4. පුණ්ණනදී ජාතකය (214)
පුණ්ණං නදිං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ප්‍රඥා පාරමිතාව මුල් කරගෙන දේශනා කළ සේක. එක්දිනක් දම්සභාවට රැස්වූ භික්‍ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව අරබයා මහා ප්‍රඥා ඇති පුථු ප්‍රඥා ඇති භාසු ප්‍රඥා ඇති, ජවන ප්‍රඥා ඇති තික්ඛ ප්‍රඥා ඇති නිබ්බෙධික ප්‍රඥා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපාය ප්‍රඥාවෙන් යුක්ත වූ සේකැයි කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කර මහණෙනි! කවර කථාවකින් යුක්තව දැන් මෙහි සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව තථාගතයන් වහන්සේ පෙරත් ප්‍රඥාවෙන් හා උපාය කුසලතාවයෙන් යුතුව සිටියාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ පෙරෙවි බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන ගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලබා බරණැස් රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ සේක. පසුකලෙක රජතුමා බිඳුවන්නන්ගේ කථා පිළිගෙන කිපී මගේ සමීපයෙහි නොවසවයි බෝසතාණන් වහන්සේ බරණැසින් පිටමං කෙළේය. බෝසතාණන් වහන්සේ සිය අඹුදරුවන් රැගෙන කසීරට එක්තරා ගමෙක වාසය කළ සේක. පසුකලෙක රජතුමා ඔහුගේ ගුණ සිහිකර කුමක් හෝ යවා මගේ ඇදුරුතුමා කැඳවා ගැනීම යුතු නොවෙයි. ඒ නිසා එක් ගාථාවක් රචනාකොට ලිපියක් ලියා කපුටු මස් පිසවා ලියමන ද කපුටු මස් ද සුදු වස්ත්‍රයකින් ඔතා රාජ මුද්‍රාවෙන් සටහන් (සීල්) තබා යවන්නෙමි. ඉදින් නුවණ ඇත්තෙක් නම් ලිපිය කියවා කවුඩු මස් බව දැන එන්නේය. ඉදින් නොඑන්නේ නම් (යනුවෙන් සිතා) ඔහු,
පුණ්ණං නදිං යෙනච පෙය්‍යමාහු, ජාතං යවං යෙනච ගුය්හමාහු,
දූරං ගතං යෙන ච අව්හයන්ති, සොත්‍යාගතො හන්‍දච භුඤ්ජ බ්‍රාහ්මණ
යන මේ ගාථාව ලීවේය.
“පිරුණා වූ නදිය යමෙකු විසින් පානය කළ යුතුයයි කියාද, වැඩුණා වූ යව (සස්‍යයන්) යමෙකු විසින් සැඟවීමට සුදුසුයයි කියාද, දුර ගිය ප්‍රියයකු පැමිණීම, යමෙකු කරණ කොටගෙන කියාද ඔහු තොපට ගෙනෙන ලදි. එබැවින් බ්‍රාහ්මණය, අනුභව කරව.”
පිරුණු ගඟෙහි දිය බොන තැනැත්තා, වැඩුණු ගොයම් ඇතුළට වී සැඟවෙන තැනැත්තා, දුරගිය හිතවතෙකු පැමිණෙන බව කියන තැනැත්තා, කවරෙක්ද ඔහු (හෙවත් කපුටා එනම් කපුටු මස්) ඔබට ගෙනෙන ලදි. බමුණ එහෙයින් අනුභව කරන්න.
