8. කච්ඡප ජාතකය (178)
ජනිත්තම්මෙ භවිත්තම්මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් මහා මාරිය (අභිවාතක) යෙන් මිදීමක් මුල්කරගෙන දේශනා කළ සේක. සැවැත්නුවර එක් කුලගෙයක මහාමාරිය රෝගය ඇතිවිය. දෙමාපියෝ පුතාට දරුව, මේ ගෙදර නොහැසිරෙන්න. බිත්තිය බිඳගෙන පලාගොස් යම්කිසි තැනකට ගොස් ජීවිතය රැකගන්න. පසුකලෙක මෙහි අවුත් අසවල් ස්ථානයේ ඇති මහත් නිදානය ගොඩගෙන විවාහවී සැපෙන් ජීවත් වන්නැයි කීහ. පුතා ඔවුන්ගේ කීම පිළිගෙන බිත්තිය බිඳ පලාගොස් තමන්ගේ රෝගය සංසිඳුනාට පසුව ආපසු අවුත් මහා නිධානය ගොඩගෙන ගිහි ගෙයි විසුවේය. ඔහු එක්දිනක් ගිතෙල් තෙල් ආදිය ද රැගෙන රෙදි පොරෝණාදියද ගෙන්වාගෙන දෙව්රම් වෙහෙරට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර කථාකොට තොපගේ නිවසෙහි මහාමාරිය රෝගය ඇතිවූ බව ඇසුවෙමි. කුමක්කොට එයින් මිදුනෙහිදැයි විචාළ සේක. හෙතෙම ඒ පුවත ප්‍රකාශ කෙළේය. එවිට බුදුරජාණන් වහන්සේ උපාසකය! පෙරත් සමහරු භයක් ඇතිවූ විට තමන් වසන තැනට ආසාකොට වෙන තැනකට නොගොස් මරණයට පැමිණියාහුය. වාසස්ථානයට ආසා නොකොට වෙනත් තැනකට ගිය අය ජීවිතය ලැබුවාහුයයි වදාරා සිටිවිට ඔහු විසින් අයදින ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගමක කුඹල් කර්මාන්තය කොට අඹුදරුවන් පෝෂණය කෙළේය. එකල බරණැස මහ ගඟ සමග එකට බැඳුණු ස්වාභාවික විලක් තිබුණේය. ඒ විල වතුර වැඩිවූ විට ගඟ සමග එකම ජලාශයක් විය. ජලය අඩු වූ විට වෙන් වෙයි. මාළුවෝ ද කැස්බෑවෝ ද වනාහි මේ අවුරුද්දේ හොඳින් වැසි ඇතිවන්නෝය. මේ වසරේ වැසි නොවන්නේයයි දනිති. ඉක්බිති ඒ විලෙහි උපන් මස් කැස්බෑවෝ මේ අවුරුදු කාලයේ වැස්ස නැතිවන බව දැනගෙන ජලය ඒකාබද්ධ වන කාලයේදීම ඒ විලෙන් නික්මී ගඟට ගියාහුය. එක් කැස්බෑවෙක් මේ විල මගේ උපන් ස්ථානයයි. වැඩුණු තැනයි. මව්පියන් වාසය කළ තැනයි කියා මෙය අත්හැර යන්නට නොහැකි වෙමියි කියා ගඟට නොගියේය. ඉක්බිති නියඟය පැමිණිවිට විලෙහි දිය සිඳුණේය. ඒ කැස්බෑවා බෝසතාණන් වහන්සේ මැටි ගන්නා ස්ථානයේ බිම හාරා පිවිසියේය. බෝසතාණෝ මැටි ගන්නෙමියි එතනට ගොස් මහ උදැල්ලකින් බිම හාරන්නේ කැස්බෑවාගේ පිට බිඳී මැටිපිඬක් මෙන් ඌ උදැල්ලත් සමග උඩට ගොඩබිම හෙළීය. කැස්බෑවා වේදනාවට පත්ව මම වසන තැන ගැන ආසාව අත්හැරිය නොහැකි වූ නිසා මෙබඳු විනාශයකට පැමිණියෙමියි කියා වැළපෙමින්,
ජනිත්තම්මෙ භාවිත්තම්මෙ ඉති පංකෙ අවස්සයිං,
තං මං පංකො අජ්ඣභවි යථා දුබ්බලකං තථා,
තං තං වදාමි භග්ගව! සුණොහි වචනං මම.
ගාමෙ වා යදි වාරඤ්ඤෙ සුඛං යත්‍රාධිගච්ඡති,
තං ජනිත්තං භවිත්තං ච පුරිසස්ස පජානතො,
යම්හි ජීවෙ තම්හි ගච්ඡෙ නනිකෙත හතො සියා.
