4. අසිතාභු ජාතකය (234)
ත්වමෙවදානිමකර යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුමාරිකාවක අරබයා වදාළ සේක. සැවැත් නුවර වනාහි අගසව් දෙදෙනා වහන්සේලාට උපස්ථාන කරන එක්තරා කුමාරිකාවක් මනා රූ ඇත්තීය. අතිශයින් දැකුම්කලු වූවාය. වැඩිවියට පත්වූ ඈ සමාන ජාතික කුලයකට ගියාය. සැමියා ඇය ගැන කිසියම්ම හැඟීමක් නැතිව අන්තැනක සිත් ඇතිව හැසිරෙයි. ඈ ඔහුගේ ඒ තමා කෙරේ ආදරයක් නොමැති බව, ගණන් නොගෙන අගසව් දෙනමට ආරාධනා කොට මහදන් දී බණ අසන්නී සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඈ එතැන් පටන් මාර්ග හා ඵල සුවයෙන් කල් ගෙවමින්, සැමියා ද මට කැමති නොවේ. ගෙදර වාසයෙන් ද පලක් නැත. පැවිදිවන්නෙමි’යි සිතා මව්පියන්ට කියා පැවිදිව රහත්ඵලයට පත්වූවාය. ඇගේ ඒ ක්රියාව භික්ෂූන් අතරෙහි ප්රකට විය. ඉක්බිති එක් දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී “ඇවැත්නි! අසවල් කුලයෙහි දියණිය අර්ථය (නිවන) සොයන්නී සැමියාගේ නොකැමැති බව දැන අගසව් දෙදෙනා වහන්සේලාගෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා නැවත මව්පියන්ගෙන් විමසා පැවිදිව රහත් ඵලයට පත්වූවාය. ඇවැත්නි, ඒ කුමරිය මෙසේ (නිවන නමැති) අර්ථය සොයන්නීයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යැයි කී කල්හි මහණෙනි! ඒ කුල දියණිය දැන් පමණක් අර්ථය සොයන්නියක් නොවූවාය. පෙරත් අර්ථ ගවේසිකාවක්ව සිටියායැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සෘෂි පැවිද්දෙන් (තවුස් පැවිද්දෙන්) පැවිදිව, අභිඥා ද, සමාපත්තිද උපදවාගෙන හිමවත් පෙදෙසෙහි වාසය කළ සේක. එකල බරණැස් රජතුමා තමාගේ පුත් බඹදත් කුමාරයාගේ පිරිවර සම්පත් දැක උපන්නා වූ සැක ඇත්තේ පුතා රටින් නෙරපීය. ඔහු අසිතාභු නම් තම දේවියද රැගෙන හිමාල වනයට පිවිස මස්, මාළු හා ලොකු කුඩා පළතුරු ද කමින් පන්සලක වාසය කළේය. කුමරා එහිදී එක්තරා කිඳුරියක දැක පිළිබඳව සිත් ඇතිව මැය බිරිඳ කර ගන්නෙමියි සිතා අසිතාභු දේවිය ගැන නොසලකා කිඳුරියගේ පියවර අනුව ගියේය. ඈ (අසිතාභු) ඔහු කිඳුරිය පසුපස යන බව දැක මොහු මා ගැන නොසලකා කිඳුරිය පසුපස යයි. මොහුගෙන් ඇති ඵලය කුමක්දැයි නොඇලුණු සිත් ඇතිව බෝසතුන් වෙත එළඹ වැඳ තමන්ට කසිණ පරිකර්ම කියවාගෙන කසිණය බලන්නී අභිඤ්ඤාද සමාපත්තිද උපදවාගෙන බෝසතාණන් වහන්සේට වැඳ අවුත් තමන්ගේ පන්සල් දොරටුවෙහි සිටියාය. බඹදත් කුමරාද කිඳුරිය පසුපස ඇවිද ඇය ගියමග ද නොදැක සිඳුණු ආසා ඇතිව පන්සල දෙසට ආවේය. අසිතාභු දේවිය එන්නා වූ ඔහු දැක අහසට පැන නැගී මැණික්වන් (නිල්) අහස් තලයෙහි සිට ආර්ය පුත්රයනි! නුඹ නිසා මා විසින් මේ ධ්යාන සැපය ලබන ලදීයැයි කියා
ත්වමෙවදානිමකර යං කාමො ව්යගමා තයි,
සො යං අප්පටිසන්ධිකො ඛරා ඡින්නං රොරුකං
සො යං අප්පටිසන්ධිකො ඛරා ඡින්නං රොරුකං
යන පළමු ගාථාව කීවාය.
ඔබ යම් ආකාරයක (මා තුළ තිබූ) කාමාශාව පහවීද ඒ ගුණය ඔබම ඇති කළෙහිය. කියතකින් කපන ලද ඇත්දළක් මෙන් (ධ්යානයෙන් ඔබන ලද) ඒ මේ ක්ලේශ කාමය නැවත සම්බන්ධ කළ නොහැක්කක් විය.
එහි, ත්වමෙවදානිමකර ආර්ය පුත්රය, මා හැර ගොස් කිඳුරිය ලුහුබඳින නුඹම දැන් මෙය කළෙහිය. යං කාමො ව්යගමාතයි යනු ඔබ ගැන මා තුළ තිබූ යම් කාමාශාවක් වීද එය පහ වූයේය. විෂ්කම්භන ප්රහාණයෙන් ප්රහීන වූයේ (ධ්යාන බලයෙන් පහවූයේ) ය. යම් කාමාශාවක් පහවූ බැවින් මම මේ විශේෂත්වයට පත්වූයෙමියි දක්වයි. සො යං අප්පටිසන්ධි කො යනු ඒ කාමය වනාහි දැන් නැවත නූපදින තත්ත්වයට පත්විය. නැවත එක්කරන්නට නොහැකිය. ඛරා ඡින්නංව රෙරුකං යනු කියතට බර යයි කියනු ලැබේ. ඇත්දළට රෙරුක යයි කියනු ලැබේ. යම් සේ කියතෙන් කපන ලද ඇත්දළය නැවත එක්කළ නොහැකි වේ. නැවත පෙර පරිද්දෙන් නොඇලේ. මෙසේ නැවත නුඹ සමග මගේ සිතේ ගැටීමක් නම් නැතැයි කියා ඔහු බලා සිටිද්දීම අහසට නැගී අන්තැනකට ගියාය.
හෙතෙම ඇය ගියකල්හි වැළපෙමින්,
අත්රිච්ඡා අතිලොභෙන අතිලොභමදෙන ච,
එවං හායති අත්ථම්හා අහංව අසිතාභුයා
එවං හායති අත්ථම්හා අහංව අසිතාභුයා