9. සතධම්ම ජාතකය (179)
තඤ්ච අප්පං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් භික්‍ෂූන් වහන්සේ විසින් අනුගමනය නොකළ යුතු විසිඑක් වැදෑරුම් අනෙසන (නුසුදුසු ජීවිකාවන්) මුල් කරගෙන දේශනා කළ සේක. එක් කලෙක බොහෝ භික්‍ෂූහු වෙදකම් කිරීමෙන් ගිහියන්ගේ පණිවිඩ ඒ ඒ තැනට ගෙනයාම නම් වූ දූතකර්මයන් ගෙන් ගෙට අසුන් ගෙන යාම නම් වූ පහේන ගමනත් මද දෙයක් දී වැඩිපුර ගන්නා බව යනාදී මෙබඳු විසිඑක් වැදෑරුම් භික්‍ෂූන්ට නුසුදුසු ජීවන ක්‍රම අනුගමනය කළාහුය. ඒ විස්තරය සාකේත ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඔවුන් එසේ ජීවත් වනබව දැන “මෙකල බොහෝ භික්‍ෂූහු නුසුදුසු ලෙස දිවි ගෙවත්ද ඔවුන් වනාහි මෙසේ දිවි ගෙවා යක්‍ෂ හෝ ප්‍රේත ආත්මවලින් නොමිදෙන්නෝය. ගැල උසුලන ගොනුන් වී උපදිති. නිරයෙහි උපදිති. එසේ ජීවත් වෙන්නන්ගේ හිතසුව පිණිස සැප පිණිස තම අදහස අනුව, සිය වැටහීම අනුව එක් දම් දෙසුමක් කිරීමට සුදුසු යයි භික්‍ෂු සංඝයා රැස් කරවා, මහණෙනි! විසිඑක් වැදෑරුම් වූ නුසුදුසු පරිදි ප්‍රත්‍යය ඉපදවීම නොකළ යුතුයි. නුසුදුසු පරිදි උපදවා ගන්නා පිණ්ඩපාතය දැල්වෙන යකඩ ගුලි හා සමානයි. නපුරු විෂක් හා සමානයි. නුසුදුසු ලෙස මේ ප්‍රත්‍යය සෙවීම බුදු, පසේබුදු, ශ්‍රාවකයන් වහන්සේලා විසින් ගරහන ලද්දකි. නුසුදුසු පරිදි උපදවන පිණ්ඩපාතය වළඳන භික්‍ෂුවට හිනාවක් හෝ සතුටක් හෝ නැත. මෙසේ උපදවා ගන්නා පිණ්ඩපාතය මගේ ශාසනයෙහිදී සැඩොලාගේ ඉඳුල් ආහාරය හා සමානයි. ඒ ප්‍රත්‍ය පරිභෝග කිරීම සතධම්ම මානවකයාගේ සැඩොලා විසින් ඉඳුල් කළ බත පරිභෝගය හා සමාන වේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සැඩොල් කුලයෙහි ඉපිද වැඩිවියට පත්වූවාහු කිසියම් කටයුත්තක් සඳහා මගදී ප්‍රයෝජනයට අවශ්‍ය සහල් ද බත් මුලක්ද ගෙන මගට පිළිපන්නෝය. එකල බරණැස ප්‍රසිද්ධ බමුණු මහසල් කුලයක උපන් සතධම්ම නම් එක් මානවකයෙක් සිටී. ඔහුද කිසියම් කටයුත්තක් සඳහා සහල් හෝ බත්මුලක් හෝ නෙගෙනම මගට පිළිපන්නේය. මේ දෙදෙනාම මහමග එකට ගමන් කළාහ. මානවකයා බෝසතාණන්ගෙන් ඔබ කිනම් ජාතිකයෙක්දැයි විචාළේය. ඒ මම නම් සැඩොලෙක්මියි කියා, නුඹ කිනම් ජාතිකයෙක්දැයි මානවකයාගෙන් විචාළේය. මම ප්‍රසිද්ධ බමුණෙක්මි. හොඳයි යමුයි දෙදෙනාම මගට පිළිපන්හ. බෝසතාණන් වහන්සේ උදේ කෑම වේලාවෙහි ජල පහසුව ඇති තැනක හිඳ අත් සෝදාගෙන බත්මුල ලිහා මානවකයාට බත් අනුභව කරන්නයි කීහ. බොල! චණ්ඩාලය! මට බතෙන් කාරියක් නැතැයි කීය. බෝසතාණන් වහන්සේ යහපතැයි කියා බත්මුල ඉඳුල් නොකරම තමන්ට යැපෙන ප්‍රමාණයට වෙනත් කොළයක බහා මුල බැඳ පසෙක තබා අනුභව කොට පැන් බී සෝදන ලද අත් පා ඇතිව සහල්ද ඉතිරි බත් කොටසද ගෙන යමු තරුණය කියා මගට පිළිපන්නෝය. ඔවුහු දවස පුරාම ගොස් සවස් කාලයේ දෙදෙනාම එක් ජල පහසුව ඇති තැනක නා ගොඩට ආවාහුය.
