1. සෝමදත්ත ජාතකය (211)
අකාසි යොග්ගං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කාළුදායි තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. ඒ තෙරුන් වහන්සේ වනාහි මිනිසුන් දෙතුන් දෙනෙකු ඉදිරියේ එක් වචනයක්වත් ගළපා කියන්නට නොහැකි වෙයි. ඇලීම් බහුල නිසා අනෙකක් කියන්නෙමියි, අනිකක්ම කියයි. ඔහුගේ ඒ සිද්ධිය භික්‍ෂූහු දම්සභාවෙහි කියමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! දැන් මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! කාළුදායි ලජ්ජාබහුල වූයේ දැන් පමණක් නොවේ. පෙරත් ලජ්ජාබහුල වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ තක්ෂිලාවෙහි ශිල්ප හදාරා නැවත නිවසට අවුත් මව්පියන්ගේ දිළිඳු බව දැන පිරිහී ගිය කුලය (පවුල) නගාසිටුවන්නෙමියි මව්පියන්ගෙන් විචාරා බරණැසට ගොස් රජුට උපස්ථාන කෙළේය. ඔහු රජතුමාට ප්‍රියමනාප විය. ඉක්බිති මොහුගේ පියා ගොනුන් දෙදෙනෙකුගෙන් ගොවිතැන්කොට දිවි ගෙවයි. ඔහුගේ එක් ගොනෙකු මළේය. ඔහු බෝසත්තුමා වෙත ගොස් පුත! එක් ගොනෙක් මළේය. ගොවිතැන් නොපවතියි. රජතුමාගෙන් එක් ගවයෙකු ඉල්ලා දෙන්නැයි කීවේය. පියාණෙනි! මා විසින් රජතුමා දක්නා ලද්දේ මෑතදීය. (මා රජු ළඟට පැමිණියේ මේ ළඟදීය) දැන්මම ගොනුන් ඉල්ලීම යුතු නැති නිසා නුඹම ඉල්ලව. පුත! නුඹ මගේ ඇලීම් බහුල බව නොදන්නෙහිද? මම වනාහි දෙතුන් දෙනෙකු ඉදිරියේ කථාවක් කිරීමට නොහැක්කෙමි. ඉදින් මම රජු සමීපයෙන් ගොනෙකු ඉල්ලන්නට යන්නෙම්ද මේ ගොනාත් දී එන්නෙමියි කීවේය. පියාණෙනි! වෙන දෙයක් වේවා! මවිසින් රජුගෙන් ඉල්ලන්නට නොහැක්කේය. එසේ වුවත් මම ඔබ ලවා සුදුස්සක් කරවන්නෙමියි කීහ. හොඳයි. එසේනම් මා ලවා සුදුස්සක් කරවන්නැයි කීය.
බෝසතාණන් වහන්සේ පියා රැගෙන බීරණත්ථම්භක නම් සොහොනට ගොස් ඒ ඒ තැන තණමිටි කීපයක් බැඳ මේ රජය, මේ යුව රජය, මේ සේනාපතියා යයි නම්කොට පිළිවෙලින් පියාට දක්වා පියාණෙනි! නුඹ රජ සමීපයට ගොස් මහරජතුමනි! ඔබට ජයවේවායි ශුභ පතා මෙසේ මේ ගාථාව කියා ගොනෙකු ඉල්ලන්නෙහි යයි,
ද්වෙ මෙ ගොනා මහා රාජ යෙහි ඛෙත්තං කසාමසෙ,
තෙසු එකො මතො දෙව! දුතියං දෙහි ඛත්තියා.
යන ගාථාව ඉගැන්වීය.
“මහරජතුමනි! මට කෙත සීසෑමට යොදාගන්නා ගොනුන් දෙදෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් එකෙකු මළේය. ක්‍ෂත්‍රිය රජතුමනි! දෙවැන්නෙකු දෙනු මැනවි.”
බමුණා එක් අවුරුද්දකින් ගාථාව ප්‍රගුණ (පුහුණු) කොට බෝසතාණන්ට කීවේය. දරුව! සෝමදත්ත මට ගාථාව ප්‍රගුණ විය. මම දැන් එය යම්කිසිවෙකු ඉදිරියේ කීමට හැක්කෙමි. මා රජතුමා හමුවට පමුණුවන්නෙමියි කීය. ඔහු යහපති පියාණෙනියි කියා සුදුසු පඬුරු (තෑගි) ගන්වාගෙන පියා රජු ඉදිරියට පැමිණවීය. බමුණා ජයවේවා! මහරජතුමනියි කියා පඬුරු දුන්නේය. රජතුමා, සෝමදත්තයෙනි! මේ බමුණා ඔබේ කවරෙක්දැයි ඇසීය. මහරජ, මගේ පියාය. කුමක් සඳහා ආවේදැයි විමසීය. ඒ අවස්ථාවෙහි බමුණා ගොනෙකු ඉල්ලීම පිණිස ගාථාව කියන්නේ
ද්වෙ මෙ ගොනා මහාරාජ යෙහි ඛෙත්තං කසාමසෙ,
තෙසු එකො ම තො දෙව දුතියං ගණ්හ ඛත්තිය.
