3. විකිණ්ණක ජාතකය (233)
කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කලකිරුණු භික්‍ෂුවක මුල්කරගෙන වදාළ සේක.** ඒ භික්‍ෂුව දම්සභාවට කැඳවන ලදි. ඇත්තද මහණ? ඔබ කලකිරුණෙහිදැයි බුදුරජාණන් වහන්සේ විසින් විමසන ලද ඒ භික්‍ෂුව ඇත්තයි ස්වාමීනියි කීය. කුමක් නිසා කලකිරුණෙහිදැයි විමසූවිට කාමගුණ නිසායයි කීය. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට මහණ! මේ පස්කම් ගුණ හරියට ඊතලයේ උල හා සමානයි. (ඒ පස්කම් ගුණ) හදවතෙහි පිහිටීමට වරක් අවස්ථාවක් ලබමින් සිරුර තුළට ගිය ඊතලය කිඹුලා මරණයට පත්කරවන්නාක් මෙන් පුද්ගලයා මරණයට පමුණුවතියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස අපමහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර දැහැමින් රජය කරවමින් එක්දිනක් රජ උයනට ගොස් පොකුණු තෙරට පැමිණියේය. නැටුම් ගැයුම් ආදියෙහි දක්‍ෂ අය නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ. පොකුණෙහි සිටි මාළුවෝ ඉබ්බෝ ගී හඬට ලොල් බැවින් රැස්වී රජු සමගම යති. රජතුමා තල්කඳක් හා සමාන වූ මත්ස්‍ය සමූහයක් දැක මේ මත්ස්‍යයෝ කුමක් නිසා මා සමග හැසිරෙන්නාහුදැයි ඇමතියන්ගෙන් විචාළේය. ඇමතියෝ දේවයන් වහන්ස! ඔවුන් ඔබවහන්සේට උපස්ථාන කරතියි කීවාහුය. රජතුමා මොවුන් උවටැන් කරතියි සතුටුවී මාලුවන්ට දිනපතා නිති බත් පැනවීයි (දිනපතා බත් දෙන ලෙසට නියෝග කළේය.) දිනපතා සහල් අමුණක් පිසයි. බත් වේලාවට ඇතැම් මාලුවෝ එති. සමහරු නොඑති. උයන බත් අපතේ යයි. රජතුමාට ඒ බව දැනුම් දුන්හ. රජතුමා මෙතැන් පටන් බත්දෙන වේලාවට බෙර ගස්වා බෙරහඬට මසුන් රැස්වූ විට බත් දෙවයි කීවේය. එතැන් පටන් බත් සපයන්නා බෙරයක් ගස්වා රැස්වූ මසුන්ට බත් දෙයි. ඔවුහුද බෙර සංඥාවට පොකුණ අසලට රැස්වී අනුභව කරත්.
ඔවුන් මෙසේ රැස්වී අනුභව කරන කල්හි එක් කිඹුලෙක් අවුත් මසුන් කෑවේය. බත් සපයන්නා ඒ බව රජතුමාට සැල කළේය. රජතුමා ඒ අසා කිඹුලා මසුන් කන අවස්ථාවෙහිදී ඊතලයකින් විද ගනුවයි කීවේය. ඔහු යහපතැයි කියා ගොස් නැවක සිට මසුන් කෑමට ආවා වූ කිඹුලාට හී උලෙන් පහර දුන්නේය. එය කිඹුලාගේ පිට පසා කරගෙන ගියේය. ඌ වේදනාවට පත්ව ඒ ඊය රැගෙනම පලා ගියේය. බත් පිස දෙන්නා කිඹුලාට විදුණු බව දැන කිඹුලා අමතමින් පළමු ගාථාව කීවේය.
කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡ, විද්දොසි මම්මම්හි විකණ්ණකෙන,
හතොසි භත්තෙන සවාදිතෙන, ලොලොච මච්ඡෙ අනුබන්‍ධ මානො
යන පළමු ගාථාව කීවේය.
ඒකාන්තයෙන් (නුඹ) යම්තැනකට යාමට කැමතිනම් එහි යව. නපුරු තැනට (මර්මස්ථානයට) හීයෙන් විදුනා ලද්දෙහිය. මත්ස්‍යයන් අනුව දුවන්නා වූ ලොල් වූ තෝ බෙර වැයුම් සහිත වූ බත කරණ කොටගෙන නැසුනෙහිය.
