5. ආදිච්චුපට්ඨාන ජාතකය (175)
සබ්බෙසු කිර භූතෙසු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුහක (බොරු සිල් පෙන්වන) භික්ෂුවක අරබයා දේශනා කළ සේක. කථා වස්තුව යට (මුලින්) කියන ලද පරිදිමය.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපද වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥාද සමාපත්තිද උපදවාගෙන මහත් පිරිවර ඇතිව නායක ශාස්තෲවරයා වී හිමාල වනයෙහි වාසය කළ සේක. හෙතෙම එහි බොහෝ කාලයක් වාසයකොට ලුනුඇඹුල් සෙවීම පිණිස පර්වතයෙන් බැස පසල් දනව්වක එක් ගමක් ඇසුරුකොට පන්සලක වාසයට එළඹි සේක. ඉක්බිති එක් කෑදර වඳුරෙක් තවුස් පිරිස පිඬු සිඟීමට ගියකල්හි අසපුවට අවුත් සෙවිලිකොට ඇති තණකොළ ගලවා දමයි. පැන් කළවල ජලය ඉවත දමයි. පැන් කෙණ්ඩිය බිඳ දමයි. ගිනිහල්ගෙයි මලපහ කරයි. තාපසවරු වස් වැස දැන් හිමාල වනය මල්ගෙඩිවලින් සමෘද්ධිවත්ය. සිත් අලවන්නේය. එහිම යන්නෙමුයි, පසල් දනව්වෙහි වැසියන්ගෙන් විමසූහ. මිනිස්සු, ස්වාමීනි! හෙට අපි භික්ෂාව ගෙන අසපුවට එන්නෙමු. එය අනුභවකොට යන්නැයි කියා දෙවන දවසේ බොහෝ කන බොන දෑ රැගෙන එහි ගියාහුය. එය දැය ඒ වඳුරා කුහක බව පෙන්වා මිනිසුන් සිත් දිනාගෙන මටද කෑ යුතු බොජුන් ගෙන්වා ගන්නෙමියි සිතුවේය. හෙතෙම තපස් රකින්නෙකු මෙන් සිල් ඇත්තෙකු මෙන් පෙන්වා තවුසන්ගේ නුදුරෙහි හිරු දෙවියන්ට (සූර්යයාට) වඳිමින් සිටියේය. මිනිස්සු වඳුරා දැක සිල්වතුන් ළඟ වසන්නෝ සිල්වන්ත යයි කියා,
සබ්බෙසු කිර භූතෙසු සන්ති සීල සමාහිතො,
පස්ස සාඛාමිගං ජම්මං ආදිච්ච මුප තිට්ඨති.
පස්ස සාඛාමිගං ජම්මං ආදිච්ච මුප තිට්ඨති.
යන පළමු ගාථාව කීවාහුය.
“සියලු සත්ත්වයන් කෙරෙහි සිල්වත් එකඟ සිත් ඇත්තෝ සිටිත්ලු. හීන වූ ගති ඇති වඳුරා බලව! වඳුරා සූර්යයා වඳිමින් සිටියි.”
එහි, සන්ති සීල සමාහිතා යනු සීලයෙන් යුක්ත වූවෝ විද්යමාන වෙත්. සිල්වත්හු ද තැන්පත් සිත් ඇත්තෝද එකඟ සිත් වැන්නෝ ද විද්යමාන වෙත් යන අර්ථයි. ජම්මං යනු පහත්, ලාමක, ආදිච්චමුපතිට්ඨති යනු හිරුට වඳිමින් සිටියි.
මෙසේ ඒ මිනිසුන් වඳුරාගේ ගුණ කියනු දැක බෝසතාණන් වහන්සේ තෙපි මේ කපටි වඳුරාගේ සීලාචාරකම නොදැන පැහැදිය යුතු තැනම පැහැදුනේ යයි කියා
නාස්ස සීලං විජානාථ අනඤ්ඤාය පසංසථ,
අග්ගිහුත්තඤ්ච ඌහන්තං දෙව ච භින්නං කමණ්ඩලූ.