එහි, පුණ්ණං නදිං යෙන ච පෙය්‍යමාහු යනු “කාක්කෙකුට දිය බීමට සුදුසු නදිය ගැන කියමින් යමෙකු විසින් පිරුණු නදිය පානය කළ යුතුයයි කීය. නොපිරුණු ගඟ කාක්කෙකුට දියබීමට සුදුසු නදියයි නොකියනු ලැබේ. ගංඉවුරෙහි සිට බෙල්ල දිගුකොට කාක්කෙකුට දිය බීමට හැකිනම් එපමණට දිය පිරුණු නදියට ‘කාකපෙය්‍ය’ හෙවත් කපුටෙකුට දිය බීමට සුදුසු නදියයි කියති. ජාතං යවං යෙන ච ගුය්හමාහු යන මෙහි ‘යව’ යනු දේශනා ශීර්ෂයක් පමණි. මෙහි (‘යව’ නමැති ධාන්‍ය වර්ගය පමණක් නොව) පැලවී හොඳට වැඩුණු සියලුම ධාන්‍ය වර්ගවලට අයත් ගස්, පඳුරු අදහස් කරන ලදි. පඳුරු අතරට කාක්කෙකු ඇතුල් වූ විට ඌ නොපෙනෙන ලෙස වසා ගැනීමට හැකිවන තරමට පඳුරු වැඩී ඇත්නම් එවිට සඟවයි යන අර්ථයෙන් ‘ගුය්හ’ යයි කියනු ලැබේ. කුමක් සඟවයිද? කාක්කා සඟවයි. මෙසේ කාක්කාගේ සැඟවීම කාක් සැඟවීමයි. (කාකගුය්හං) මෙසේ කියමින් කාක්කා විසින් සඟවන වචනයට කරුණු වශයෙන් ‘ගුය්හ’ යයි කියති. එහෙයින් යෙන ච ගුය්හමාහු යයි කියන ලදි. දූරං ගතං යෙන ච අව්හයන්ති යනු දුර ගිය වෙන්ව වාසය කළ යම් ප්‍රිය පුද්ගලයකු පැමිණ සැඟවී සිටිනු දැක (දකින පුද්ගලයා) කපුටාට අමතා කපුට! අසවලා එන්නේ නම් හඬලන්නැයි කියා හඬලන ඒ කපුටු හඬ අසා හෝ අසවලා එන්නේ යයි කියා කාක්කා හඬලයිද මෙසේ කියමින් යමෙකු විසින් (පැමිණියේ හෝ පැමිණෙන අය හෝ) කැඳවත්ද කථා කරත්ද මන්ත්‍රණය කරත්ද යන අර්ථයයි. සො ත්‍යාගතො ඔහු (කපුටා) විසින් කැඳවන ලද ඔහු (ඒ පුද්ගලයා) හන්‍ද ච භුඤ්ජ බ්‍රාහ්මණ යනු බමුණ මෙය ගන්න. අනුභව කරන්න. මේ කපුටු මස් කන්න යන අර්ථයයි.
මෙසේ රජතුමා මේ ගාථාව කොළයක ලියා බෝසතාණන් වහන්සේට යැව්වේය. හෙතෙම ලිපිය කියවා රජතුමා මා දකිනු කැමැත්තේ යයි කියා
යතො මං සරතී රාජා වයසම්පි පහෙතවෙ,
හංසා කොඤ්චා මයූරා ච අසතියෙව පාපියා.
යන දෙවන ගාථාව කීවේය.
“රජ තෙමෙ කවුඩු මසක්වත් එවනු පිණිස යම්කලෙක මා සිහි කරයිද, හංසයෝ, කොස්වාලිහිණියෝය, මොණරු යන මොවුන් ලද කල්හි කිම සිහි නොකෙරෙයිද, එසේ සිහි නොකිරීමම ලාමකය.
එහි, යතො මං සරති රාජ වායසම්පි සහෙතවෙ යනු යම්කලෙක කවුඩු මස් ලැබ ඒවා එවන්නට රජතුමා මා සිහිකරයි. හංසො කොඤ්චා මයූරාච යනු යම්කලෙක මොහුට හංස ආදීහු පිළිගන්වන්නේ නම් ඒ හංස මස් ආදිය ලබන්නේ නම් එකල්හි කුමක් නිසා මාව සිහි නොකරන්නේද? යන අර්ථයි. අටුවාවෙහි වනාහි, හංස කොඤ්ච මයුරානං යනු පාඨය ඇත. ඒ පාඨය වඩා සුදුසුය. මේ හංසාදීන්ගේ මස් ලැබ කුමක් නිසා මාව සිහි නොකරන්නෝද යනු මෙහි අර්ථයයි. අසතියෙව පාපියා යනු යම්කිසිවක් ලැබ සිහිපත් කිරීම නම් යහපත්ය. ලොවෙහි අමතක කිරීමම පවකි. අමතක කිරීමම හීන ලාමක දෙයකි. එයද අපගේ රජතුමාට නැත. රජතුමා මා සිහිකරයි. මගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. ඒ නිසා යන්නෙමි. යානයක් යොදවාගෙන ගොස් රජතුමා බැහැදුටුවේය. රජතුමා සතුටු වී පුරෝහිත තනතුරෙහිම පිහිටෙව්වේය.