එහි, කාමං යනු ඒකාන්තයෙන්. යහිං ඉච්ඡසි තෙන ගච්ඡ යනු යම් තැනකට කැමතිනම් එතැනට යන්න. මම්ම මහි යනුමර්මස්ථානයෙහි. විකිණ්ණ කෙන යනු ඊතලයේ උලෙන්, හතොසි භත්තෙන සවාදිතෙන ලොලොච මච්ඡෙ අනුබන්‍ධ මානො යනු නුඹ බෙර වැයීම් සංඥාවෙන් බත් දෙනු ලබද්දී ලොල් වී මසුන් කෑමට ඔවුන් පසුපස ලුහුබඳිමින් ඒ වාදනය සහිත බතෙන් නැසුනෙහිය. ගිය තැනකදී වුවත් තට ජීවිතයක් නැත. කිඹුලා තමන්ගේ වාසස්ථානයට පත්ව මරණයට පත්විය.
බුදුරජාණන් වහන්සේ මේ කරුණ දක්වා අභිසම්බෝධියට පත්ව
එවම්පි ලොකාමිසං ඔපතන්තො, විහඤ්ඤති චිත්ත වසානුවත්තී,
සො හඤ්ඤති ඤාති සඛාන මජ්ඣෙ, මච්ඡානුගො සොරිව සුංසුමාරො
යන දෙවන ගාථාව වදාළ සේක.
“ලෝකාමිස යයි කියන ලද පස්කම් සැපයට අනුව දුවන්නා වූ සිතට වසඟව ක්‍රියාකරන පුද්ගලයා එපරිද්දෙන්ම වැනසේ. ඔහු මසුන් අනුව පසුපස දුවන්නා වූ කිඹුලා මෙන් නෑ මිතුරන් මධ්‍යයෙහි වැනසේ.”
එහි, ලොකාමිසං යනු පස්කම් ගුණයයි. ඒවා ලෝවැසියා මනොඥ ලෙසින්, ප්‍රිය ලෙසින්, මනාප ලෙසින් ගනියි. එහෙයින් ලෝකාමිස යයි කියනු ලැබේ. ඔපතන්තො යනු ඒ ලෝකාමිසය අනුව වැටෙන්නේ කෙලෙස් වශයෙන්. චිත්තාවසානුවත්ති සිතට වසඟව ක්‍රියාකරන පුද්ගලයා, විහඤ්ඤති යනු වෙහෙසෙයි. සොහඤ්ඤති යනු එබඳු වූ පුද්ගලයා නෑයන්ගේද යනාදී වශයෙන් මැදදී සො ඔහු හී උලෙන් විදින ලද්දේ, මච්ඡානුගො සුංසුමාරෝ විය. මසුන් අනුව ගිය කිඹුලා මෙන් පස්කම් සැප මනාපයයි ගෙන, හඤ්ඤති වෙහෙසෙයි. මහත් විනාශයකට පැමිණෙන්නේමය.
මෙසේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල බරණැස් රජ මම ම වූවෙමි යි වදාළ සේක.
4. අසිතාභු ජාතකය (234)
ත්‍වමෙවදානිමකර යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුමාරිකාවක අරබයා වදාළ සේක. සැවැත් නුවර වනාහි අගසව් දෙදෙනා වහන්සේලාට උපස්ථාන කරන එක්තරා කුමාරිකාවක් මනා රූ ඇත්තීය. අතිශයින් දැකුම්කලු වූවාය. වැඩිවියට පත්වූ ඈ සමාන ජාතික කුලයකට ගියාය. සැමියා ඇය ගැන කිසියම්ම හැඟීමක් නැතිව අන්තැනක සිත් ඇතිව හැසිරෙයි. ඈ ඔහුගේ ඒ තමා කෙරේ ආදරයක් නොමැති බව, ගණන් නොගෙන අගසව් දෙනමට ආරාධනා කොට මහදන් දී බණ අසන්නී සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඈ එතැන් පටන් මාර්ග හා ඵල සුවයෙන් කල් ගෙවමින්, සැමියා ද මට කැමති නොවේ. ගෙදර වාසයෙන් ද පලක් නැත. පැවිදිවන්නෙමි’යි සිතා මව්පියන්ට කියා පැවිදිව රහත්ඵලයට පත්වූවාය. ඇගේ ඒ ක්‍රියාව භික්‍ෂූන් අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක් දිනක් භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී “ඇවැත්නි! අසවල් කුලයෙහි දියණිය අර්ථය (නිවන) සොයන්නී සැමියාගේ නොකැමැති බව දැන අගසව් දෙදෙනා වහන්සේලාගෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා නැවත මව්පියන්ගෙන් විමසා පැවිදිව රහත් ඵලයට පත්වූවාය. ඇවැත්නි, ඒ කුමරිය මෙසේ (නිවන නමැති) අර්ථය සොයන්නීයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යැයි කී කල්හි මහණෙනි! ඒ කුල දියණිය දැන් පමණක් අර්ථය සොයන්නියක් නොවූවාය. පෙරත් අර්ථ ගවේසිකාවක්ව සිටියායැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.