අග්ගිහුත්තඤ්ච ඌහන්තං දෙව ච භින්නං කමණ්ඩලූ.
යන දෙවන ගාථාව කීවේය.
“මොහුගේ සීලය නොදන්නහුය. නොදැන ප්රශංසා කරන්නාහුය. වඳුරා විසින් ගිනි දෙවියා පුදන කෙණෙස්ස ද වර්චසින් කිලිටි කරන ලදි. කෙණ්ඩි දෙකද බිඳින ලදි.”
එහි, අනඤ්ඤාය යනු නොදැන, ඌහන්තං යනු මේ පවිටු වඳුරා විසින් කිලිටි කරන ලද, කමණ්ඩලූ යනු කෙණ්ඩිය ද්වෙ ච කුණ්ඩිකා තෙන පැන් කෙණ්ඩි දෙක ද ඔහු විසින් භින්නාති බිඳින ලදැයි අගුණ කීහ.
මිනිස්සු වඳුරාගේ කුහක බව දැන මැටිකැට හා කෝටුවලින් තලා පලවා හැර තවුස් පිරිසට භික්ෂාව දුන්නාහුය. සෘෂිවරුද හිමාල වනයටම ගොස් නොපිරිහුණු ධ්යාන ඇත්තාහු බඹලොව උපන්නාහුය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා මේ කුහක භික්ෂුවයි. තවුස් පිරිස බුදුපිරිසයි. නායක තවුසා නම් මම ම වූවෙමි යි වදාළ සේක.
6. කළායමුට්ඨි ජාතකය (176)
බාලො වතායං සාඛගොචරො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් කොසොල් රජතුමා මුල්කරගෙන දේශනා කළ සේක. එක් වැසි කාලයක පසේනදී කොසොල් මහරජතුමාගේ පසල් දනව්වක කැළඹීමක් ඇතිවිය. එහි සිටියා වූ යෝධයෝ (ආරක්ෂක භටයෝ) දෙතුන්වරක් යුද කළත් පසල්දනව් වැසියන් පාලනය කිරීමට, යටත් කිරීමට නොහැකිව රජතුමාට හසුනක් යැවූහ. රජතුමා නොකල්හි වැස්ස පවතිද්දීම නික්මී දෙව්රම් වෙහෙර සමීපයෙහි කඳවුරු බැඳ මේ කාලයෙහි යුද කටයුතු සඳහා යන්නේ දියකදුරු ආදියෙහි දිය පිරි මාර්ගය අවහිරව ඇත. බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙන්නෙමි. උන්වහන්සේ මහරජතුමනි! කොහි යන්නෙහිදැයි මගෙන් විමසන සේක. එවිට මම මේ කාරණය කියන්නෙමි. බුදුරජාණන් වහන්සේ වනාහි පරලොව අභිවෘද්ධිය සඳහා පමණක් මට අනුග්රහ නොදක්වන සේක. මෙළොව අභිවෘද්ධිය සඳහාද අනුග්රහ දක්වන සේක. ඒ නිසා ඉදින් මාගේ යාමෙන් අවැඩක් වන්නේ නම් මහරජ! අකාලයයි කියති. ඉදින් වනාහි වැඩක් වන්නේ නම් නිහඬ වන සේක යනුවෙන් සිතීය. රජතුමා දෙව්රමට ගොස් ශාස්තෲන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳගත්තේය. බුදුරජාණන් වහන්සේ මහරජ! ඔබ කොහිසිට මේ මහදවල් ආවෙහිද? ස්වාමීනි! මම පසල් දනව්වක කැළඹීමක් සංසිඳුවන්නට යන ගමන් ඔබවහන්සේට වැඳ නමස්කාර කොට යන්නට ආවෙමියි කීය. එවිට උන්වහන්සේ මහරජ! පෙරත් රජවරු සේනා සමග විශේෂ ගමන් යනවිට නුවණ ඇති අයගේ කීම අසා නොකල්හි ගමන් නොගියාහුයයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර පෑ සේක.