7. සෙග්ගු ජාතකය (217)
සබ්බො ලොකො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් පණ්ණික නම් උපාසකයෙක් අරබයා වදාළ සේක. විස්තර කථාව ඒකක නිපාතයෙහි විස්තර කරන ලද්දේමය. මෙහි වනාහි බුදුරජාණන් වහන්සේ උපාසකය, බොහෝ කලකින් ආවෙහිදැයි ඒ උපාසකගෙන් විමසා ස්වාමීනි! මාගේ දියණිය නිතර සිනාසෙන මුහුණින් යුක්ත වූවාය. මම ඇය විමසීමට ලක්කොට එක් කුල දරුවෙකුට පාවා දුන්නෙමි. එහි වැඩකටයුතුව තිබුණු නිසා ඔබවහන්සේ බැහැදැකීමට එන්නට අවකාශය නොලැබුවෙමියි කීවේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ උපාසකය! මේ තැනැත්තිය දැන් පමණක් සිල්වත් වූයේ නොවේ. පෙරත් සිල්වත් වූවාය. නුඹ දැන් පමණක් ඇය විමසා නොබැලුවෙහිය. පෙරත් විමසුවෙහි යයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ රුක් දෙවියෙක් වී උපන් සේක. එකල මේ පණ්ණක උපාසකයාම දුව විමසා බලන්නෙමියි කැලයට ගෙන ගොස් කෙලෙස් වශයෙන් කැමති වන්නෙකු මෙන් අතින් ගත්තේය. ඉක්බිති හඬා වැළපෙන ඇයට
සබ්බො ලොකො අත්තමනො අහොසි, අකොවිදා ගාම ධම්මස්ස සෙග්ගු,
කොමාරිකො නාම තවජ්ජ ධම්මො, යං තං ගහිතා පවනෙ පරොදසි.
පළමු ගාථාව කීවේය.
සියලු ලෝවැසි තෙමේ කාමසේවනයෙන් සතුටු විය. සෙග්ගු තී ග්‍රාම ධර්මයෙහි (කාමසේවනයෙහි) අදක්‍ෂ වුව දුව කුමරිය! යම් හෙයකින් මහ වනයෙහි (කාම සේවනය පිණිස) අත ගන්නා ලද තෝ හඬයිද? දැන් තීගේ ස්වභාව කිනම් වීද?
එහි, සබ්බො ලොකො අත්තමනො අහොසි යනු දරුව! සියලු සෙසු සත්ත්ව ලෝකයා ඒ කාමසේවනයෙන් සතුටු විය. අකොවිදා ගාම ධම්මස්ස සෙග්ගු යනු ‘සෙග්ග’ යනු ඇගේ නමයි. දරුව සෙග්ගු නුඹ වනාහි මේ ග්‍රාම ධර්මයෙහි අදක්‍ෂ වූවා ග්‍රාම්‍ය වූ, වසල වූ, අකුශල ධර්මයෙහි අදක්‍ෂ වූවෙහිය යි කියන ලද්දේ වෙයි. කොමාරිකො නාම තවජ්ජ ධම්මො යනු දරුව! කුමරිය! අද නුඹේ ස්වභාවය කුමක්ද? යං ත්‍වං ගහිතා පවනෙ පරොදසී යනු යම්හෙයකින් මේ මහ වනයෙහිදී කාම සේවනය සඳහා අතින් ගත් කල්හි හඬන්නෙහිය. නොපිළිගන්නීය. ඔබේ ස්වභාවය කුමක්දැ ඔබ කුමාරිකාවක්දැයි විමසයි.
ඒ අසා කුමරිය එසේය පියාණෙනි! මම කුමරි බඹසර ඇත්තියක්මි. මම මෙවුම්දම් සේවනය නොදන්නෙමි කියා වැළපෙමින්
යො දුක්ඛ ඵුට්ඨාය භවෙය්‍ය තාණං, සො මෙ පිතා දූභි වනෙ කරොති,
සා කස්ස කන්‍දාමි වනස්ස මජ්ඣෙ, යො තායිතා සො සහසා කරොති.
යන දෙවන ගාථාව කීවාය.
“යමෙක් දුකින් පීඩිත වූ තැනැත්තියට පිහිට වන්නේද ඒ මාගේ පියතුමා මහ වනයේදී ද්‍රෝහිකම් කෙරෙයි. ඒ මම් වන මැද කවරෙක් හට ඇසෙන්න හඬම්ද? යමෙක් රකින්නේ නම් ඔහු සැහැසිකම් කෙරේ යයි.”
අටුවාව යට සඳහන් කළ පරිදිමය. (ඒකක නිපාතය - පරෝසන වර්ගය II පණ්ණික ජාතකය 2)
මෙසේ ඒ පණ්ණික එකල දුව විමසා ගෙදර කැඳවා ගෙන ගොස් කුල කුමරෙකුට විවාහ කරදී කම් වූ පරිද්දෙන් පරලොව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර පණ්ණක උපාසක තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල දුව මේ දුවමයි. පියා මේ පියාමයි. ඒ කාරණය ප්‍රත්‍යක්‍ෂ කරගත් රුක් දේවතාවා මම ම වූවෙමි යි වදාළ සේක.
8. කූටවාණිජ ජාතකය (218)
සඨස්ස සාඨෙය්‍යමිදං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක් කපටි වෙළෙන්දෙකු මුල් කරගෙන දේශනා කළ සේක. සැවැත්නුවර වාසී කපටි වෙළෙන්දාය. පණ්ඩිත වෙළෙන්දාය යන දෙදෙනා කොටස්කරුවන් වී පන්සියයක් ගැල්වල බඩු පුරවාගෙන නැගෙනහිරින් බස්නාහිරට යමින් වෙළෙඳාම්කොට බොහෝ ලාභ උපදවාගෙන සැවැත් නුවරට ආපසු ආවාහුය. පණ්ඩිත වෙළෙන්දා කපටි වෙළෙන්දාට යහලුව! වෙළඳ භාණ්ඩ බෙදා ගනිමුයි කීය. එවිට කපටි වෙළෙන්දා, මේ තෙමේ දින ගණනාවක් හරියාකාර නින්දක් නොමැතිව සුදුසු අහරක් නොලැබුණු නිසා ක්ලාන්ත වූයේ තම නිවසේ නොයෙක් රසයෙන් යුත් බත් අනුභවකොට අජීර්ණයෙන් මැරෙන්නේය. මොහු මළ පසු මේ සියලු බඩු මුට්ටු මටම අයත් වන්නේ යයි සිතා නැකත හොඳ නැත, දිනය හොඳ නැත, හෙට දෙන්නෙමි. දෙවන දවසේ දෙන්නෙමියි කල් ගෙවයි. ඉක්බිති පණ්ඩිත වෙළෙන්දා ඔහු පෙළා බඩු බෙදවාගෙන සුවඳ, මල් රැගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් වැඳ පුදා එකත්පසෙක හුන්නේය. එවිට බුදුරජාණන් වහන්සේ කවදා ආවෙහිදැයි විමසා ස්වාමීනි, පැමිණි මට දැන් අඩමසක් පමණ වේයයි කියා ඉක්බිති කුමක් නිසා මෙසේ පමාවී බුද්ධෝපස්ථානයට ආවෙහිදැයි විමසූවිට ඒ කාරණය සැළ කළේය. උපාසකය! මොහු අද පමණක් නොව පෙරත් කපටි වෙළෙන්දෙක්ම යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර පෑ සේක.