5. කච්ඡප ජාතකය (215)
අවධී වන අත්තානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කෝකාලික භික්ෂුව අරබයා වදාළ සේක. විස්තර කථාව මහා කක්කාරි මතු සඳහන් වන්නේය. එකල්හි දැන් පමණක් කට නිසා නැසුනේ නොවේ. පෙරත් කට නිසා නැසුනේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරන සමයෙහි බෝසතාණන් වහන්සේ ඇමති කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව, රජුගේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ සේක. ඒ රජතුමා අධික කථා ඇත්තෙක් විය. ඔහු කථා කරන කල්හි අන් අයගේ වචනයට අවකාසයක් නම් නැත. බෝසතාණන් වහන්සේ රජතුමාගේ ඒ බහුභාණී බව (අධික කථාව) අත් හරවන්නට එක් උපායක් සොයමින් හැසිරෙති. ඒ කාලයෙහි හිමවත් පෙදෙසෙහි එක් විලක ඉබ්බෙක් වාසය කරයි. හංස පොව්වෝ දෙදෙනෙක් ගොදුරු සොයා හැසිරෙමින් ඌ සමග විශ්වාසයක් ඇතිකර ගත්හ. ඔවුහු දැඩි විශ්වාසවන්තයෝ බවට පත්වී එක් දිනක් ඉබ්බාට මෙසේ කීවාහුය. යහලු ඉබ්බාණෙනි! හිමාල වනයෙහි චිත්රකූට නම් ගල්තලාවෙහි රන් ගුහාවෙහි අප වාසය කරන තැන සිත්කලු පෙදෙසකි. අපිත් සමග එහි යන්නෙහිද? මම කුමක් කොට යන්නෙම්ද? ඉදින් නුඹ කට රැක ගන්නට හැකි වන්නෙහි නම් කිසිවෙකුට කිසිවක් නොකියන්නෙහි නම් අපි ඔබ රැගෙන යන්නෙමු. ස්වාමීනි, (මම කට) රැක ගන්නෙමි. මාව රැගෙන යවුයි කීවේය. ඔවුන් දෙදෙනා යහපතැයි කියා එක් ලී කැබැල්ලක් ඉබ්බා ලවා කටින් අල්ලවාගෙන තුමූ (හංසයෝ) ඒ කොටුවේ දෙකෙළවර ඩැහැගෙන අහසට ඉගිලුනාහ.
හංසයන් විසින් එසේ ගෙන යනු ලබන ඉබ්බා දුටු ගම්දරුවෝ හංසයෝ දෙදෙනෙක් ඉබ්බෙකු කෝටුවකින් ගෙන යන්නෝ යයි කීවාහුය. ඉබ්බා, “දුෂ්ට ගම්දරුවනි! යහලුවෝ මා රැගෙන යති. නුඹලාට මෙහි කුමක් කථාදැයි කියනු කැමැත්තේ හංසයන්ගේ වැඩි වේගය නිසා බරණැස් නුවර රජමාලිගාවේ ඉහළ පෙදෙසට පැමිණි කල්හි ඩැහැගෙන තිබුණු තැනින් දණ්ඩ අතහැරී මාළිගාවේ අහස් මිදුලට වැටී දෙකඩ විය. ඉබ්බෙක් අහසින් බිමට වැටී දෙකට බිඳුනේ යයි එකම කෝලාහලයක් විය. රජතුමා බෝසතාණන් වහන්සේ රැගෙන ඇමති පිරිස පිරිවරාගෙන ඒ ස්ථානයට ගොස් ඉබ්බා දැක බෝසතාණන්ගෙන් පඬිතුමනි! කුමක්කොට මේ ඉබ්බා වැටුනේ දැයි විමසීය. බෝසතාණන් වහන්සේ ඔබ බොහෝකලක සිට රජතුමාට අවවාදයක් දෙනු කැමතියි. උපායක් සොයමින් හැසිරෙමි. මේ ඉබ්බා විසින් හංසයන් සමග විශ්වාසයක් ඇති කරවන්නට ඔවුන් විසින් අපි ඔබ හිමාලයට ගෙන යන්නෙමුයි කෝටුවක් කටින් අල්ලවාගෙන අහසින් යන්නට ඇත. ඉක්බිති ඉබ්බා කිසිවෙකුගේ වචනයක් අසා කට රැක ගන්නට නොහැකිව කිසිවක් කියනු කැමතිව කෝටුව කටින් මුදන්නට ඇත. මෙසේ අහසින් වැටී මරණයට පත් වන්නට ඇතැයි සිතා එසේය මහරජ! දොඩමලු පුද්ගලයෝ කෙළවරක් නැතිව වචන කීමෙන් මෙවැනි දුකකට පැමිණෙත් යයි කියා,
අවධීවත අත්තානං කච්ඡපො ව්යාහරං ගිරං,
සුග්ගහීතස්මිං කට්ඨස්මිං වාචාය සකියා වධි
සුග්ගහීතස්මිං කට්ඨස්මිං වාචාය සකියා වධි
එතම්පි දිස්වා නරවිරිය සෙට්ඨ, වාචා පමුඤ්චෙ කුසලං නාතිවෙලං,
පස්සසි බහු භාණෙන කච්ඡපං ව්යසනං ගතං,
පස්සසි බහු භාණෙන කච්ඡපං ව්යසනං ගතං,
යන මේ ගාථා කීවේය.
