10. දුද්දද ජාතකය (180)
දුද්දදං දදමානානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සාමූහිකව දුන් දානයක් මුල් කරගෙන වදාළ සේක. සැවැත්නුවර වනාහි යහලු කෙළඹි පුත්රයෝ සම්මාදම් කොට සියලු පිරිකර සහිත දානයක් සූදානම්කොට බුදුරජාණන් වහන්සේ ප්රධාන භික්ෂු සංඝයාට ආරාධනා කොට සතියක් මහදන් දී සත්වෙනි දින සියලු පිරිකර පූජා කළහ. ඔවුන් අතුරෙන් පිරිසේ නායකයා බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙක සිට ස්වාමීනි! මේ දානයෙහි වැඩිපුර කැපවී ක්රියා කළ අයද සිටිති. ඒ සියලු දොනටම මේ දානය මහත්ඵල වේවායි දානමය පින පැවරුවේය. එවිට බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි, තොප වනාහි බුදුපාමොක් මහසඟනට දන් දී මෙසේ පිං පැවරීමෙන් මහත් කුශල කර්මයක් කරන ලදි. පෙර නුවණ ඇති ජනයාද දන් දී මෙසේම පිං පැමිණවූහයි වදාරා, ඒ උපාසකයා විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙනගෙන ගිහිගෙයි වාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව තවුස් පිරිසේ අනුශාසකයා වී හිමාල වනයෙහි කලක් වාසයකොට ලුනු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙමින් බරණැස් නුවරට පැමිණ රජ උයනෙහි වාසයකොට දෙවන දවසේ නුවර දොරටුව අසල ගමක පිරිවර සමග පිඬුසිඟා හැසිරුණෝය. මිනිස්සු දානය දුන්නාහුය. දෙවන දවසේ බරණැස් නුවර හැසිරුණෝය. මිනිස්සු සතුටින් පිළිගෙන භික්ෂාව දී සාමූහිකව සම්මාදම් එකතුකොට දන් පිළියෙල කොට තවුස් පිරිසට මහදන් පැවැත්වූහ. දන් දී අවසානයේ පිරිස් නායකයාද මෙසේම කියා මේ ක්රමයෙන්ම දානමය පින පැවරීය. බෝසතාණන් වහන්සේ ඇවැත්නි! සිතේ පැහැදීම ඇතිවිට දානය අල්පයයි සැලකීමක් නම් නැතැයි කියා අනුමෝදනා කරමින්
දුද්දදං දදමානානං දුක්කරං කම්මකුබ්බතං,
අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මං දුරන්නයො.
අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මං දුරන්නයො.
තස්මා සතඤ්ච අසතඤ්ච නානා හොති ඉතො ගති,
අසන්නො නිරයං යන්ති සන්තො සග්ගපරායණා
අසන්නො නිරයං යන්ති සන්තො සග්ගපරායණා
යන මේ ගාථාව කීවේය.
අසත්පුරුෂයෝ (හැමදෙනා විසින්ම නොකළ හැකි හෙයින්) දුද්දද නම් වූ දන් දෙන්නවුන්ද, දුෂ්කර වූ ක්රියා කරන්නවුන්ද අනුකරණය නො කෙරෙති. (එසේම) සත්පුරුෂයන්ගේ ස්වභාව සංඛ්යාත දානය (මෙබඳු ඵලවිපාක ඇතැයි නොදත හැකි වෙති. එහෙයින් සත්පුරුෂයන්ගේද, අසත්පුරුෂයන්ගේද මෙයින් මතු භවයෙහි ප්රතිසන්ධිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙති. සත්පුරුෂයෝ සර්ග පරායන වෙත්.
