8. කූටවාණිජ ජාතකය (218)
සඨස්ස සාඨෙය්‍යමිදං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක් කපටි වෙළෙන්දෙකු මුල් කරගෙන දේශනා කළ සේක. සැවැත්නුවර වාසී කපටි වෙළෙන්දාය. පණ්ඩිත වෙළෙන්දාය යන දෙදෙනා කොටස්කරුවන් වී පන්සියයක් ගැල්වල බඩු පුරවාගෙන නැගෙනහිරින් බස්නාහිරට යමින් වෙළෙඳාම්කොට බොහෝ ලාභ උපදවාගෙන සැවැත් නුවරට ආපසු ආවාහුය. පණ්ඩිත වෙළෙන්දා කපටි වෙළෙන්දාට යහලුව! වෙළඳ භාණ්ඩ බෙදා ගනිමුයි කීය. එවිට කපටි වෙළෙන්දා, මේ තෙමේ දින ගණනාවක් හරියාකාර නින්දක් නොමැතිව සුදුසු අහරක් නොලැබුණු නිසා ක්ලාන්ත වූයේ තම නිවසේ නොයෙක් රසයෙන් යුත් බත් අනුභවකොට අජීර්ණයෙන් මැරෙන්නේය. මොහු මළ පසු මේ සියලු බඩු මුට්ටු මටම අයත් වන්නේ යයි සිතා නැකත හොඳ නැත, දිනය හොඳ නැත, හෙට දෙන්නෙමි. දෙවන දවසේ දෙන්නෙමියි කල් ගෙවයි. ඉක්බිති පණ්ඩිත වෙළෙන්දා ඔහු පෙළා බඩු බෙදවාගෙන සුවඳ, මල් රැගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් වැඳ පුදා එකත්පසෙක හුන්නේය. එවිට බුදුරජාණන් වහන්සේ කවදා ආවෙහිදැයි විමසා ස්වාමීනි, පැමිණි මට දැන් අඩමසක් පමණ වේයයි කියා ඉක්බිති කුමක් නිසා මෙසේ පමාවී බුද්ධෝපස්ථානයට ආවෙහිදැයි විමසූවිට ඒ කාරණය සැළ කළේය. උපාසකය! මොහු අද පමණක් නොව පෙරත් කපටි වෙළෙන්දෙක්ම යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර පෑ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇමති කුලයෙහි ඉපදී වියපත්ව රජුගේ නඩු විසඳන ඇමති තනතුරට පත් වූ සේක. එකල ගම්වැසි ද නගරවැසි ද වෙළඳුන් දෙදෙනෙක් මිතුරෝ වූහ. ගම්වැසි වෙළෙන්දා නගරවැසි වෙළෙන්දා සමීපයෙහි යකඩ තහඩු (හීවැල්) පන්සියයක් තැබුවේය. නගරවැසි වෙළෙන්දා ඒවා විකුණා මුදල් ගෙන යකඩ තහඩු තැබූ ස්ථානයේ මී වසුරු (මී බෙටි) විසුරුවා තැබුවේය. පසුකලෙක ගම්වැසි වෙළෙන්දා අවුත් මගේ යකඩ තහඩු දෙවයි කීවේය. නගරවැසි කූට වෙළෙන්දා නුඹේ යකඩ තහඩු මීයන් විසින් කන ලදැයි මී බෙටි පෙන්නුවේය. ගම්වැසි වෙළෙන්දා මීයන් කෑවානම් එසේ වේවා! මීයන් විසින් කන ලද්දේ නම් කුමක් කරන්නදැයි කියා ඔහුගේ (කපටි වෙළෙන්දාගේ) පුතා රැගෙන නෑමට යමින් එක් යහලුවෙකුගේ ගෙදර මොහුට කිසිතැනක යන්නට නොදෙන්නැයි කියා ඇතුල් කාමරයක හිඳුවා තමා නා කපටි වෙළෙන්දාගේ ගෙදරට ගියේය. ඔහු මගේ පුතා කොහිදැයි විමසුවේය. යහලුව, නුඹේ පුතා ඉවුරෙහි තබා මම ජලයෙහි ගිලුණු කාලයෙහි එක් උකුස්සෙක් අවුත් නුඹේ පුතා නිය පදුරෙන් ගෙන අහසට පැන්නේ මම අත්පුඩි ගසා කෑගසා උත්සාහ කරන්නේම මුදා ගැනීමට නොහැකි විය. නුඹ බොරු කියන්නෙහිය දරුවන් රැගෙන යන්නට පුළුවන් උකුස්සෙක් නම් නැත. යහළුව එය එසේ වේවා! අයුක්තියක් වුවත්, මම කුමක් කරම්ද? උකුස්සාම නුඹේ පුතා ගෙන ගියේයයි (ගම්වැසි වෙළෙන්දා) කීය. හෙතෙම ඔහු තැති ගන්වා එම්බා දුෂ්ට සොර මිනී මරුව, දැන් නුඹ අධිකරණයට පමුණුවා වනසා දමන්නෙමියි නික්මුනේය. හෙතෙම නුඹට කැමති දෙයක්ම කරවයි ඔහු සමගම අධිකරණය වෙත ගියේය.
කපටි වෙළෙන්දා බෝසතාණන් වහන්සේට ස්වාමීනි! මොහු මගේ පුතා රැගෙන නාන්නට ගියෙය්. මගේ පුතා කොහිදැයි ඇසූ කල්හි උකුස්සෙකු විසින් ගෙන ගියේයයි කීවේය. මේ නඩුව විසඳා දෙනු මැනවියි කීවේය. බෝසතාණන් වහන්සේ මෙය ඇත්තදැයි අනිකාගෙන් විචාළේය. එසේය ස්වාමීනි! මම ඒ ළමයා රැගෙන ගියේ උකුස්සෙකු විසින් ඩැහැගත් බව ඇත්තමයි ස්වාමීනියි කීය. කිම! ලොව උකුස්සෝ නම් දරුවන් පැහැර ගනිත්ද? ස්වාමීනි! මමත් නුඹ වහන්සේගෙන් විමසමි. උකුස්සෝ දරුවන් රැගෙන අහසින් යන්නට නොහැකි වෙත්. මීයෝ යකඩ තහඩු කතිද? ඒ කතාව කුමක්ද? ස්වාමීනි මා විසින් මොහුගේ ගෙදර යකඩ පොලු හෙවත් හීවැල් පන්සියයක් තබන ලදි. මේ තෙමේ මීයන් විසින් ඔබේ යකඩපලු කන ලදැයි කියා ඒ යකඩ තහඩු කෑ මීයන්ගේ වර්චස් යයි මී බෙටි පෙන්වයි. ස්වාමීනි! ඒකාන්තයෙන් මීයෝ යකඩ පලු කති. උකුස්සෝද දරුවන් ගෙන යති. ඉදින් නොකන්නාහු නම් උකුස්සෝද දරුවන් නොගෙන යති. මේ තෙමේ වනාහි ඔබේ යකඩ තහඩු මීයන් විසින් කන ලදැයි කියයි. මීයන් කෑ බව හෝ නොකෑ බව හෝ දැනගනු මැනවි. මගේ නඩුව විසඳනු මැනවයි කීවේය. බෝධිසත්ත්වයන් වහන්සේ කපටියාට කපටිකමක්ම කර දිනන්නෙමියි මොහු විසින් සිතන ලද්දේ වන්නේ යයි දැන නුඹේ සිතුවිල්ල යහපත් යයි කියා,