10. ධම්මද්ධජ ජාතකය (220)
සුඛං ජීවිතරූපොසි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් ඝාතන උත්සාහයක් මුල් කරගෙන දේශනා කළ සේක. එකල්හි වනාහි බුදුරජාණන් වහන්සේ මහණෙනි! දැන් පමණක් නොව දෙව්දත් තෙරුන් වහන්සේ පෙර ආත්මයකත් මාව මැරීමට උත්සාහ ගත්තේ වී නමුත් තැති ගැන්මක්වත් ඇති කරවන්නට නොහැකි වූයේ යයි වදාරා අතීත සිද්ධිය ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර “පායාසි පාණි” නම් රජතුමා රාජ්යය කරවීය. “කාලක” නමැත්තා ඔහුගේ සෙන්පතියා විය. එකල නමින් ධම්මද්ධජ වූ බෝසතාණන් වහන්සේ ඔහුගේ පුරෝහිතයා වූ සේක. රජතුමාගේ හිසකෙස් සකසන කපුවා “ඡත්තපාණී” නම් විය. රජතුමා දැහැමින් රජ කරවයි. ඔහුගේ සෙන්පතියා විනිශ්චය කරමින් අල්ලස් කයි. (ගනී.) අසම්මුඛයෙහි (නැති තැන) දොස් කියන මොහු අල්ලස් ගෙන අහිමියන් හිමියන් බවට පත්කරයි. ඉක්බිති එක්දිනක් නඩු විනිශ්චයකින් පැරදුණු මිනිසෙක් දෑත් හිස බදාගෙන හඬමින් විනිශ්චයෙන් (අධිකරණයෙන්) නික්මෙන්නේ රජුට උවටැන් කිරීමට යන්නා වූ බෝසතාණන් වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටී ස්වාමීනි! නුඹවහන්සේ වැනි අය රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරද්දී ‘කාලක’ සෙන්පතියා අල්ලස් ගෙන අහිමියන් හිමියන් බවට පත්කරයි, කියමින් තමාගේ පරාජය කීවේය. බෝසතාණන් වහන්සේ කරුණාව උපදවාගෙන පින්වත! එව, නුඹේ නඩුව මම විසඳන්නෙමියි ඔහු රැගෙන අධිකරණයට ගියේය. මහජනයා රැස් වූහ. බෝසතාණන් වහන්සේ ඒ නඩුව නැවත විසඳා හිමියාම හිමියා කළේය.
මහජනයා සාධුකාර දුන්හ. ඒ ශබ්දය විශාල එකක් විය. රජතුමා එය කිනම් ශබ්දයක්දැයි විචාළේය. දේවයන් වහන්ස! වැරදි තීන්දුවක් දුන් නඩුවක් ධම්මද්ධජ පඬිතුමා විසින් නැවත විනිශ්චය කළේය. මේ එහි සාධුකාර ශබ්දයයි. රජතුමා සතුටු වී බෝසතාණන් වහන්සේ කැඳවා ඇදුරුතුමනි, නුඹ නඩුව විසඳුවෙහිදැයි අසා, එසේය මහරජ “කාලක” විසින් වැරදි තීන්දුවක් දුන් නඩුවක් මා විසින් විසඳන ලදැයි කී කල්හි මෙතැන් පටන් නුඹව නඩු විසඳව, මටද කනට සුවයක් වන්නේය. ලෝකයාටද වැඩක් සිදුවන්නේ යයි කියා අකමැතිවන්නා වූ ඔහුගෙන් සත්ත්වයන්ට අනුකම්පාවෙන් විනිශ්චයාසනයෙහි හිඳුවයි ඉල්ලා සිට කැමතිකරවා ගත්තේය. එතැන් පටන් බෝසතාණන් වහන්සේ අධිකරණයෙහි පෙනී සිටිති. හිමියාම හිමියන් කරති.
කාලක එතැන් පටන් අල්ලස් නොලබන්නේ ලාභයෙන් පිරිහී මහරජ! ධම්මද්ධජ පඬිතුමා නුඹවහන්සේගේ රාජ්යය පතන්නේ යයි බෝසතාණන් හා රජතුමා අතර භේද කෙළේය. රජතුමා එය නොඅදහන්නේ එසේ නොකියවයි ප්රතික්ෂේප කොට නැවතත් ඔහු විසින් ඉදින් මගේ කීම නොපිළිගන්නේ නම් ඔහු පැමිණෙන අවස්ථාවෙහි කවුළුවෙන් බලනු මැනවි. මොහු විසින් සියලු නගරයම තමන් අතට පත් කරගෙන ඇති සැටි බලාගනු මැනවැයි කියන ලදි. රජතුමා ඔහුගේ (ධම්මද්ධජගේ) නඩු කියන පිරිස දැක ඔහුගේම පිරිස යයි හැඟීමෙන් භේදභින්න වී කුමක් කරමුද සෙන්පතියයි ඇසීය. දේවයන් වහන්ස! මොහු මරන්නට වටී යයි කීය. බරපතල දෝසයක් නොදක්නේ කෙසේ මරන්නෙමුදැයි කීවේය. එක් උපායක් ඇතැයි කීය. කිනම් උපායක්දැයි ඇසීය. ඔහුට කළ නොහැකි වැඩක් පවරා එය කළ නොහැකි වූ විට ඒ දෝෂයෙන් මරන්නෙමුයි කීය. කළ නොහැකි ක්රියාව කුමක්දැයි ඇසීය. මහරජ, සරුබිමක සිටුවන ලද ගස් ඇති රැකවරණ සලසන උයනක් වසර දෙක තුනකින් ඵල දරයි. නුඹ වහන්සේ ඔහු කැඳවා හෙට උයන් කෙළි කෙළින්නෙමි. මට උයනක් ඉදිකරන්නැයි කියනු මැන. ඔහු උයන ඉදිකිරීමට නොහැකි වන්නේය. එවිට ඒ දෝෂය මුල්කොට ගෙන මරන්නෙමුයි කීවේය.
