2. උච්ඡිට්ඨභත්ත ජාතකය (212)
අඤ්ඤො උපරිමො වණ්ණො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි අඹුවගේ පෙළඹවීමක් මුල් කරගෙන වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද මහණ! ඔබ පැවිද්දට කලකිරුණෙහිදැයි විමසන ලද ඒ භික්‍ෂුව ඇත්තයි කියා පිළිතුරු දුන්විට, කවරෙක් ඔබ කලකිරීමට පත් කළෙහිදැයි විමසූවිට පැරණි අඹුවයයි කීවේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට මේ ස්ත්‍රිය ඔබට අනර්ථකාරීය. පෙරත් තමන්ගේ සොර සැමියාගේ ඉඳුල් බත් සිය සැමියාට අනුභව කරාවීයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා දිළිඳු, නටන කුලයක ඉපදී වැඩිවියට පත්ව දුප්පත්ව විරූපීව හිඟමනේ හැසිර දිවි ගෙවූහ. එකල්හි කසීරට එක්තරා ගමක එක් බමුණෙකුගේ බැමිණිය දුසිල්ව පව්කම් කරන්නී දුරාචාරයෙහි හැසිරෙන්නීය. ඉක්බිති එක් දවසක් කිසියම් කටයුත්තක් සඳහා බමුණා පිටතට ගිය කල්හි ඇගේ සොර සැමියා ඒ අවස්ථාව බලා ඒ ගෙට පිවිසියේය. ඈ ඔහු සමග අනාචාරයේ හැසිර මොහොතක් නවතින්න. බත් කා යවයි බත් උයා ව්‍යඤ්ජන සහිතව උණු බත් බෙදා කොට නුඹ අනුභව කරවයි ඔහුට දී තොමෝ බමුණාගේ පැමිණීම බලමින් දොරටුවෙහි සිටියාය. බෝසතාණන් වහන්සේගේ බැමිණියගේ සොර සැමියා අනුභව කරන ස්ථානයේ කෑම ටිකක් බලාපොරොත්තුවෙන් සිටියේය.
ඒ අවස්ථාවෙහි බමුණා ගෙදර බලා එයි. බැමිණිය එන්නා වූ ඒ බමුණා දැක වේගයෙන් ගෙට පිවිස නැගිටිනු, බමුණා එන්නේ යයි සොර සැමියා කොටුවට බස්සවා, බමුණා ඇතුල්වී හුන් කල්හි බත් කන මේසය ළඟට කර අත සෝදන පැන් දී හොර සැමියා අනුභවකොට ඉතිරි වූ සීතල වූ ඉඳුල් බත්වලට උඩින් උණු බත් බෙදා බමුණාට දුන්නීය. හෙතෙම බතෙහි අත දමා උඩින් උණුසුම්වත් යට බත් සීතලටත් තිබෙනු දැක මේ අනිකෙකු විසින් අනුභව කර ඉතිරි වූ බත් විය යුතුයයි සිතා ඔහු බැමිණියගෙන් විමසන්නේ
අඤ්ඤො උපරිමො වණ්ණො අඤ්ඤො වණ්ණො ව හෙට්ඨිමො,
බ්‍රාහ්මණිං ත්‍ථෙව පුච්ඡාමි කිං හෙට්ඨා කිංච උප්පරී
යන පළමු ගාථාව කීවේය.
“(බත් පිඟානේ) උඩ කොටස එක් ආකාරයකි. යට කොටස තවත් ආකාරයකි. බැමිණිය, ඔබගෙන්ම විමසමි. යට බත කුමක්ද? උඩ බත කුමක්ද?”
එහි, වණ්ණො යනු ආකාරයකි. මොහු උඩ කොටස උණුසුම් බවත්, යට කොටස සීතල බවත් විමසමින් මෙසේ කීවේය. කිං හෙට්ඨා කිඤ්ච උප්පරී යනු බෙදා තිබුණු බතක් නම් උඩ සිසිල්වත් යට උණුසුම්වත් තිබිය යුතුයි. නමුත් මෙය එසේ නොවේ. ඒ නිසා උඩ බත උණුසුම්වත් යට බත සිසිල්වත් තිබෙන්නේ ඇයිදැයි ඔබෙන් විමසමි.
