7. තින්දුක ජාතකය (177)
ධනුහත්ථකලාපෙහි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක් උන්වහන්සේගේ ප්රඥා පාරමිතාව මුල් කරගෙන දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ මහාබෝධි ජාතකයෙහි මෙන්ද උම්මග්ග ජාතකයෙහි මෙන්ද තමන් වහන්සේ ප්රඥාවෙන් හා උපායශීලීව ක්රියා කෙළේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ ක්රියා කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ වඳුරු ආත්මයෙහි ඉපිද අසූදහසක් වඳුරන් පිරිවරාගෙන හිමාල වනයෙහි වාසය කළ සේක. ඒ අසල එක් පිටිසර ගමක් විය. සමහර කලෙක මිනිස්සු වාසය කරති. සමහර කාලයක නොවසති. ඒ ගම මැද අතුපතර විහිදුනු මිහිරි ගෙඩි ඇති එක් තිඹිරි ගසක් ඇත. වඳුරු සමූහයා මිනිසුන් නොවසන කාලයෙහි අවුත් එහි ගෙඩි අනුභව කරති. ඉක්බිති ගෙඩි හටගන්නා අනිත් වාරයෙහි ඒ ගම ජනාවාස විය. බට දඬුවලින් වටකරන ලද්දේ දොර ඇති නිවාස තනති. ඒ ගසද ඵල බරින් නැමුණු අතු ඇති විය. වඳුරු සමූහයා අපි පෙර අසවල් ගමෙහි තිඹිරි ගෙඩි කෑවෙමු. ගසේ ගෙඩි හටගෙන තිබේද? මිනිස්සු පදිංචිව සිටිත්ද? නොසිටිත්දැයි මෙසේ සිතූහ. මෙසේ සිතා යව. මේ තොරතුරු දැන එවයි එක් වඳුරෙකු යැවූහ. ඒ වඳුරා ගොස් ගසේ ගෙඩි හටගෙන ඇති බවත්, ගමෙහිද මිනිසුන් බහුලව ඇති බවත් දැනගෙන අවුත් දැන්වීය.
වඳුරෝ තිඹිරි ගෙඩි හටගෙන ඇති බැව් අසා මිහිරි තිඹිරි ගෙඩි කන්නෙමුයි උනන්දු වූවාහු බොහෝ වඳුරෝ වඳුරු නායකයාට ඒ බව සැල කළාහුය. වඳුරු නායකයා ගම ජනාවාසද නැද්දැයි විචාළේය. නායකතුමනි! එය ජනාවාස වී ඇත. “එසේනම් එහි යා යුතුයි. මිනිස්සු බොහෝ මායම් දනිති” යනුවෙන් නායක වඳුරා කීය. නායකතුමනි! මිනිසුන් නිදාගන්නා වේලාවේ මධ්යම රාත්රියෙහි ගොස් කන්නෙමුයි කීහ. බොහෝ වඳුරෝ ගොස් නායක වඳුරා කැමති කරවාගෙන හිමාලයෙන් බැස ඒ ගමට නුදුරෙහි මිනිසුන් නිදාගන්නා වේලාව බලාපොරොත්තු වෙමින් මහ ගල්තලාව මත නිදා මැදියම් රැයෙහි මිනිසුන් නින්දට ගියකල්හි ගසට නැග ගෙඩි කෑවාහුය. ඉක්බිති එක් පුරුෂයෙක් ශරීරකෘත්යය (වැසිකිළි යාම) සඳහා ගෙයින් නික්මී ගම මැදට ගියේ වඳුරන් දැක මිනිසුන්ට කීවේය. බොහෝ මිනිස්සු දුනු හියවුරෙන් සන්නද්ධ වී, නොයෙක් ආයුධ ගත් අත් ඇතිව ගල්කැට දඬුමුගුරු ආදිය රැගෙන රැය පහන් වූ විට වඳුරන් ටික අල්ලා ගන්නෙමුයි ගස වටකරගෙන සිටියාහුය. අසූදහසක් වඳුරෝ මිනිසුන් දැක මරණ බියෙන් තැතිගෙන අපට වඳුරු නායක හැර වෙනත් පිළිසරණක් නැතැයි නායකයා සමීපයට ගොස්,
ධනුහත්ථ කලාපෙහි නෙත්තිංස වරධාරිහි,
සමන්තා පරිකිණ්ණම්හා කථං මොක්ඛො භවිස්සති.
සමන්තා පරිකිණ්ණම්හා කථං මොක්ඛො භවිස්සති.
යන පළමු ගාථාව කීවාහුය.
