6. කළායමුට්ඨි ජාතකය (176)
බාලො වතායං සාඛගොචරො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් කොසොල් රජතුමා මුල්කරගෙන දේශනා කළ සේක. එක් වැසි කාලයක පසේනදී කොසොල් මහරජතුමාගේ පසල් දනව්වක කැළඹීමක් ඇතිවිය. එහි සිටියා වූ යෝධයෝ (ආරක්ෂක භටයෝ) දෙතුන්වරක් යුද කළත් පසල්දනව් වැසියන් පාලනය කිරීමට, යටත් කිරීමට නොහැකිව රජතුමාට හසුනක් යැවූහ. රජතුමා නොකල්හි වැස්ස පවතිද්දීම නික්මී දෙව්රම් වෙහෙර සමීපයෙහි කඳවුරු බැඳ මේ කාලයෙහි යුද කටයුතු සඳහා යන්නේ දියකදුරු ආදියෙහි දිය පිරි මාර්ගය අවහිරව ඇත. බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙන්නෙමි. උන්වහන්සේ මහරජතුමනි! කොහි යන්නෙහිදැයි මගෙන් විමසන සේක. එවිට මම මේ කාරණය කියන්නෙමි. බුදුරජාණන් වහන්සේ වනාහි පරලොව අභිවෘද්ධිය සඳහා පමණක් මට අනුග්රහ නොදක්වන සේක. මෙළොව අභිවෘද්ධිය සඳහාද අනුග්රහ දක්වන සේක. ඒ නිසා ඉදින් මාගේ යාමෙන් අවැඩක් වන්නේ නම් මහරජ! අකාලයයි කියති. ඉදින් වනාහි වැඩක් වන්නේ නම් නිහඬ වන සේක යනුවෙන් සිතීය. රජතුමා දෙව්රමට ගොස් ශාස්තෲන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳගත්තේය. බුදුරජාණන් වහන්සේ මහරජ! ඔබ කොහිසිට මේ මහදවල් ආවෙහිද? ස්වාමීනි! මම පසල් දනව්වක කැළඹීමක් සංසිඳුවන්නට යන ගමන් ඔබවහන්සේට වැඳ නමස්කාර කොට යන්නට ආවෙමියි කීය. එවිට උන්වහන්සේ මහරජ! පෙරත් රජවරු සේනා සමග විශේෂ ගමන් යනවිට නුවණ ඇති අයගේ කීම අසා නොකල්හි ගමන් නොගියාහුයයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර පෑ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ රජුට අරථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන හැම කාර්යයටම සම්බන්ධ ඇමතිවරයා වූ සේක. ඉක්බිති රජුගේ පසල් දනව්වක් කිපුණු කල්හි ප්රත්යන්ත යෝධයෝ රජුට හසුන්පත් යැවූහ. රජතුමා වැසිකල්හි නික්මී උයනෙහි කඳවුරු බැන්දේය. බෝසතාණන් වහන්සේ රජු සමීපයේ සිටි සේක. ඒ අවස්ථාවෙහි අශ්වයන්ට කළු මෑ ඇට පොඟවා ගෙනවුත් ඔරුවක දැමූහ. උයනෙහි වඳුරන් අතුරෙන් එක් වඳුරෙක් ගසින් බැස එයින් මෑ ඇට ගෙන මුඛයෙහි පුරවාගෙන අත්වලිනුත් ගෙන උඩ පැන ගසෙහි හිඳ කන්නට පටන් ගත්තේය. ඉක්බිති කනු ලබන්නා වූ මොහුගේ අතින් එක් මෑ ඇටයක් බිම වැටුනේය. වඳුරා කටින්ද අත්වලින්ද ගන්නා ලද සියලු මුංඇට ඉවත විසිකර ගසින් බැස ඒ මෑඇටයටම සොයන්නේ ඒ මෑ ඇටය නොදැකම නැවත ගසට නැගී නඩු දහසක් පැරදුනු එකකු මෙන් සෝක කරමින් දුර්මුඛව ගසේ අත්තෙහි හිඳ ගත්තේය. රජතුමා වඳුරාගේ ක්රියාව දැක බෝධිසත්ත්වයන් වහන්සේ අමතා මිත්රය! වඳුරා විසින් මේ කෙළේ කුමක්දැයි විචාළේය. බෝධිසත්ත්වයන් වහන්සේ මහරජ! බොහෝ දේ ගැන නොබලා අල්ප දේ ගැන බලා බුද්ධිය අඩු බාලයෝ මෙබඳු දේ කරන්නෝ යයි කියා
බාලො වතාය ධුම සාඛ ගොචරො, පඤ්ඤා ජනින්ද! නයිමස්ස විජ්ජ ති,
කළාය මුට්ඨිං අවකිරිය කෙවලං, එකං කළායං පතිතං ගවෙසතී.
