1. උපාහන ජාතකය (231)
යථාපි කීනා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. දම්සභාවෙහි භික්ෂූන් වහන්සේලා ඇවැත්නි! දෙව්දත් තෙර ගුරුවරයා ප්රතික්ෂේප කොට තථාගතයන් වහන්සේට විරුද්ධ වී සතුරු වී මහත් විනාශයට පැමිණියේයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දෙව්දත්, ගුරුවරයා ප්රතික්ෂේප කොට මට විරුද්ධ වී මහා විනාශයකට පත්වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් විනාශයට පත්වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරද්දී බෝසතාණන් වහන්සේ ඇතුන් පුහුණු කරන කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු හත්ථි ශිල්පයෙහි නිමාවට පැමිණි සේක. ඉක්බිති එක් කසීරට ගම්වැසි මානවකයෙක් අවුත් ඔහු සමීපයෙහි ශිල්ප ඉගෙන ගත්තේය. බෝසතාණන් වහන්සේලා නම් ශිල්ප උගන්වන්නාහු ගුරුමුෂ්ටි තබා නොගනිති. තමන් දන්නා පරිදි ඉතිරි නොකොට ශිල්පයෙහි හික්මවති. ඒ නිසා ඒ මානවකයා බෝසතාණන් වහන්සේට ගුරුතුමනි! මම රජතුමාට උපස්ථාන කිරීමට කැමැත්තෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ, දරුව! යහපතැයි කියා ගොස් රජතුමාට මහරජතුමනි! උපස්ථාන කිරීමට කැමැත්තෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ, දරුව! යහපතැයි කියා ගොස් රජතුමාට මහරජතුමනි! මගේ අතවැසියා ඔබවහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තේයයි දැන්වූහ. යහපති! උපස්ථාන කරවයි කීවේය. එසේනම් මොහුට වැඩුපක් නියම කරනු මැනවියි කීහ. යහපති, තොපගේ අතවැසියා නුඹට සමාන වැටුප් නොලබයි. තොප සියයක් ලබනවිට ඔහු පනහක් ලබයි. දෙකක් ලබන කල්හි එකක් ලබතියි කීවේය. බෝසතාණෝ ගෙට ගොස් ඒ පුවත අතවැසියාට සැළකළහ. අතවැසියා ගුරුතුමනි! මම නුඹවහන්සේ හා සමානව ශිල්ප දනිමි. ඉදින් සම වැටුප් ලබන්නේ නම් උපස්ථාන කරන්නෙමි. එසේ නොවේ නම් උපස්ථාන නොකරන්නෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ ඒ පුවත රජතුමාට දැනුම් දුන්හ. රජතුමා ඉදින් ඔහු තොප හා සම ආකාර නම් තොප හා සමානව ශිල්ප දක්වන්නට හැකිනම් සමානව වැටුප් ලබන්නේයයි කීවේය. බෝධිසත්ත්වයන් වහන්සේ ඒ පුවත ඔහුට දන්වා ඔහු විසින් යහපති. (ශිල්ප) දක්වන්නෙමු’යි කී කල්හි ඒ බව රජතුමාට දැනුම් දුන්හ. රජතුමා එසේ නම් හෙට ශිල්ප දක්වව්යි කීවේය. යහපති, දක්වන්නෙමි. නගරයෙහි බෙර ගස්සවනු මැනවියි කීවේය. රජතුමා, හෙට ගුරුතුමා හා අතවැස්සා යන දෙදෙනා හස්ති ශිල්ප දක්වත්. හෙට රජමිදුලට රැස්වී දකිනු කැමති අය බලත්වායි බෙර හැසිරෙව්වේය.
ගුරුතුමා, මගේ අතවැසියා උපාය කෞශල්ය (උපක්රම දක්ෂතාවක් ගැන) නොදනිතියි සිතා එක් ඇතෙක් ගෙන එක රැයකින්ම විලෝම ලෙස කියන ලෙසට හෙතෙමේ ඇතාට යන්නැයි කීවිට නවතින්නටද නවතින්නැයි කීවිට යන්නටද සිටගන්නැයි කීවිට වැතිරෙන්නටද වැතිරෙන්නයි කීවිට සිටගන්නටද ගන්නැයි කීවිට තබන්නටද තබන්නැයි කී විට ගන්නටද පුහුණු කරවා දෙවන දවසේ ඒ ඇතා පිට නැගී රජ මිදුලට ගියේය. අතවැසියාද එක් මනාප ඇතෙකු පිට නැංගේය. මහජනයා රැස්වූහ. දෙදෙනාම සමාන ශිල්ප දැක්වූහ. නැවත බෝසතාණන් වහන්සේ තමන්ගේ ඇතු ලවා විලෝම ලෙස කරවීය. ඇතා යන්නයි කීවිට පසුබැස්සේය. පසුබසින්නැයි කීවිට ඉදිරියට දිව්වේය. සිටගෙන ඉන්න කීවිට වැතිරුණේය. වැතිරෙන්නැයි කී කල්හි සිටගත්තේය. ගන්නැයි කී කල්හි තැබුවේය. තබන්නැයි කී කල්හි ගත්තේය. මහජනයා එම්බා දුෂ්ට අතවැසිය! නුඹ ගුරුවරයා සමග එකට කරහිද? තමන්ගේ තරම නොදනිහිද? ගුරුවරයා හා සමානව දන්නේ යයි හැඟීම් ඇත්තෙහිද? ගල්කැට දඬු මුගුරුවලින් පහරදී එහිදීම මරණයට පත් කළහ.