3. මක්කට ජාතකය (173)
තාත! මාණවකො එසො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුහක (නැති ගුණ පෙන්වන) භික්ෂුවක මුල් කරගෙන දේශනා කළ සේක. කථා පුවත ප්රකීර්ණක නිපාතයෙහි උද්දාල ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! මේ භික්ෂුව කුහකයෙක් වූයේ දැන් පමණක් නොව, පෙරත් වඳුරෙකු වී ගිනි නිසා කුහක කම් කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා කසීගමක බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන අවුත් ගෘහ ජීවිතයට පිවිසි සේක. ඉක්බිති ඔහුගේ බැමිණිය එක් පුතෙකු බිහිකර පුතා දුවපැන ඇවිදින කාලයේදීම මව මිය ගියාය. බෝසතාණන් වහන්සේ ඇගේ අවමඟුල් කටයුතු සිදුකර දැන් මට ගිහිගෙයි වාසය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? පැවිදි වන්නෙමියි සිතා හඬා වැටෙන නෑ මිතුරු කැල හැර දමා තම පුතා රැගෙන හිමාල වනයට පිවිස තවුස් පැවිදිව එහි වන මුල්, පළතුරු ආහාරය ගනිමින් වාසය කෙළේය. හෙතෙම එක්දිනක් වැසි කාලයක වැසි වසිද්දී අරටු සහිත දර දල්වා ගිනි තපිමින් ලෑල්ලෙහි නිදාගත්තේය. මොහුගේ පුත් තාපස කුමරා පා සම්භාහනය කරමින් හුන්නේය.
ඉක්බිති එක් වන වඳුරෙක් සීතලෙන් පෙළෙමින් තවුසාගේ අසපුවේ ඒ ගිනිගොඩ දැක ඉදින් මෙහි පිවිසෙන්නෙමි නම් වඳුරෙක් වඳුරෙක් යයි කියා මට තලා නෙරපයි. ගිනි තපින්න නොලබන්නෙමි. දැන් මට කිසියම් උපායක් ඇත. තවුස් වෙස් ගෙන කුහකකම පෙන්වා පිවිසෙන්නෙමියි සිතා මියගිය එක් තවුසෙකුගේ වැහැරි සිවුරු ඇඳගෙන පසුදා පැසද (කූඩය) පළතුරු නෙළන කෙක්කද ගෙන අසපු දොරටව අසල ඒ තල්ගසක් ඇසුරුකොට ගුලිවී සිටියේය. තවුස් කුමරා දැක වඳුරෙකු බව නොදන්නේ එක් මහලු තවුසෙකු සීතලෙන් පෙළෙන්නේ ගිනි තපින්න එන්නට ඇතැයි තවුසාට කථාකොට මොහු පන්සල තුළට කැඳවා ගිනි තපින්නට සලස්වන්නෙමියි සිතා පියා අමතන්නේ,
තාත මාණවකො එසො තාලමූලං අපස්සිතො,
අගාර කඤ්චිදං අත්ථි හන්ද දෙමස්ස ගාරකං.
අගාර කඤ්චිදං අත්ථි හන්ද දෙමස්ස ගාරකං.
යන පළමු ගාථාව කීවේය.
පියාණෙනි! මේ මානවකයා තල්ගස මුල ඇසුරු කොට සිටී. මේ ගෙයද ඉඩ ඇත. එබැවින් මොහුට අපගේ ගෙයි ඉඩ දෙමු.
එහි, මාණවකො එසො යනු සත්ත්වයෙකුට නමකි. එහෙයින් පියාණෙනි! එක් තරුණ සත්ත්වයෙකි. එක් තවුසෙක් යයි ප්‍රකට කරයි. තාල මූලං අපස්සිතො යනු තල්ගසක් ඇසුරුකොට සිටියේය. අගාරකඤ්චිදං අත්ථි යනු අපගේ මේ පැවිදි ගෙයද ඇත. පන්සල සඳහා කියයි. හන්දා යනු පරිත්‍යාග කිරීම් අර්ථයෙහි නිපාතයකි. දෙමස්සගාරකං යනු මොහුට එකත්පසෙක විසීම පිණිස ගෙය දෙමු.
බෝසතාණන් වහන්සේ පුතාගේ කීම අසා නැගිට අසපු දොරටුවෙහි සිට බලන්නේ ඔහුගේ වානර භාවය දැන දරුව! මිනිසුන්ට නම් මෙබඳු මුහුණක් නැත. මොහු වඳුරෙක්. ඒ නිසා මොහු නොකැඳවීය යුතුයි කියා
මා ඛො තං තාත! පක්කොසි දූසෙය්ය නොඅගාරකං,
නෙතා දිසං මුඛං හොති බ්රාහ්මණස්ස සුසීලනො.