“දුනු හියවුරු ගත් දුනුවායන් විසින්ද, උතුම් කඩුගත් යෝධයන් විසින්ද හාත්පසින් පිරිවරන ලදුම්හ. මෙයින් මිදීමක් නම් කෙසේ වන්නේද?”
එහි, ධනුහත්ථකලාපෙහි යනු දුනු හියවුරු ගත් ඇති අය විසින් දුනු සහ ඊතල හියවුරු ගෙන සිටියවුන් විසිර යන අර්ථයි. නෙත්තිංස වරධාරීහි යනු නෙත්තිංසා යනු කඩුයි. උතුම් කඩු දරන්නන් විසින් යන අර්ථයි. පරිකණ්ණම්හා යනු පිරිවරණ ලදුම්හ. කථං යනු කිසියම් උපායකින් අපට මොක්ඛො භවිස්සති විදීමක් වන්නේද?
ඔවුන්ගේ කථාව අසා වඳුරු නායකයා බිය නොවන්න! මිනිසුන්ට නම් වැඩ අධිකයි. අද ද මැදියම් රැය තවම පවතී. අපව මරන්නෙමුයි සිටියවුන්ට මේ ක්රියාවට බාධාවන අන්දමේ වෙනත් ක්රියාවක් උපදවන්නේ නම් යෙහෙකැයි සිතා වඳුරන් සනසා
අප්පෙව බහුකිච්චානං අත්ථො ජායෙථ කොචිනං,
අත්ථි රුක්ඛස්ස අච්ඡින්නං ඛජ්ජතඤ්ඤෙව තින්දුකං.
අත්ථි රුක්ඛස්ස අච්ඡින්නං ඛජ්ජතඤ්ඤෙව තින්දුකං.
යන දෙවන ගාථාව කීවේය.
“බොහෝ වැඩපල ඇති අයට කිසියම් අර්ථයෙක් උපන්නේ නම් යෙහෙක, තිඹිරි ගසෙහි ගෙඩි නොකැඩූ තැන් ඇත. තිඹිරිගෙඩි කන්නට ලැබේවා!”
එහි නායං යනු නිපාත මාත්රයකි. අප්පෙව බහුකිච්චානං මිනිසුන්ට වෙනත්, කොචි අත්ථො කටයුත්තක් උපදින්නේ නම් මැනවි යන මෙය මෙහි අර්ථයයි. අත්ථි රුක්ඛස්ස අච්චින්නං යනු මේ ගසේ ගෙඩි එහාට මෙහාට සෙලවීම් වශයෙන් නොඩකන ලද බොහෝ තැන් ඇත. ඛජ්ජතඤ්ඤෙව තින්දුකං යනු තිඹිරි ගෙඩි කනු ලබාවා. තොපි ඇතිතරම් ගෙඩි කනු. පහරදෙන කාලයේ අපි දැන ගන්නෙමු.
මෙසේ මහා සත්ත්වයා වඳුරු සමූහයා සැනසුවේය. එපමණකින් ආස්වාසයක්වත් නොලබන ඒ සියලු දෙනාම පැලුණු හදවතින් මරණයට පැමිණෙන්නාහුයයි බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ වඳුරු සමූහයා සනසා සියලු වඳුරන් එක්රැස් වෙව් යයි කීහ. එක්රැස් වෙමින් බලනවිට ඔහුගේ බෑණා වන සේනක නම් වඳුරා නොදැක වඳුරු සමූහයාට සේනක නැතැයි කීවාහුය. ඉදින් සේනක නොපැමිණියා නම් තෙපි බිය නොවව්. දැන් තොපට ඔහු යහපතක් කරන්නේයයි කීය. සේනකයාද වඳුරු සමූහයා එන අවස්ථාවෙහි නිදා පසුව පිබිදී කිසිවෙකු නොදැක ඔවුන් ආ මග එමින් මිනිසුන් දැක වඳුරු සමූහයාට භයක් උපන්නේ යයි දැන ගමේ කෙළවර එක් ගෙයක ගිනිදල්වා කපු කටින මහලු ස්ත්රියක ළඟට ගොස් කෙතක යන ගම් දරුවෙකු මෙන් එක් ගිනි පෙණෙල්ලක් ගෙන සුළඟ ඉහළට හමනවිට ගමට ගිනි දැල්වීය. මිනිස්සු වඳුරන් හැර ගිනි නිවීමට ගියහ. වඳුරෝ පලා යද්දී සේනක සඳහාද එක් එක් ඵලය බැගින් රැගෙනම පලා ගියාහුය.