යන මේ ගාථා කීවේය.
“මාගේ උපන් බිමය කියාද, වැඩුණු බිමය කියාද මඩෙහි වැද හොත්තෙමි. ඒ මඩ දුර්වල වූවෙකු විනාශයට පමුණුවන්නේ යම්සේද එසේම මා විනාශයට පැමිණවීය. භාර්ගවය! එහෙයින් තට කියමි. මාගේ වචන අසව.”“ගමෙහි වේවයි ආරණ්‍යයෙහි වේවයි යම් තැනෙක්හි සුව පැමිණියේද ඒ ස්ථානය කරුණු දන්නා වූ පුරුෂයාට උපන් තැනද වැඩුණු තැනද වේ. යම් තැනෙක්හි ජීවත්විය හැක්කේද එතැනට යන්නේය. වසන තැන නැති වූයේ නොවන්නේය.”
එහි, ජනිත්තම්මෙ භවිත්තම්මෙ යනු මේ මාගේ උපන් ස්ථානයයි. ඉති පංකෙ අවස්සයිං යනු මේ කාරණයෙන් මම මේ මඩෙහි හොත්තෙමි. වාසය කළෙමියි යන අර්ථයි. අජ්ඣභවි යනු අධි අභවි විනාශයට පැමිණවීය. භග්ගවා යනු කුඹල්කරුට අමතයි. මේ භග්ගව යන වචනය කුඹල්කරුවන්ට නම් වශයෙන් ගෝත්‍ර වශයෙන් පැනවීමයි. සුඛං යනු කයේ හා සිතිවිලිවල ආස්වාදයයි. තං ජනිත්තං භවිත්තඤ්ච යනු ඒ උපන් තැන හා වැඩුණු ස්ථානයද ජානිතං භාවිතං යනුවෙන් දීර්ඝ වශයෙන්ද පාඨයක් ඇත. එම අර්ථයමයි. පජානකො යනු අර්ථා අනර්ථ, කාරණා අකාරණා දන්නහුගේ, න භිකෙත හතොසියා යනු වාසස්ථානයට ආසාකොට වෙන තැනකට නොගොස් වාසස්ථානයෙන් නැසුනේ මෙබඳු මරණ දුකකට පැමිණි කෙනෙක් නො වන්නේය.
මෙසේ කැස්බෑවා බෝධිසත්ත්වයන් වහන්සේ සමග කථා කරමින්ම කලුරිය කෙළේය. බෝසතාණන් වහන්සේ කැස්බෑවා රැගෙන සියලු ගම්වාසීන් රැස්කරවා ඒ මිනිසුන්ට ඔවදන් දෙමින් මෙසේ කී සේක. බලන්න! මේ කැස්බෑවා දෙස. මේ තෙමේ සෙසු මසුන් කැස්බෑවන් මහ මඟට යන අවස්ථාවෙහි තමන්ගේ වාසස්ථානයෙහි ආලය අත්හැරීමට නොහැකිව ඔවුන් සමග නොගොස් මැටි ගොඩක් තුළට පිවිස හුන්නේය. ඉක්බිති මම මැටි ගන්නේ මහ උදැල්ලකින් මොහුගේ පිට බිඳී මැටිපිඬක් මෙන් ඌ ගොඩට හෙලුවෙමි. මේ තෙමේ තමන් කළ ක්‍රියාව සිහිකොට ගාථා දෙකක් කියා වැළපී කලුරිය කෙළේය. මෙසේ මොහු තමන්ගේ වාසස්ථානයට ආසාකොට මරණයට පැමිණියේය. ඒ නිසා නුඹලාත් මේ කැස්බෑවා මෙන් නොවිය යුතුයි. මෙතැන් පටන් මාගේ රූපය, මාගේ ශබ්දය, මාගේ ගන්‍ධය, මාගේ රසය, මාගේ ස්පර්ශය, මගේ පුතා, මගේ දුව, මගේ දාස දාසීන් යයි වෙන්කොට රන්රුවන් තෘෂ්ණා වශයෙන් හෝ පරිභෝග කළ යුතු දෑ වශයෙන් හෝ නොගනිව්. මේ එක් එක් සත්ත්වයාම තුන් භවයෙහි සැරිසරන්නේ යයි මෙසේ බුදුවරයෙකුගේ ලීලාවෙන් මහජනයාට අවවාද දුන් සේක. ඒ අවවාද සියලු දඹදිව පැතිරී හත්සියයක් අවුරුදු අවවාද වශයෙන් පැවතියේ යයි කී සේක. මහජනයා බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා දානාදී පිංකම්කොට දෙව්ලොව උපන්හ. බෝසතාණන් වහන්සේ ද එසේම පිංකම්කොට දෙව්ලොව උපන් සේක.