ඉබ්බා කථා කරන්නට ගොස් ඒකාන්තයෙන් තමා නැසීය. මුවින් මනාකොට ඩැහැගත් දඬුකඩ ඇතිකල්හි තමාගේ තෙපුලෙන් තෙමේ ම තමා නැසීය.
මිනිසුන් කෙරෙහි වීර්යයෙන් ශ්රේෂ්ඨ වූ මහරජ, මේ කාරණාව දැක (නුවණ ඇත්තා) සත්ය වචනයෙන් යුත් හෙයින් කුශල වූ වචන කල් නොයවා කියන්නේය. බොහෝකොට කීමෙන් කට රැකගන්න බැරිව විනාශයට පත් ඉබ්බා දක්නෙහිය.
එහි, අවධි වත යනු ඝාතනය කෙළේය. ඒකාන්තයෙන් ව්යාහරං යනු කථා කරන්නේ, සුග්ගහීතස්මිං කට්ඨස්මිං යනු කටින් මනාකොට ඩැහැගත් දඬුකඩ ඇති කල්හි වාචාය සකියා වධී යනු දොඩමලුකම නිසා නොකල්හි වචන පිට කරමින් ඩැහැගත් තැන අතහැර තමන්ගේ ඒ වචනය නිසා තමන් වධයට පත්විය. ඝාතනය විය. මෙසේ මොහු මරණයට පැමිණියේය. වෙනත් හේතුවක් නැත. එතම්පි දිස්වා යනු මේ කරුණද දැක. නරවිරිය සෙට්ඨා යනු මිනිසුන් කෙරෙහි වීර්යයෙන් ශ්රේෂ්ඨයාණෙනි! උතුම් වීර්යයෙන් යුතු උතුම් රජතුමනි! වාචං පමුඤ්චෙ නාතිවෙලං යනු සත්යය ආදී කරුණුවලින් යුක්ත වූ නිවැරදි දේම (කුශල වූ) පණ්ඩිත පුරුෂයා මුදාහරින්නේය, කියන්නේය. එයද ප්රයෝජනවත්ය. කාලයට සුදුසුය. බොහෝ කාලයක් කතා නොකරයි. කාලය ගෙවී ගියවිට සීමාවක් නැති වචන නොකියන්නේය. පස්සසී යනු ප්රත්යක්ෂ වශයෙන් (තම දෑසින්) ඒකාන්තයෙන් දකින්නෙහිය. බහුභාණෙන යනු බොහෝකොට කථා කිරීමෙන්. කච්ඡපං ව්යසනං ගතං යනු ජීවිතක්ෂයට (මරණයට) පත් මේ ඉබ්බා.
රජතුමා, මා සඳහා කියන්නේ යයි දැන, පඬිතුමනි! අප සඳහා කියන්නෙහිදැයි කීවේය. බෝසතාණෝ මහරජතුමනි! නුඹ හෝ වේවා, වෙන අයෙකු හෝ වේවා, පමණ ඉක්මවා කථා කරන්නේ නම් මෙබඳු විපතකට පැමිණේ යයි ප්රකටකොට කීවේය. රජතුමා එතැන් පටන් බහුල කථාවෙන් වැළකී මඳක් කථා කරන්නෙක් (මන්දභාණී) විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ඉබ්බා කෝකාලිකය. හංස පෝතකයෝ දෙදෙනා දෑගසව්වෝය. රජතුමා ආනන්දය. පණ්ඩිත ඇමතියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
6. මච්ඡ ජාතකය (216)
න මායමග්ගි තපති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි බිරිඳගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. ශාස්තෲන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඇත්තද මහණ! නුඹ කලකිරුණේදැයි විචාරා, ඇත්තයි ස්වාමීනි’යි කී කල්හි කවුරුන් විසින් කලකිරවන ලද්දේදැයි විමසූ විට පුරාණ බිරිඳ විසින් යයි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහණ! මේ ස්ත්රිය තොපට අනර්ථ කරන්නියකි. පෙරත් නුඹ මේ තැනැත්තිය නිසා උලෙහි විද අඟුරු මත පිස කෑ යුතු බවට පැමිණියේ පණ්ඩිතයන් නිසා දිවි ලැබුවේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජ රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ පෙරවි බමුණා වූ සේක. ඉක්බිති එක්දිනක් මසුන් මරන්නෝ දැලෙහි පැටලුණු මාළුවෙක් උඩට ගෙන උණු වැලිපිට තබා ගිනි අඟුරුවලින් පිස කන්නෙමුයි උලක් සැසූහ. මාලුවා මාලු දෙන ගැන වැලපෙමින්,