9. ගරහිත ජාතකය (219)
හිරඤ්ඤම්මෙ සුවණ්ණම්මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සසුනෙහි නොඇළුණු, කළකිරුණු එක්තරා භික්ෂුවක අරබයා දේශනා කළ සේක. මේ භික්ෂුවට (කලකිරීම සඳහා ස්ත්රී අරමුණක් ආදී වශයෙන්) වෙන්කොට ගන්නා ලද අරමුණක් නැත. නොඇල්මෙන් යුක්තව වාසය කරන ඒ භික්ෂුව (අන් භික්ෂූහු) බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණවූහ. හෙතෙම බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද? මහණ! ඔබ ශාසනයෙහි කලකිරුණෙහිදැයි විමසූවිට ඇත්තයි ස්වාමීනි’යි කියා කුමන කරුණක් නිසාදැයි විමසූ කල්හි කෙලෙස් නිසා යයි කීය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මහණ! මේ කෙලෙස් නම් පෙර තිරිසන්ගත සතුන් විසින් පවා නින්දා කරන ලද්දකි. නුඹ මෙබඳු ශාසනයෙහි පැවිදිව කුමක් නිසා තිරිසන් සතුන් පවා ගරහන ලද කෙලෙස් නිසා කලකිරුණේ දැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරන සමයේ බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසේ වඳුරු යෝනියේ උපන්හ. එක් වැදි පුත්රයෙක් ඒ වඳුරා අල්ලාගෙන අවුත් රජතුමාට දුන්නේය. ඒ වඳුරා බොහෝ කල් රජගෙදර වසමින් වත් සම්පන්න විය. (යහපත් හැසිරීමෙන් යුක්ත විය) මිනිස්ලොව පවතින ක්රියාපිළිවෙල වැඩි වශයෙන් දැන ගත්තේය. රජතුමා වඳුරාගේ පැවැත්මෙහි පැහැදී වැද්දා කැඳවා මේ වඳුරා අල්ලාගත් ස්ථානයෙහිදීම මුදාහරින්නැයි අණ කෙළේය. වැදි පුත්රයාද එසේ කෙළේය. වඳුරු සමූහයා බෝසතාණන් වහන්සේ පැමිණි බව දැන ඔහු බැලීම පිණිස මහත් ගල්තලාවක් මත රැස්වී බෝසතාණන් වහන්සේ සමග සතුටු සාමීචි කථා පවත්වා යහලුව! මෙපමණ කලක් කිනම් ප්රදේශයක වාසය කළෙහිදැයි විමසූහ. බරණැස රජ මාලිගයේ යයි කීහ. ඉක්බිති කෙසේ නිදහස් වූයේදැයි ඇසූහ. රජතුමා මාව සෙල්ලක්කාර වඳුරෙකු කොට මගේ වත් පිළිවෙත් කෙරෙහි පැහැදී මාව මුදා හැරියේය.
ඉක්බිති ඔහුගෙන් ඒ වඳුරෝ මිනිසුන් අතර පවතින ගතිපැවතුම් තෙපි දන්නෙහුය. අපට ඒ ගැන කියව. අපිත් ඒවා අසන්නට කැමැත්තෙමුයි කීහ. මිනිසුන්ගේ ක්රියා කලාපයන් නම් මගෙන් ප්රශ්න නොකරව්. කියන්න අපි අහන්න කැමැත්තෙමුයි (නැවතත්) කීහ. බෝසතාණන් වහන්සේ මිනිසුන් ක්ෂත්රියයෝ ද බමුණෝ ද මගේ, මගේ යයි කියත්. ඇතිව නැතිවන හෙයින් අනිත්ය ස්වභාවය නොදනිත්. දැන් ඒ අන්ධ බාලයන්ගේ ක්රියා කලාපය අසවයි කියා
හිරඤ්ඤම්මෙ සුවණ්ණම්මෙ එසා රත්තින්දිවං කථා,
දුම්මෙධානං මනුස්සානං අරිය ධම්මං අපස්සතං
දුම්මෙධානං මනුස්සානං අරිය ධම්මං අපස්සතං
ද්වෙ ද්වෙ ගහපතයෝ ගෙහෙ එකො තත්ථ අමස්සුකො,
ලම්බත්ථනො වෙණි කතො අථො අංකිත කණ්ණකො,
කීතො ධනෙන බහුනා සොතං විතුදතෙ ජනං
ලම්බත්ථනො වෙණි කතො අථො අංකිත කණ්ණකො,
කීතො ධනෙන බහුනා සොතං විතුදතෙ ජනං
යන මේ ගාථා කීහ.
