ජති
යන දෙවන ගාථාව කීවේය.
උත්සාහවත් නොවන්නා හට ගෙවල් නැත. බොරු කියන්නා හට ගෘහයෝ නැත. නොගන්නා ලද දඬු ඇති මෙරමා හට දඬුවම් නොකරන්නා හට ගෘහයෝ නැත. මෙකී පරිද්දෙන් ඡිද්ර ඇති දුරාරධ්ය වූ ගිහිගෙට කවරෙක් නම් පැමිණේද? (නොපැමිණේමය.)
එහි, ඝරා නානීහමානස්ස යනු නිතරම ගොවිතැන් හා ගවයන් රැකබලා ගැනීම් කිරීම් වශයෙන් උත්සාහ නොකරන තැනැත්තාට ගෙවල් නැත. ගෘහවාසය සරු නොවේ. (නොපිහිටන්නේය) යන අර්ථයි. ඝරා නාභණතො මුසා යනු කෙත් වත් රන් රුවන් ආදිය ලබාගැනීම පිණිස බොරු කියන්නාටද ගෙවල් නැත. ඝරා නාදින්න දණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො යනු (පහරදීමට ගන්නා වේවැල් ආදී දඬු නොගත් තැනැත්තාට ද දඬු ඉවත දැමූ තැනැත්තාටද අනුන්ට දඬුවම් නොකරන තැනැත්තාටද ගෙවල් නැත. (ගිහි ජීවිතයක් නැත) දඬු අතට ගත් කෙනෙක් වී දාසයන් කම්කරුවන් ආදී අන් අයට කරන කරන වරදට ගැළපෙන වදදීම්, බැඳතැබීම් (අත් පා ආදිය) කැපීම් තැළීම් ආදී වශයෙන් දඬුවම් කරන තැනැත්තාටම ගිහි ජීවිතය පිහිටයි. (සරුවෙයි) යන අර්ථයයි. එවං ඡිද්දං දුරභිභවං කො ඝරං පටිපජ්ජති යනු මෙසේ වංචා කිරීම් ආදිය නොකරන කල්හිද පිරිහීම පිණිස පවතින ඒ ඒ වැරදි කරන කල්හිද නිතරම කටයුතු කළ යුතු බැවින් දුෂ්කර වූද, (ගිහි ජීවිතයට අවශ්ය දේ) ලබාගැනීම අපහසු හෙයින්ද ඒ ගිහිගෙයි වාසය කිරීම දුෂ්කරය. සම්පූර්ණ කිරීමට අපහසුය. මම දැන් තැති ගැනීම් නැති කෙනෙක් වී නිතර වාසය කරන්නෙමි. කවර පුද්ගලයේක ගිහි ජීවිතයට ඇතුල් වේද?