2. වීණාථූණ ජාතකය (232)
එකචින්තිතොව අයමත්ථො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුමාරිකාවක අරබයා වදාළ සේක. ඈ වනාහි සැවැත්නුවර එක් සිටුදුවක් වූ ඈ තමන්ගේ ගෙදර ගොන් රජෙකුට සත්කාර කරනු දැක කිරිමවගෙන් මෑණියනි, මේ ආකාරයට සත්කාර ලබන මොහු කවරෙක්දැයි විචාළාය. දේවියනි, මේ වෘෂභ රාජයෙකියි කීවාය. නැවත එක්දිනක් ඈ ප්‍රාසාදයෙහි සිට වීදි දෙස බලන්නී එක් කුදු මිනිසෙකු දැක. ගොනුන් අතර ජ්‍යෙෂ්ඨයාගේ පිටෙහි මොල්ලියක් ඇත. මිනිසුන් අතර ජ්යෙෂ්ඨයාගේද මොල්ලියක් තිබිය යුතුය. මොහු මිනිසුන් අතර පුරුෂ වෘෂභයෙක් වන්නේය. මා ඔහුගේ බිරිඳ (පාද පරිචාරිකාව) වීමට සුදුසුයයි සිතුවාය. ඈ දාසියක යවා, සිටුදුව නුඹ සමග යනු කැමැත්තීය. අසවල් තැනට ගොස් සිටින්නැයි ඔහුට දන්වා වටිනා බඩු රැගෙන අඳුනාගත නොහැකි ලෙස වෙස් වලාගෙන ප්‍රාසාදයෙන් බැස ඔහු සමග පලා ගියාය. පසුකලෙක ඒ ක්‍රියාව නගරයෙහිද භික්ෂූන් අතරෙහිද ප්‍රකට විය. දම්සභාවෙහි භික්ෂූන් වහන්සේලා අතර ඇවැත්නි! අසවල් සිටුදුව කුදු මිනිසෙකු සමග පලා ගියාය යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මැය කුදෙකුට කැමැති වූයේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ කැමති වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා නියම්ගමෙක සිටුකුලයෙහි ඉපදී වැඩිවියට පත්ව ගෘහවාසයෙහි කටයුතු කරමින් දූපුතුන් සමග වැඩෙමින් තමාගේ පුතු බරණැස් සිටුතුමාගේ දුව ආවාහය පිණිස තෝරාගෙන දවසක් නියම කරගත්තේය. සිටුදුව තමන්ගේ නිවසෙහි ගොනෙකුට කරන සත්කාර සම්මාන දැක මේ කවරෙක්දැයි කිරිමවකගෙන් විචාරා ගොනෙක් යයි අසා වීථියක යන්නා වූ එක් කුදු මිනිසෙකු දැක, මේ තෙමේ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වන්නේයයි වටිනා බඩු රැගෙන ඔහු සමග පලා ගියේය. බෝසතාණන් වහන්සේද සිටුදුව ගෙදරට කැඳවා ගෙන එන්නෙමියි මහ පිරිවරින් බරණැස් නුවරට යමින් ඒ මාර්ගයටම පිවිසි සේක. ඒ දෙදෙනා මුළු රැයක්ම මාර්ගයෙහි ගියාහුය. ඉක්බිති අරුණෝදයෙහි මුළු රැයක්ම සීතලෙන් පීඩා විඳින ලද කුදාගේ සිරුරෙහි වාතය කිපුනේය. මහත් වේදනාවක් ඇතිවිය. ඔහු මාර්ගයෙන් අයින් වී වේදනාවෙන් යුක්තව වීණා දණ්ඩක් මෙන් හැකිලී වැතිරුණේය. සිටුදුවද ඔහුගේ දෙපා මුල සිටියාය. බෝසතාණන් වහන්සේ කුදාගේ පාමුල සිටිනු සිටුදුව දැක හැඳිනගෙන ඇය වෙත එළඹ සිටුදුව සමග කථා කරමින්
එකචින්තිතොව අයමත්ථො බාලො අපරිනායකො,
නහි ඛුජ්ජෙන වාමෙන භොති සංග නතුමරහසි
නහි ඛුජ්ජෙන වාමෙන භොති සංග නතුමරහසි
යන පළමු ගාථාව කීහ.
“මේ කුදා සමග පලාගිය මැනවැයි යන මේ කාරණය හුදකලාව සිතන ලදද? (මේ කුදා නුවණ අඩු බැවින්) බාලය. (ස්වශක්තියෙන් යන්නට අපොහොසත් බැවින්) අපරිනායකය. පින්වතිය, කොර වූ අත් පා ඇති කුදා හා සමාගමයට සුදුසු නොවෙහි.”
