6. මච්ඡ ජාතකය (216)
න මායමග්ගි තපති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි බිරිඳගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. ශාස්තෲන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඇත්තද මහණ! නුඹ කලකිරුණේදැයි විචාරා, ඇත්තයි ස්වාමීනි’යි කී කල්හි කවුරුන් විසින් කලකිරවන ලද්දේදැයි විමසූ විට පුරාණ බිරිඳ විසින් යයි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහණ! මේ ස්ත්රිය තොපට අනර්ථ කරන්නියකි. පෙරත් නුඹ මේ තැනැත්තිය නිසා උලෙහි විද අඟුරු මත පිස කෑ යුතු බවට පැමිණියේ පණ්ඩිතයන් නිසා දිවි ලැබුවේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජ රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ පෙරවි බමුණා වූ සේක. ඉක්බිති එක්දිනක් මසුන් මරන්නෝ දැලෙහි පැටලුණු මාළුවෙක් උඩට ගෙන උණු වැලිපිට තබා ගිනි අඟුරුවලින් පිස කන්නෙමුයි උලක් සැසූහ. මාලුවා මාලු දෙන ගැන වැලපෙමින්,
නමායමග්ගි තපති භසූලො සාධු තච්ඡිතො,
යඤ්ච මං මඤ්ඤති මච්ඡී අඤ්ඤං සො රතියා ගතො
යඤ්ච මං මඤ්ඤති මච්ඡී අඤ්ඤං සො රතියා ගතො
සොමං දහති රාගග්ගි චිත්තං වූපතපෙති මං,
ජාලිනො මුඤ්චථයිරා මං න කාමෙ හඤ්ඤතො ක්වචි
ජාලිනො මුඤ්චථයිරා මං න කාමෙ හඤ්ඤතො ක්වචි
යන මේ ගාථා කීවේය.
මේ ගින්න මා නොතවයි. මනාකොට සසින ලද හුලද මා නොතවයි. කම්සුව විඳීමට ඔහු (මගේ සැමියා) අන් මාලු දෙනක වෙත යන්නට ඇතැයි මාලුදෙන මා ගැන සිතයි නම්
ඒ රාග නමැති ගින්න මා දවයි. ඒ රාගයෙන් යුත් සිතද මා තවයි. ස්වාමී වූ මසුන් මරන්නනි! මා නිදහස් කරව. කාම හේතුවෙන් හැසිරෙන කිසිවෙක් මසුන් මරන්නන් විසින් නොනසනු ලැබේවා!
එහි, න මායමග්ගි තපති යනු මේ ගින්න මා නොතවයි. තැවීමක් නූපදවයි. සෝක නොකරන්නේය, යන අර්ථයි. න සූලො යනු මේ උලද, සාධු තච්ඡිතො මනාව සසින ලද්දේ මා නොතවයි. මට සෝකයක් නූපදවයි. යඤ්චමං මඤ්ඤති යනු ඔහු (මගේ සැමියා) පංචකාමයට ඇති ඇල්මෙන් වෙනත් මාලුදෙනක වෙත ගියේයයි මා ගැන මගේ මාලුදෙන යමක් කියයි නම් එයම මා තවයි. සෝක කරයි. සො මං දහති යනු යම් මේ රාග ගින්නක් ඇද්ද, ඒ ගින්න මා දවයි. චිත්තං වූප තපෙති මං යනු රාග සම්ප්රයුක්ත වූ මගේ හිතම මා තවයි. ක්ලාන්ත කරයි. වෙහෙසට පත් කරයි. ජාලිනො යනු මසුන් මරන්නන් අමතයි. ඔවුහු දැල් ඇති නිසා ‘ජාලිනො’ යයි කියනු ලැබෙත්. මුඤ්ච ථයිරා මං යනු ස්වාමීනි, කාමයෙහි පිහිටි, කාමයෙන් මෙහෙයවනු ලබන සත්ත්වයා කිසිවෙක් නොනසනු ලැබේ. නුඹලා වැනි අය මා වැනි සතෙකු මරන්නට නුසුදුස්සෝ යයි වැළපෙයි. නැතහොත්, කාමෙ යනු හේතු වචනයෙහි සත්තමී විභක්තියයි. (භුම්මං) කාම හේතුවෙන් (ලිංගික සුව හේතුවෙන්) මැසිනිය (මාලුදෙන) ලුහුබැඳ යන කිසි මාලුවෙක් නොනිවැනියන් විසින් නො නසනු ලැබේයි වැලපෙයි. එකල්හි බෝසතාණන් වහන්සේ ගංතෙරට ගියාහු ඒ මාලුවාගේ වැළපීම අසා මසුන් මරන්නන් (කේවට්ටයන්) වෙත එළඹ ඒ මාළුවා නිදහස් කෙළේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්ය ප්රකාශකොට ජාතක කථාව නිමාවට පත්කළ සේක. සත්ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල මැසිනි (මාලු ගැහැණු සතා) පැරණි අඹුවයි. කලකිරුණු භික්ෂුව මාළුවාය. පෙරවි බමුණා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
7. සෙග්ගු ජාතකය (217)
සබ්බො ලොකො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් පණ්ණික නම් උපාසකයෙක් අරබයා වදාළ සේක. විස්තර කථාව ඒකක නිපාතයෙහි විස්තර කරන ලද්දේමය. මෙහි වනාහි බුදුරජාණන් වහන්සේ උපාසකය, බොහෝ කලකින් ආවෙහිදැයි ඒ උපාසකගෙන් විමසා ස්වාමීනි! මාගේ දියණිය නිතර සිනාසෙන මුහුණින් යුක්ත වූවාය. මම ඇය විමසීමට ලක්කොට එක් කුල දරුවෙකුට පාවා දුන්නෙමි. එහි වැඩකටයුතුව තිබුණු නිසා ඔබවහන්සේ බැහැදැකීමට එන්නට අවකාශය නොලැබුවෙමියි කීවේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ උපාසකය! මේ තැනැත්තිය දැන් පමණක් සිල්වත් වූයේ නොවේ. පෙරත් සිල්වත් වූවාය. නුඹ දැන් පමණක් ඇය විමසා නොබැලුවෙහිය. පෙරත් විමසුවෙහි යයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.