බැමිණිය තමා කළ ක්‍රියාව හෙළිවන බිය නිසා බමුණා නැවත නැවතත් ඒ ගැන කියද්දීත් නිහඬ වූවාය. ඒ අවස්ථාවෙහි බෝසතාණන් වහන්සේට මේ අදහස ඇතිවිය. කොටුවෙහි රඳවන ලද පුරුෂයා සොර සැමියා විය යුතුයි. මේ ගෘහ ස්වාමියා විය යුතුයි. බැමිණිය කළ වැරදි ක්‍රියාව හෙළිවන බිය නිසා කිසිවක් නොකියන්නීය. ඉදින් මම මැගේ ක්‍රියාව ප්‍රකාශකොට සොර සැමියා කොටුවෙහි සිටින බව බමුණාට කියන්නේ නම් මැනවි. හෙතෙම බමුණා ගෙදරින් නික්මුණු කාලයේ පටන් සොර සැමියා ගෙට ඇතුල්වීම අනාචාරයේ හැසිරීම, සොර සැමියා විසින් බතෙහි අග්‍ර කොටස අනුභව කිරීම, බැමිණිය දොර ළඟ සිට මග බලාගෙන සිටීම, අනිකා වී කොටුවෙහි බැස සැඟවී ඇති බව යන ඒ සියලු පුවත් කියා
අහං නටොස්මි භද්දන්තෙ භික්ඛකොස්මි ඉධාගතො,
අයං හි කොට්ඨ මොතිණ්ණො අයං සො යං ගවෙසසී
යන දෙවන ගාථාව කීවේය.
“ස්වාමීනි! මම නළුවෙක්මි. අහර සොයමින් මෙහි ආවෙමි. ඔබ යමෙකු සොයහිද? ඇගේ සොර සැමියා වූ ඔහු කොටුවට බැස ගත්තේය.”
එහි, අහං නටොස්මි භද්දන්තෙ යනු ස්වාමීනි! මම නළුවෙක්මි. භික්ඛකොස්මි ඉධාගතො යනු ඒ මම සිඟන්නෙක්ව සිඟමන් සොයමින් මෙතැනට ආවෙමි. අයංහි කොට්ඨමොතිණ්ණො යනු ඇගේ සොර සැමියා වන මොහු මේ බත අනුභව කරමින් ඔබට බියෙන් කොටුවට බැස්සේය. අයං සොයං ගවෙසසි යනු මේ ඉඳුල් බත කවරෙකුගේ විය යුතුදැයි සිතමින් ඔබ යමෙකු සොයයිද මේ ඔහුය. කෙස් වැටියෙන් අල්ලාගෙන කොටුවෙන් ඔහු ඉවත් කරවා නැවත මෙබඳු පාපයක් නොකරන ලෙසට භීතිය ඇතිකරවන්නැයි (මතක හිටින ලෙස දඬුවම් කරන්නැයි) කියා සිඟන්නා ගියේය. බමුණාද ඒ දෙදෙනාට නැවත එබඳු පාපයක් නොකරන අයුරින් තර්ජනය කිරීම් තැළීම් පෙළීම් ආදියෙන් හික්මවා කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටි සේක. එකල බැමිණිය (දැන්) පැරණි බිරිඳ වූවාය. බමුණා කලකිරුණු භික්‍ෂුවයි. නළුවා වනාහි ලොව්තුරා බුදු වූ මම ම වූවෙමි යි වදාළ සේක.
3. භරු ජාතකය (213)
ඉසීන මන්තරං කත්‍වා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කොසොල් රජතුමා අරබයා වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද ලාභ සත්කාර වැඩිපුර ලැබෙන්නට විය. කෙසේද යත් ඒ කාලයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේට සත්කාර කිරීම, ගරු කිරීම, පුදන ලද, පූජා කරන ලද, ගරුකරන ලද්දේ සිවුරු, පිණ්ඩපාතය, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලැබෙන්නේය. භික්‍ෂු සංඝයාටද සත්කාර කරන්නේ වෙයි. -පෙ- පිරිකරද ලැබේ. අන්‍ය තීර්ථක පිරිවැජියන්ට එවැනි සත්කාර ලැබෙන්නේ නැත. -පෙ- පිරිකර ආදියද නොලබති.