බෝසතාණන් වහන්සේ පහසු තැනක හිඳ බත්මුල ලිහා මානවකයාගෙන් නොවිමසා අනුභව කරන්නට පටන් ගත්තේය. දවස පුරාම ඇවිද ගමන් විඩාවෙන් ක්ලාන්ත වූ මානවකයා සාගින්නෙන් පෙළෙන්නේ ඉදින් මට බත් දෙන්නේ නම් අනුභව කරන්නෙමියි බලමින් සිටියේය. අනිකාද කිසිවක් නොකියා අනුභව කෙළේමය. මානවකයා මේ සැඩොලා මට නොදීම සියල්ල අනුභව කරයි. පීඩා කොට එය ගෙන උඩින් ඇති ඉඳුල් බත් ඉවත දමා ඉතිරිවා අනුභව කරන්නට වටියි සිතුවේය. ඔහු එසේකොට ඉඳුල් බත් අනුභව කෙළේය. ඉක්බිති අනුභව කළ අවස්ථාවේදීම මොහුට මා විසින් ජාති කුල ගෝත්‍රයට නුසුදුසු ක්‍රියාවක් කරන ලදි. මවිසින් සැඩොලාගේ ඉඳුල් බත් කන ලදී යයි බලවත් විපිළිසර භාවයක් උපන්නේය. එවේලේම ලේ සහිත බත් ඔහුගේ මුවින් පිටවිය. හෙතෙම අල්පමාත්‍ර වූ කරුණක් නිසා මා විසින් මේ නුසුදුසු ක්‍රියාව කරන ලදී යයි උපන් බලවත් සෝකයෙන් වැළපෙමින්
තඤ්ච අප්පඤ්ච උච්ඡිට්ඨං තඤ්ච කිච්ඡෙන නොඅදා,
සො හං බ්‍රාහ්මණ ජාතිකො යං භුත්තං තම්පි උග්ගතං.
යන පළමු ගාථාව කීවේය.
ඒ බතද ස්වල්පය, ඒ ස්වල්ප බතද ඉඳුල්ය. ඒ මද වූ ඉඳුල් වූ බත දුකසේ දුන්නේය. (ලැබුණි) ඒ මම පිරිසිදු බමුණු කුල ඇත්තෙමි. මවිසින් කන ලද ඒ ආහාරය ද ලේත් සමග උඩට නැගී වමනය විය.
මේ එහි සංක්‍ෂේප අර්ථයි. යමක් මා විසින් අනුභව කරන ලද ද එයද අප්පං උච්ඡිට්ඨංතංච නො ටිකක් ඉඳුල්ය. එයද අපට ඒ සැඩොලා තමන්ගේ කැමැත්තෙන් තොරව ඉක්බිති වනාහි පෙළමින් කිච්ඡෙන අපහසුවෙන් දුන්නේය. සොහං ඒ මම පිරිසිදු බමුණෙක් හෙයින් මවිසින්, යං භුත්තං තම්පි යමක් අනුභව කරන ලදද එය ලේ සමග, උග්ගතන්ති වැමෑරියේය. වමනය විය.
මෙසේ මානවකයා වැළපී කිම දැන් මා විසින් මෙබඳු නුසුදුසු ක්‍රියාවක් කොට ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද? වනගතව කිසිවෙකුට නොපෙනී රහසිගතව පිළිසරණක් නැතිව මළේය.
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව දක්වා මහණෙනි! යම්සේ සතධම්ම මානවකයාට ඒ සැඩොලා ඉඳුල් කළ බත අනුභව කොට තමා විසින් යුතු නැති ආහාරය අනුභව කළ බැවින් සිනාවක් හෝ සතුටක් උපන්නේ නැත. මෙසේ යමෙක් මේ බුදු සසුනෙහි පැවිදි වූයේ නුසුදුසු පරිදි දිවි ගෙවන්නේ එසේ ලබන ලද සිවුපසය පරිභෝග කරයි නම් බුදුරජාණන් වහන්සේ පිළිකුල් කළ ගරහන ලද ජීවිත ඇතිව ජීවත් වූ බැවින් සිනාවක් හෝ සොම්නසක් උපදින්නේ නැතැයි වදාරා බුදුවී
එවං ධම්මං නිරං කත්‍වා යො අධම්මෙන ජීවති,
සතධම්මො ව ලාභෙන ලද්ධෙනපි න නන්‍දති
යන දෙවන ගාථාව වදාළ සේක.
එලෙසින් (ආජීව පාරිශුද්ධි සීල නම්) ධර්මය දුරුකොට යම් මහණෙක් අධර්මයෙන් ජීවත් වේද, හේ සතධම්ම බ්‍රාහ්මණයා මෙන් ලද අහරින් තුටු නොවේ. (දුකට පැමිණ)
එහි, ධම්මං යනු ආජීව පාරිශුද්ධි සීල ධර්මයයි. නිරං කත්‍වා යනු බැහැරකොට ඉවතලා, අධම්මෙන යනු විසිඑක් වැදෑරුම් නුසුදුසු දිවි පැවතුම් නමැති වැරදි ජීවන ක්‍රමයෙන් සත ධම්මො යනු ඔහුගේ නම, සන්ත ධම්මො යනුද පාඨයකි. නනන්‍දති යනු සතධම්ම මානවකයා සැඩොලා ඉඳුල් කළ බත් මා විසින් ලබන ලදැයි ඒ ලාභයෙන් සතුටු නොවෙන්නා සේ මේ ශාසනයේ පැවිදි වූ කුල පුත්‍රයා නුසුදුසු ලෙස ලබන ලද ලාභය අනුභව කරමින් සතුටු නොවෙයි. සන්තෝෂ නොවෙයි. ගැරහිය යුතු ජීවන ක්‍රමයෙන් ජීවත් වෙමියි, දොම්නසට පත් වූයේම වෙයි. ඒ නිසා නුසුදුසු විධියට දිවි ගෙවන්නාට සතධම්ම මානවකයාට මෙන් වනයට ගොස් අනාථව මරණයට පත්වීම උතුම්ය.