රජතුමා බෝසතාණන් වහන්සේ අමතා පඬිතුමනි! අපි පැරණි උයනේ බොහෝ කලක් ක්රීඩා කළෙමු. දැන් අළුත් උයනක ක්රීඩා කරනු කැමැත්තෙමු. හෙට ක්රීඩා කරන්නෙමු. අපට උයනක් ඉදිකර දෙව. ඉදින් උයනක් ඉදිකරන්නට නොහැකි වන්නෙහි නම් නුඹගේ ජීවිතය නැතැයි කීය. බෝසතාණන් වහන්සේ අල්ලස් නොලැබෙන කාලක විසින් රජතුමා බිඳවන ලද වන්නේ යයි දැන, පිළිවන් වී නම් කරන්නෙමු මහරජතුමනියි කියා ගෙට ගොස් යහපත් බොජුන් අනුභව කොට සිතමින් සයනෙහි වැතිරුණහ. ශක්රයාගේ වාස භවනය උණුසුම් ආකාරයක් දැක්වීය. ශක්රයා ඒ ගැන ආවර්ජනා කරන්නේ බෝසතාණන් වහන්සේගේ චිත්ත පීඩාව දැන වහා පැමිණ බෝසතුන්ගේ සිරියහන් ගැබට (නිදන කාමරයට) පිවිස අහසෙහි සිට පඬිතුමනි! කුමක් සිතන්නෙහිදැයි විචාළේය. නුඹ කවරෙක්දැයි ඇසීය. මම ශක්රයා වෙමියි කීවේය. රජතුමා මට උයනක් සාදන්නට කීවේය. ඒ ගැන සිතන්නෙමියි කීය. පඬිතුමනි! නොසිතව. මම නුඹට නන්දන වනය චිත්රලතා වනය හා සමාන උයනක් මවා දෙන්නෙමි. කවර ස්ථානයක මවම්දැයි ඇසීය. අසවල් ස්ථානයේ මවනු මැනවියි කීහ. ශක්රයා උයන මවා දෙව්පුරයටම ගියේය.
දෙවන දිනයේ බෝසතාණන් වහන්සේ උයන ප්රත්යක්ෂ වශයෙන් දැක ගොස් රජතුමාට මහරජතුමනි, මවිසින් උයනේ වැඩ නිමකරන ලදි. උයන්කෙළි කෙළවයි කීහ. රජතුමා ගොස් දහඅටරියන් ඇති සිරියල් පාටින් යුත් ප්රාකාරයකින් වටකරන ලද දොරටු අට්ටාලවලින් යුතු මල්, ගෙඩිවල බරෙන් බරවූ නොයෙක් ගස්වැල්වලින් අලංකාර කරන ලද උයන දැක “කාලක”ගෙන් විචාළේය. පඬිතුමා විසින් අපගේ වචනය ඉටුකරන ලදි. දැන් කුමක් කරමුදැයි ඇසීය. මහරජතුමනි, එක රැයකින් උයනක් මවන්නට හැකිවන්නේ නම් රජකම ගන්නට හැකිවෙයිද? නොහැකි වෙයිදැයි කීවේය. දැන් කුමක් කරමුදැයි ඇසීය. කළනොහැකි තවත් ක්රියාවක් ඔහු ලවා කරවමුයි කීය. කුමන ක්රියාවක්දැයි ඇසීය. සත්රුවන්වලින් කරන ලද පොකුණක් නිර්මාණය කරවමුයි කීය. රජතුමා යහපතැයි කියා බෝසතාණන් අමතා ඇදුරුතුමනි! ඔබ පළමුකොට උයන මවන ලදි. ඊට සුදුසු සත්රුවනින් කරන ලද පොකුණක් මවනු මැනවියි කීය. ඉදින් මවා දෙන්නට නොහැකි වන්නේ නම් ඔබගේ ජීවිතය නැතැයි කීය. බෝසතාණන් වහන්සේ යහපති මහරජතුමනි! හැකි වන්නාහු නම් ඉදිකරන්නෙමුයි කීහ. ඉක්බිති ශක්රයා ඔහු වෙනුවෙන් සෝභාවෙන් අගතැන් පත්, බසින තොටවල් සියයකින් යුත් වක් වූ තැන් (ආරුක්කු හැඩ) දහසකින් යුත්, පස් පියුමෙන් ගැවසී ගත් නන්දා පොකුණ හා සමාන පොකුණක් මැවීය.