“මහරජතුමනි, මට කෙත සීසෑමට ගන්නා ගොනුන් දෙදෙනෙක් සිටියහ. ඉන් එකෙක් මළේය. ක්‍ෂත්‍රිය රජතුමනි! දෙවැන්නෙක් ගන්න”යි කීය.
රජතුමා බමුණා විසින් වරදවා කී බව දැන සිනාසී සෝමදත්තයෙනි, තොපගේ ගෙදර බොහෝ ගොනුන් ඇතැයි සිතමියි කීවේය. මහරජතුමනි, ඔබවහන්සේ විසින් දෙන ලද ගොනුන් විය හැකිය බෝසත්හු කීහ. රජතුමා බෝසතාණන් වහන්සේට සතුටුවී බමුණාට ගොනුන් දහසයක්ද විසිතුරු බඩුද, වාසයට ගමක්දැයි යනුවෙන් ඔහුට රජකු විසින් කළයුතු පරිත්‍යාගකොට මහත් යසසින් යුතුව බමුණා යැවීය. බමුණා සියලු සුදු අසුන් යෙදූ රථයකට නැගී ගමට ගියේය. බෝසතාණන් වහන්සේ රියෙහි වාඩිවී පියා සමග යමින් පියාණෙනි! මුලු අවුරුද්දක්ම මම ඔබව සුදුස්සෙකු කරවූයෙමි. එහෙත් කළයුත්තට කාලය පැමිණි කල්හි ඔබ (ඔබට ඉතිරිව සිටි) ගොනාද රජතුමාට දුන්නෙහි යයි කියා
අකාසි යොග්ගං ධුවමප්ප මත්තො, සංවච්ඡරං බීරණත්‍ථම්භ කස්මිං,
ව්‍යාකාසි සඤ්ඤං පරිසං විගය්හ, න නිය්‍යමො තායති අප්ප පඤ්ඤං
යන පළමු ගාථාව කීහ.
ඛීරණත්ථම්භක සොහොනෙහි අවුරුද්දක් අප්‍රමාදව නිරතුරු පුහුණු කෙළේය. පිරිස් අතරට වැද ඒ සංඥාව විකෘත කෙළේය. උත්සාහය ප්‍රඥා නැත්තහු නො රකී.
එහි, අකාසි යොග්ගං ධුව මප්ප මත්තො සංවච්ඡරං ඛීරණත්‍ථම්භ කස්මිං යනු නුඹ නිරන්තරයෙන් නොපමා වූයේ ඛීරණත්‍ථම්භක නම් සොහොනේදී යෝග්‍ය දේ (පුහුණුව) කෙළේය. ව්‍යාකාසි සඤ්ඤං පරිසං විගය්හ යනු එහෙත් පිරිස අතරට බැසගෙන (පුහුණුවෙන් ලත්) ඒ දැනීම විකාරයට පැමිණවීය. කණපිට පෙරළුවේය යන අර්ථයි. න නිය්‍යමො තායති අප්පපඤ්ඤං යනු උත්සාහය පුහුණුව බහුලව කරන ලද දෙයි. ප්‍රඥාව නැති තැනැත්තා නොරකියි. (උත්සාහය ආදී කරුණුවලට මෝඩයා රැකියා නොහැකිය.)
ඉක්බිති මොහුගේ කීම අසා බමුණා
ද්වයං යාචනකො තාත සොමදත්ත නිගච්ඡති,
අලාභං ධනලාභංඤ්ච එවං ධම්මාහි යාචනා.
යන දෙවන ගාථාව කීවේය.
“පුත සෝමදත්තය, ඉල්ලන්නේ අලාභයටද ධන ලාභයටදැයි දෙකකට පැමිණෙයි. යාච්ඤාව නම් මෙබඳු ස්වභාව ඇත්තේයි. (ඉල්ලීමෙන් ලාභයත් අලාභයත් දෙකම සිදුවිය හැකිය. ඉල්ලීමේ හැටි එසේය.)
එහි, එවං ධම්මොහි යාචනා යනු ඉල්ලීමේ ස්වභාවය මෙසේය.
බුදුරජාණන් වහන්සේ මහණෙනි! කාළුදායී ලජ්ජා බහුල වූයේ දැන් පමණක් නොවේ. පෙරත් ලජ්ජා බහුලව සිටියේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සෝමදත්තගේ පියා කාළුදායී විය. සෝමදත්ත වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.