4. දුබ්භිය මක්කට ජාතකය (174)
අදම්හ තෙ වාරි බහූතරූපං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එක්දිනක් දම් සභාවෙහි භික්ෂූන් වහන්සේලා දෙව්දත් තෙරුන්ගේ කෙළෙහිගුණ නොදත්, මිත්‍රද්‍රෝහී භාවය කියමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ, මහණෙනි! දේවදත්ත අකෘතඥ මිත්‍රද්‍රෝහී වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් මෙබඳු ස්වභාව වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසී රට එක්තරා ගක බමුණු කුලයක ඉපිද වැඩිවියට පැමිණියාහු ගෘහ ජීවිතයට පත්වූහ. එකල වනාහි කසී රටෙහි මහමග අසල තිරිසනුන්ට බැසිය නොහැකි එක් ගැඹුරු ළිඳක් ඇත. මගට පිවිසෙන පිං කැමති අය දිග ලණුවක් යෙදූ කලයකින් වතුර ඇද එක් ඔරුවකට පුරවා තිරිසන්ගත සතුන්ට වතුර බොන්නට දෙති. එහි හාත්පස මහ වනයක් ඇත. එහි බොහෝ වඳුරෝ වාසය කරත්. ඉක්බිති ඒ මාර්ගයෙහි දෙතුන්දිනක් මිනිස් සංචාරය නතර විය. තිරිසන් සත්තු ජලය නොලැබූහ. පිපාසයෙන් පෙළුණු එක් වඳුරෙක් ජලය සොයමින් ළිඳ සමීපයෙහි හැසිරෙයි. බෝසතාණන් වහන්සේ කිසියම් කටයුත්තක් සඳහා ඒ මගට පිවිස එහි යන්නාහු පැන් පිරිසිදුකර පානයකොට අත් පා සෝදාගෙන සිටින විට ඒ වඳුරා දුටු සේක. ඉක්බිති වඳුරාට දිය පිපාස බව දැන පැන් ඇද ඔරුවෙහි දමා දුන් සේක. පැන් දී විඩා සංසිඳුවා ගැනීම සදහා එක් ගසක් මුල නිදා ගත්තේය. වඳුරා පැන් බී නුදුරෙහි හිඳගෙන විහිලු කරමින් බෝසතාණන් වහන්සේට පීඩා කරවීය. බෝසතාණන් වහන්සේ වඳුරාගේ ඒ ක්‍රියාව දැක එම්බල දුෂ්ට වානරය! පිපාසයෙන් ක්ලාන්ත වූ තට මම බොහෝ පැන් දුන්නෙමි. දැන් නුඹ මට මුඛ විකාර, විහිලු කරන්නෙහිද? අහෝ පවිටාට කළ උපකාරය නිරර්ථක යයි කියා,
අදම්හ තෙ වාරි බහූතරූපං, සම්මාභිතත්තස්ස පිපාසිතස්ස,
සොදානි පීත්වාන කිකිං කරොසි, අසංගමො පාපජනෙන සෙය්යො.
සොදානි පීත්වාන කිකිං කරොසි, අසංගමො පාපජනෙන සෙය්යො.
යන පළමු ගාථාව කී සේක.
“හිරු රැසින් තැවී පිපාසිත වූ නුඹට බොහෝ ජලය දුන්නෙමි. ඒ නුඹ ජලය බී දැන් කිං කිං වඳුරු හඬ කරන්නෙහිය. පාප ජනයන් හා එක් නොවීම ශ්‍රේෂ්ඨයි.”
එහි, සොදාති පීත්වානන කිකිං කරොසි යනු ඒ නුඹ දැන් මා විසින් දෙන ලද පැන් බී මුඛ විකාර කරමින් කිකී යන ශබ්ද කරන්නෙහිද? අසංගමො පාප ජනෙන සෙය්යො යනු පව්කාරයා සමග එක්වීම උතුම් නොවේ. එක් නොවීම ශ්‍රේෂ්ඨයි.
ඒ අසා මිත්‍රද්‍රෝහී වඳුරා මෙපමණකින්ම ඒ ක්‍රියාව නිමවී යයි නුඹ සිතුවෙහිද? දැන් නුඹේ හිසෙහි වර්චස හෙළා යන්නෙමියි කියා
කො තෙ සුතො වා දිට්ඨො වා සීලවා නාම මක්කටො,
ඉදානි ඛො තං ඌහච්ච අසමාක ධම්මතං.