එහි, එකචින්තිනතොව අයමත්ථො යනු නැගණිය! ඔබ යමක් සිතා මේ කුදා සමග පලාගියාද, තනිවම ඔබ විසින් මේ අදහස සිතන ලද්දේ වන්නේය. බාලො අපරිනායකො යනු මේ කුදා බාලයෙකි. අනුවණ බැවින් මහල්ලෙක් වුවද, බාලයෙක්මය. රැගෙන (ඔසවාගෙන) යන්නා වූ අනිකකු නැතිකල්හි යන්නට අසමත් බැවින් අපරිනායක වූ නහි ඛුජ්ජෙන වාමෙන භොති සංගන්තුමරහසි යනු පින්වතිය, මහා කුලයෙහි උපන් මනා රූ ඇති දැකුම්කලු වූ ඔබ, මිටි බැවින් වාමන වූ මේ කුදා සමග යන්නට නුසුදුසු වෙහිය.
එවිට ඔහුගේ ඒ වචනය අසා සිටුදුව,
පුරිසූසභං මඤ්ඤවානා අහං ඛුජ්ජකාවයිං,
සොයං සංකුටිතො සෙති ඡින්නතන්ති යථා ථුණ.
සොයං සංකුටිතො සෙති ඡින්නතන්ති යථා ථුණ.
යන දෙවන ගාථාව කීවාය.
“මහත්මයාණෙනි! මම එක ගොනෙකු දැක ගවයන්ගෙන් වැඩිහිටි ගවයාගේ පිටෙහි මොල්ලියක් ඇත. මේ තැනැත්තාටත් ඒ මොල්ලිය ඇත. මොහු උතුම් පුරුෂයෙකු විය යුතුයයි මෙසේ මම කුදා උතුම් පුරුෂයෙකුයයි සිතමින් (මොහුට) කැමති වූයෙමි. ඒ මොහු සිඳුණු තත් ඇති වීණාවක් මෙන්, වීණා දණ්ඩක් මෙන් මෙසේ වකුටු වී නිදයි.
බෝසතාණන් වහන්සේ ඇගේ මෝඩකම නිසාම නික්ම ගිය බව දැන නහවා සරසා රථයට නංවා ගෙදරටම එකතු කරගෙන ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මැයම සිටුදියණිය වූවාය. බරණැස් සිටුතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
3. විකිණ්ණක ජාතකය (233)
කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කලකිරුණු භික්ෂුවක මුල්කරගෙන වදාළ සේක.** ඒ භික්ෂුව දම්සභාවට කැඳවන ලදි. ඇත්තද මහණ? ඔබ කලකිරුණෙහිදැයි බුදුරජාණන් වහන්සේ විසින් විමසන ලද ඒ භික්ෂුව ඇත්තයි ස්වාමීනියි කීය. කුමක් නිසා කලකිරුණෙහිදැයි විමසූවිට කාමගුණ නිසායයි කීය. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට මහණ! මේ පස්කම් ගුණ හරියට ඊතලයේ උල හා සමානයි. (ඒ පස්කම් ගුණ) හදවතෙහි පිහිටීමට වරක් අවස්ථාවක් ලබමින් සිරුර තුළට ගිය ඊතලය කිඹුලා මරණයට පත්කරවන්නාක් මෙන් පුද්ගලයා මරණයට පමුණුවතියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස අපමහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර දැහැමින් රජය කරවමින් එක්දිනක් රජ උයනට ගොස් පොකුණු තෙරට පැමිණියේය. නැටුම් ගැයුම් ආදියෙහි දක්ෂ අය නැටුම් ගැයුම් ඉදිරිපත් කළහ. පොකුණෙහි සිටි මාළුවෝ ඉබ්බෝ ගී හඬට ලොල් බැවින් රැස්වී රජු සමගම යති. රජතුමා තල්කඳක් හා සමාන වූ මත්ස්‍ය සමූහයක් දැක මේ මත්ස්‍යයෝ කුමක් නිසා මා සමග හැසිරෙන්නාහුදැයි ඇමතියන්ගෙන් විචාළේය. ඇමතියෝ දේවයන් වහන්ස! ඔවුන් ඔබවහන්සේට උපස්ථාන කරතියි කීවාහුය. රජතුමා මොවුන් උවටැන් කරතියි සතුටුවී මාලුවන්ට දිනපතා නිති බත් පැනවීයි (දිනපතා බත් දෙන ලෙසට නියෝග කළේය.) දිනපතා සහල් අමුණක් පිසයි. බත් වේලාවට ඇතැම් මාලුවෝ එති. සමහරු නොඑති. උයන බත් අපතේ යයි. රජතුමාට ඒ බව දැනුම් දුන්හ. රජතුමා මෙතැන් පටන් බත්දෙන වේලාවට බෙර ගස්වා බෙරහඬට මසුන් රැස්වූ විට බත් දෙවයි කීවේය. එතැන් පටන් බත් සපයන්නා බෙරයක් ගස්වා රැස්වූ මසුන්ට බත් දෙයි. ඔවුහුද බෙර සංඥාවට පොකුණ අසලට රැස්වී අනුභව කරත්.