එහි, දුද්දදං යනු දානය නම් ලෝභය ආදිකොට ඇති කෙලෙස් දොස්වලින් යුතු අසත්පුරුෂයන් විසින් දීමට නොහැකිය. ඒ නිසා දුද්දද යයි කියනු ලැබේ. තං එය, දද්දමානානං දුක්කරං කම්ම කුබ්බතං යනු ඒ දානමය පිංකම සියලුදෙනා විසින් ක්රියාත්මක කිරීමට නොහැකි නිසා දුෂ්කර වූ ඒ දානමය ක්රියාව කරන්නවුන් අසන්තොති පණ්ඩිත නොවූ අය, බාලයෝ නානුකුබ්බන්ති යනු ඒ කර්මය අනුකරණය නොකරත්. සතං ධම්මො යනු නුවණ ඇති අයගේ ස්වභාවයයි. දානය සඳහා මෙය කියන ලදි. දුරන්නයො යනු දානඵලය සම්බන්ධයෙන් දැනගැනීමට අපහසු, මෙබඳු දානයාගේ මෙබඳු ඵලවිපාක වේයයි අවබෝධ කරගැනීමට අපහසු. තවද, දුරන්නයො යනු දුරධිගමො, මෝඩයන් විසින් දානයක් දී දානයෙහි ඵලවිපාකයක් නම් ලැබීමට නොහැකිය යන අර්ථයි. නානාහොති ඉතො ගති යනු මෙයින් චුතවී පරලොව යන්නවුන්ගේ පිළිසිඳ ගැනීම් නන් අයුරු වෙයි. අසන්තො නිරයං යන්ති යනු මෝඩ දුසිල් අය දන් නොදී සිල් නොරැක අපායට යත්, සන්තො සග්ගපරායණා යනු නුවණ ඇති අය දන් දී සිල් රැක, පෙහෙවස් වැස තුන් සුචරිත ධර්මයන් පුරා දෙව්ලොව යත්. මහත් සග සුව සැප අනුභව කරත් යනුයි.
මෙසේ බෝසතාණන් වහන්සේ දානානුමෝදනාව කොට වැසි හාරමස එහිම වාසයකොට වැසි ඉක්මුණු කල්හි හිමාල වනයට ගොස් ධ්යාන උපදවා නොපිරිහුණු ධ්යාන ඇත්තාහු බඹලොව උපන් සේක.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල තවුස් පිරිස මේ බුදුපිරිසයි. නායක තවුසා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
තෙවැනි කල්යාණ ධර්ම වර්ගය නිමියේය.
4. අසදිස වර්ගය
1. අසදිස ජාතකය (181)
ධනුග්ගහො අසදිසො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් උන්වහන්සේගේ මහභිනික්මන මුල්කරගෙන දේශනා කළ සේක. එක්දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහි රැස්ව භාග්යවතුන් වහන්සේගේ මහා නෙක්ඛම්ම පාරමිතාව වර්ණනා කරමින් වැඩ සිටියාහුය. එහි වැඩමකළ ශාස්තෲන් වහන්සේ, මහණෙනි! තථාගතයන් වහන්සේ දැන් පමණක් මහභිනික්මන් කළාහු නොවෙති. පෙරත් රජසැප හැරදමා (සේසත හැරදමා) නික්මුණාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. ඒ දරුවා සුවසේ උපන් බැවින්, නම් තබන දවසේ “අසදිස” කුමරායයි නම් කළාහුය. ඉක්බිති මොහු ඒ මේ අත දුවපැන හැසිරෙන කාලයේ තවත් පිං ඇති දරුවෙක් (සත්ත්වයෙක්) දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුද සුවසේ උපන් බැවින් නම් තබන දවසේ “බඹදත්” කුමරා යයි නම් කළාහුය. ඔවුන් දෙදෙනාගෙන් බෝසතාණන් වහන්සේ සොළොස් වයස් කාලයේ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි ත්රිවේදයද අටළොස් ශිල්පද ඉගෙනගෙන දුනු ශිල්පයෙහි අසමාන පුහුණුවක් ලබාගෙන බරණැසට පෙරළා පැමිණියේය. පිය මහරජතුමා අවසාන කාලයේ අසදිස කුමාරයාට රාජ්යය දී බඹදත් කුමරුට යුවරජකම දෙවයි කියා සිටියදී කලුරිය කෙළේය. පියා කලුරිය කළ කල්හි බෝසතාණන් වහන්සේ තමන්ට රජකම දෙද්දී මට රාජ්යයෙන් ඵලක් නැතැයි රජකම ප්රතික්ෂේප කළහ. ඒ නිසා බඹදත් කුමරු රාජ්යයෙන් අභිෂේක කළහ. බෝධිසත්ත්වයන් වහන්සේ මට කීර්තියෙන් ප්රයෝජනයක් නැතැයි කිසිවක් නොකැමැති වූ සේක. කණිටු සොහොයුරා රජ කරද්දී සාමාන්ය ස්වභාවයෙන්ම විසුවේය. රජතුමා ළඟින්ම ඇසුරු කරන්නෝ අසදිස කුමාරයා රජකම බලාපොරොත්තු වන්නේ යයි කියා රජු කෙරෙහි බෝධිසත්ත්වයන් බිඳවූහ. රජතුමාද ඔවුන්ගේ වචනය විශ්වාසකොට බිඳුණු සිත් ඇත්තේ මගේ සහෝදරයා අත්අඩංගුවට ගනිව් යයි මිනිසුන් යෙදවීය.