කළාය මුට්ඨිං අවකිරිය කෙවලං, එකං කළායං පතිතං ගවෙසතී.
යන පළමු ගාථාව කීහ.
“ජන නායකයාණෙනි! ගස් අතුවල හැසිරෙන මේ වඳුරා ඉඳුරාම මෝඩයෙකි. මොහුට නුවණ නැත. කළු මෑ ඇට මිට බිම හෙළා බිම වැටුණු එකම මෑ ඇටය සොයයි.”
එහි දූමසාඛ ගොචරො යනු වඳුරාය. ඌ වනාහි ගස්වල අතුවල ඇති දෑ ආහාරයට ගනියි. යම්තාක් මොහුගේ ආහාර සැරිසරන තැන්වල ඇති දේවලය. ඒ නිසා දූමසාඛ ගෝචර යයි කියනු ලැබේ. ජනින්ද යනු රජුට අමතයි. රජතුමා වනාහි පරම ඉසුරු බැවින් ජනයාගේ අධිපතියා නිසා ජනින්ද නම් වේ. කළාය මුට්ඨිං අවකිරියාති විසුරුවා, කෙවලන්ති සියල්ල, ගවෙසති යනු බිම වැටුණු එකම මෑඇටය සොයයි යනුයි.
මෙසේ කියා නැවත බෝධිසත්ත්වයන් වහන්සේ රජුට අමතමින්
එව මෙව මයං රාජ! යෙ චඤ්ඤෙ අතිලොභිනො,
අප්පෙන බහුජිය්යම කළායෙනෙව වානරො.
අප්පෙන බහුජිය්යම කළායෙනෙව වානරො.
යන දෙවන ගාථාව කීහ.
“මහරජ! එපරිද්දෙන්ම දැඩි ලෝභී වූ අපිද යම් අනෙක් කෙනෙක්දැයි යන සියල්ලෝම මෑ ඇට මිටින් පැරදුණු වඳුරා මෙන් බෙහෙවින් පිරිහෙමු.”
මේ එහි කෙටි අරුතයි. මහරජ, එවමෙව මයඤ්ච අඤ්ඤෙච එසේම අපි ද අන්යයෝද ලෝභයෙන් මඩනා ලද සියලු ජනයා, අප්පෙන බහුං ජිය්යාව අපි වනාහි දැන් නොකල්හි වැසි සමයේ මගෙහි ස්වල්ප ප්රයෝජනයකට යන්නාහු බොහෝ ප්රයෝජනයෙන් පිරිහෙමු. කළායෙනෙව වානරො යන මේ වඳුරා එක් මෑ ඇටයක් සොයමින් එක් මෑ ඇටයක් නිසා සියලු මෑවලින් පිරිහුණේ යම්සේද, එසේම අපිද නොකල්හි දියකදුරු ආදිය ජලයෙන් පිරුණු කල්හි යාමෙන් ස්වල්පමාත්ර වූ ප්රයෝජනයක් සොයමින් බොහෝ ඇත් වාහන, අස් වාහන, මෙන්ම බලසේනාවෙන්ද පිරිහෙන්නෙමු. ඒ නිසා නොකල්හි යන්නට නොවටින්නේ යයි රජුට ඔවදන් දුන් සේක.