3. භරු ජාතකය (213)
ඉසීන මන්තරං කත්වා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කොසොල් රජතුමා අරබයා වදාළ සේක.
භාග්යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද ලාභ සත්කාර වැඩිපුර ලැබෙන්නට විය. කෙසේද යත් ඒ කාලයෙහි වනාහි භාග්යවතුන් වහන්සේට සත්කාර කිරීම, ගරු කිරීම, පුදන ලද, පූජා කරන ලද, ගරුකරන ලද්දේ සිවුරු, පිණ්ඩපාතය, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලැබෙන්නේය. භික්ෂු සංඝයාටද සත්කාර කරන්නේ වෙයි. -පෙ- පිරිකරද ලැබේ. අන්ය තීර්ථක පිරිවැජියන්ට එවැනි සත්කාර ලැබෙන්නේ නැත. -පෙ- පිරිකර ආදියද නොලබති.
ඔවුහු මෙසේ පිරිහුණු ලාභ සත්කාර ඇත්තාහු රෑ දාවල් රහසේ රැස්ව ශ්රමණ භවත් ගෞතමයන් පහළ වූ තැන් පටන් අපි නැසුණු ලාභ සත්කාර ඇත්තෝ වෙමු. ශ්රමණ භවත් ගෞතමයෝ ලාභයෙන් යසසින් අගතැන්පත් වූහ. කුමන කරුණක් නිසා උන්වහන්සේ මේ සම්පත් ලැබෙන්නේදැයි සාකච්ඡා කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ මුළු දඹදිවටම උතුම් බිම් පියසක වසන සේක. ඒ නිසා උන්වහන්සේට මේ ලාභ සත්කාර උපදී යනුවෙන් කීහ. සෙසු අය ඒ කතාවෙහි ගතයුත්තක් ඇත. අපිත් ජේතවනය පිටුපස තීර්ථක ආරාමයක් කරවමු. මෙසේ (චීවරාදි) ලාභ ලබන්නෝ වන්නෙමුයි කීවාහුය. ඒ සියල්ලෝම එසේ යයි තීරණය (සනිටුහන්) කොට, ඉදින් අපි රජතුමාට නොදන්වා ආරාමයක් කරවන්නෙමු නම් භික්ෂූහු වළක්වන්නාහ. ලාභයක් ලැබ මෙසේ වෙන කෙනෙක් නම් නැත. ඒ නිසා රජතුමාට අල්ලසක් දී ආරාමයකට සුදුසු තැනක් ලබා ගන්නෙමුයි සාකච්ඡාකොට උපස්ථායකයන්ගෙන් ඉල්ලාගෙන රජතුමාට ලක්ෂයක් දී මහරජතුමනි! අපි ජේතවනාරාමය පිටුපස තීර්ථක ආරාමයක් කරන්නෙමු. ඉදින් භික්ෂූහු එය කරන්නට නොදෙමුයි ඔබතුමන්ට කියත්නම් උන්වහන්සේලාට පිළිතුරක් නොදිය යුතුයයි කීවාහුය. රජතුමා අල්ලසට ලොල්වී යහපතැයි පිළිගත්තේය.
තීර්ථකයෝ රජතුමාට සංග්රහකොට වඩුවන් කැඳවා වැඩ පටන් ගත්හ. මහත් ඝෝෂාවක් ඇතිවිය. බුදුරජාණන් වහන්සේ මේ කුමන අරගලයක්දැයි ආනන්ද තෙරුන්ගෙන් විචාළ සේක. ස්වාමීනි! අන්ය තීර්ථකයෝ දෙව්රම පිටුපස තීර්ථක ආරාමයක් කරවති. මේ එහි ඝෝෂාවයි. ආනන්දය! මේ ස්ථානය තීර්ථක ආරාමයකට නුසුදුසුයි. තීර්ථකයෝ උස්හඬින් කථාකරනු කැමති අය වෙති. ඔවුන් සමග වාසය කළ නොහැකියයි වදාරා භික්ෂු සංඝයා රැස් කරවා, මහණෙනි, යන්න රජුට කියා තීර්ථක ආරාමය තැනීම වළක්වවයි වදාළ සේක. භික්ෂු සංඝයා ගොස් රජ මාලිගයේ දොරටුව ළඟ වැඩසිටියහ. රජතුමා සංඝයා පැමිණි බව ඇසුවේ නමුදු තීර්ථක ආරාමය නිසා එන ලදැයි සිතා අල්ලස් ගත් නිසා රජතුමා මාලිගාවේ නැතැයි කීවේය. භික්ෂූහු ගොස් ශාස්තෲන් වහන්සේට සැල කළාහුය. බුදුරජාණන් වහන්සේ, අල්ලස නිසා එසේ කරන්නේ යයි, අගසව් දෙනම යැවූ සේක. රජතුමා උන්වහන්සේලාගේ පැමිණි බවද අසා කලින් කිවූ පරිදිම කියවීය. උන්වහන්සේලාද අවුත් බුදුරජාණන් වහන්සේට සැල කළාහුය. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයෙනි! දැන් රජතුමා මාලිගාවේ සිටීමට නො ලබන්නේය. බැහැර නික්මෙන්නේ යයි පසුදින පෙරයම් වේලාවෙහි හැඳ පොරවා පාත්රයද සිවුරද රැගෙන භික්ෂූන් පන්සියයක් සමග රජතුමාගේ මාලිගාවේ දොරටුව ළඟට වැඩි සේක. රජතුමා ඒ බව අසා ප්රාසාදයෙන් බැස පාත්රය ගෙන ශාස්තෲන් වහන්සේ ඇතුළට වැඩමවා, බුදුරජාණන් වහන්සේ ප්රධාන මහා සංඝයාට කැඳ හා කැවිලි වර්ග වළඳවා බුදුන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ රජතුමාට එක් ආකාරයක ධර්ම දේශනාවක් ආරම්භ කරමින් මහරජ! පෙර රජවරු අල්ලස් ගෙන සිල්වතුන් අතරෙහි ඔවුනොවුන් භේද කරවා කෝලාහල ඇතිකොට තමන්ගේ රටෙහි නායකත්වයෙන් මිදී මහා විනාශයකට පත් වූහයි වදාරා රජතුමා විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.