ඉදානි ඛො තං ඌහච්ච අසමාක ධම්මතං.
යන දෙවන ගාථාව කීවේය.
“කවර නම් වඳුරෙක් සිල්වතැයි තා විසින් අසන ලදද? දක්නා ලදද? දැන් තා හිස මතට වර්චස් හෙළා කිළිටි කෙරෙමි. එය වඳුරන් වැනි අපේ ධර්මතාවයයි.”
මේ එහි කෙටි අරුතයි. එම්බා බමුණ! මක්කටො වඳුරා කළගුණ දන්නේ ආචාර සම්පන්න වූයේ. සීලවා නාම සිල්වත්කම් ඇත්තේයයි නුඹ විසින් කොහිදී සුතො වා දිට්ඨො වා අසා හෝ දැක හෝ තිබේද? ඉදානි ඛො දැන් මම, තං ඌහච්ච නුඹේ හිසෙහි වර්චස් කොට යන්නෙමි. අස්මාකං අප වඳුරන්ගේ, එසා ධම්මතා උදව් කළ කෙනාගේ හිසෙහි වර්චස් කළ යුතුය යන්න මේ ජන්ම ගතියයි.
ඒ අසා බෝසතාණන් වහන්සේ නැගිට යන්නට පටන් ගත්හ. වඳුරා ඒ අවස්ථාවෙහිම උඩට පැන අත්තෙහි හිඳගෙන ලඹයක් බාන්නාක් මෙන් ඔහුගේ හිසට වර්චස් (කොට) හෙළා කෑ ගසමින් වනලැහැබට පිවිසියේය. බෝසතාණන් වහන්සේ හිස් සෝදා නා ගියේය.
බුදුරජාණන් වහන්සේ මහණෙනි! දෙව්දත් අකෘතඥ වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් මා විසින් කරන ලද ගුණ නොසැලකුවේ යයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා දෙව්දත්ය. බමුණා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
5. ආදිච්චුපට්ඨාන ජාතකය (175)
සබ්බෙසු කිර භූතෙසු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුහක (බොරු සිල් පෙන්වන) භික්ෂුවක අරබයා දේශනා කළ සේක. කථා වස්තුව යට (මුලින්) කියන ලද පරිදිමය.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපද වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥාද සමාපත්තිද උපදවාගෙන මහත් පිරිවර ඇතිව නායක ශාස්තෲවරයා වී හිමාල වනයෙහි වාසය කළ සේක. හෙතෙම එහි බොහෝ කාලයක් වාසයකොට ලුනුඇඹුල් සෙවීම පිණිස පර්වතයෙන් බැස පසල් දනව්වක එක් ගමක් ඇසුරුකොට පන්සලක වාසයට එළඹි සේක. ඉක්බිති එක් කෑදර වඳුරෙක් තවුස් පිරිස පිඬු සිඟීමට ගියකල්හි අසපුවට අවුත් සෙවිලිකොට ඇති තණකොළ ගලවා දමයි. පැන් කළවල ජලය ඉවත දමයි. පැන් කෙණ්ඩිය බිඳ දමයි. ගිනිහල්ගෙයි මලපහ කරයි. තාපසවරු වස් වැස දැන් හිමාල වනය මල්ගෙඩිවලින් සමෘද්ධිවත්ය. සිත් අලවන්නේය. එහිම යන්නෙමුයි, පසල් දනව්වෙහි වැසියන්ගෙන් විමසූහ. මිනිස්සු, ස්වාමීනි! හෙට අපි භික්ෂාව ගෙන අසපුවට එන්නෙමු. එය අනුභවකොට යන්නැයි කියා දෙවන දවසේ බොහෝ කන බොන දෑ රැගෙන එහි ගියාහුය. එය දැය ඒ වඳුරා කුහක බව පෙන්වා මිනිසුන් සිත් දිනාගෙන මටද කෑ යුතු බොජුන් ගෙන්වා ගන්නෙමියි සිතුවේය. හෙතෙම තපස් රකින්නෙකු මෙන් සිල් ඇත්තෙකු මෙන් පෙන්වා තවුසන්ගේ නුදුරෙහි හිරු දෙවියන්ට (සූර්යයාට) වඳිමින් සිටියේය. මිනිස්සු වඳුරා දැක සිල්වතුන් ළඟ වසන්නෝ සිල්වන්ත යයි කියා,