නෙතා දිසං මුඛං හොති බ්රාහ්මණස්ස සුසීලනො.
යන දෙවන ගාථාව කීවේය.
දරුව! මොහු නොකැඳව. අපේ ගෙය අපිරිසිදු කරන්නේය. සුසිල්වත් බමුණෙකුගේ මුහුණ මෙබඳු නොවේ.
එහි, දූසෙය්ය නො අගාරකං යනු මොහු මෙහි ඇතුල් වූවොත් මහන්සියෙන් තනාගත් මේ පන්සල ගින්නෙන් හෝ දවාලන්නේය. මල මුත්‍රා කිරීමෙන් හෝ අපවිත්‍ර කරන්නේය. නෙතාදිසං යනු සිල්වත් බමුණෙකුගේ මුහුණ මෙබඳු නොවේ. මොහු වඳුරෙක් යයි කියා බෝසතාණන් වහන්සේ එක් ගිනිපෙනෙල්ලක් ගෙන මෙහි සිටින්නේ කුමටදැයි දමා ගසා ඌ පලවා හැරියේය. වඳුරා වැහැරි සිවුරු ඉවත දා ගසකට නැග කැලෑ පෙදෙසට පිවිසියේය. බෝසතාණන් වහන්සේ සිව්බඹ විහරණ වඩා බඹලොව උපන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා වඳුරුව උපන්නේ මේ කුහක භික්ෂුවයි. තවුස් කුමරා රාහුලය. තවුසා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
4. දුබ්භිය මක්කට ජාතකය (174)
අදම්හ තෙ වාරි බහූතරූපං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එක්දිනක් දම් සභාවෙහි භික්ෂූන් වහන්සේලා දෙව්දත් තෙරුන්ගේ කෙළෙහිගුණ නොදත්, මිත්‍රද්‍රෝහී භාවය කියමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ, මහණෙනි! දේවදත්ත අකෘතඥ මිත්‍රද්‍රෝහී වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් මෙබඳු ස්වභාව වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසී රට එක්තරා ගක බමුණු කුලයක ඉපිද වැඩිවියට පැමිණියාහු ගෘහ ජීවිතයට පත්වූහ. එකල වනාහි කසී රටෙහි මහමග අසල තිරිසනුන්ට බැසිය නොහැකි එක් ගැඹුරු ළිඳක් ඇත. මගට පිවිසෙන පිං කැමති අය දිග ලණුවක් යෙදූ කලයකින් වතුර ඇද එක් ඔරුවකට පුරවා තිරිසන්ගත සතුන්ට වතුර බොන්නට දෙති. එහි හාත්පස මහ වනයක් ඇත. එහි බොහෝ වඳුරෝ වාසය කරත්. ඉක්බිති ඒ මාර්ගයෙහි දෙතුන්දිනක් මිනිස් සංචාරය නතර විය. තිරිසන් සත්තු ජලය නොලැබූහ. පිපාසයෙන් පෙළුණු එක් වඳුරෙක් ජලය සොයමින් ළිඳ සමීපයෙහි හැසිරෙයි. බෝසතාණන් වහන්සේ කිසියම් කටයුත්තක් සඳහා ඒ මගට පිවිස එහි යන්නාහු පැන් පිරිසිදුකර පානයකොට අත් පා සෝදාගෙන සිටින විට ඒ වඳුරා දුටු සේක. ඉක්බිති වඳුරාට දිය පිපාස බව දැන පැන් ඇද ඔරුවෙහි දමා දුන් සේක. පැන් දී විඩා සංසිඳුවා ගැනීම සදහා එක් ගසක් මුල නිදා ගත්තේය. වඳුරා පැන් බී නුදුරෙහි හිඳගෙන විහිලු කරමින් බෝසතාණන් වහන්සේට පීඩා කරවීය. බෝසතාණන් වහන්සේ වඳුරාගේ ඒ ක්‍රියාව දැක එම්බල දුෂ්ට වානරය! පිපාසයෙන් ක්ලාන්ත වූ තට මම බොහෝ පැන් දුන්නෙමි. දැන් නුඹ මට මුඛ විකාර, විහිලු කරන්නෙහිද? අහෝ පවිටාට කළ උපකාරය නිරර්ථක යයි කියා,