මේ මාගේ මසුරන්ය. මේ මාගේ රන්ය යනුවෙන් ආර්ය ධර්මයන් නොදන්නා නුවණ නැති මිනිසුන්ගේ දිවා රාත්රී කථාව වෙයි.
නිවෙස්වල ගෘහපතිවරු දෙදෙනා බැගින් සිටිති. ඔවුන් අතරෙහි එකෙක් දැළිරැවුල් නැත්තේය. එල්ලෙන තන ඇත්තේය. සකස් කළ කෙස්කළඹ ඇත්තේය. කන් විද ඇත්තේය. බොහෝ ධනය දී මිළට ගන්නා ලද්දේය. ඔහු (ඒ ගෘහපතියා) නිවැසි ජනයාට වචන නමැති ආයුධයෙන් අනියි.
එහි, හිරඤ්ඤම්මෙ සුවණ්ණම්මෙ යනු මෙය දේශනා ශීර්ෂයක් (මාතෘකාවක්) පමණයි. මේ පද දෙකින් දසවිධ රත්නයත්, හැල්වී, යව ආදී පුබ්බණ්ණ කෙත්වතුද, මුං මෑ, තල ආදී අපරණ්ණ කෙත්වතුද දෙපා සිව්පා සතුන්ද සියල්ල දක්වමින් මේවා මගේය. මේවා මගේයයි කීවේය. එසා රත්තින්දිවා කථා යනු මෙය මිනිසුන්ගේ දිවා රෑ දෙකෙහි නිතර වන කථාවයි. පංචස්කන්ධය අනිත්යයි කියා හෝ ඇතිව නැතිවේ කියා හෝ ඔවුහු නොදනිති. (මගේ මගේ ආදී වශයෙන්) මෙසේ වැලපෙමින් හැසිරෙති. දුම්මෙධානං යනු අනුවණයන්ගේ අරියධම්මං අපස්සතං යනු බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ ආර්ය වූ ධර්මය හෝ නිදොස් නවලෝකෝත්තර ධර්මය හෝ නොදකින්නවුන්ට ඇත්තේ මේ කථාවමය. අනිත්යය කියා හෝ දුක්ඛෙ කියා හෝ වෙනත් කථාවක් ඔවුන්ට ඇත්තේම නැත.
ගහපතයො යනු නිවසෙහි අධිපති වූ එකො කත්ථ යු නිවසෙහි අධිපති වූ මේ දෙදෙනා අතරින් එකෙක් යනු කාන්තාව සඳහා කියයි. එහි, වෙණිකතො යනු ගෙතූ කොණ්ඩා ඇති, නොයෙක් ආකාරයෙන් සකස් කරන ලද කෙස් කළඹ ඇති යන අර්ථයි. අථො අංකිත කණ්ණ කො යනු ඒ විදින ලද කන් ඇති තැනැත්තාම සිදුරු කළ කන් ඇති තැනැත්තාට එල්ලෙන කන් ඇති බව ගලපා කීය. කීතො ධනෙන බහුනා යනු රැවුල නැති, එල්ලෙන තන ඇති, ගෙතූ කොණ්ඩය ඇති, විදින ලද කන් ඇති, මව්පියන්ට බොහෝ ධනය දී මිළට ගත්, සරසා, ආභරණ පළඳවා යානයකට නංවා මහත් පිරිවරින් ගෙදරට ගෙනෙන ලද ඒ මේ තැනැත්තා සො තං විතූදතෙ ජනං යනු ඒ ගෘහපතියා ආ දවසේ පටන් ඒ ගෙයි දැසි දස් ආදී ජනයාට එම්බා දුෂ්ට දාසය, දුෂ්ට දාසිය, මෙය නොකරව, මෙය නොකරවයි කියමින් වචන නැමති ආයුධයෙන් පහර දෙයි. අනියි. ස්වාමියා මෙන් වී කටයුතු විමසයි. මෙසේ මිනිස්ලොව අතිශයින්ම අයුක්ති සහගතය යනුවෙන් මිනිස්ලොවට ගැරහීය.