2. දද්දර ජාතකය (172)
කොනු සද්දෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් කෝකාලික භික්ෂුව මුල් කරගෙන වදාළ සේක. ඒ කාලයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති භික්ෂූහු, රතු සිරියල් තලාවක නාදකරන තරුණ සිංහයන් මෙන් අහස් ගඟට බසින්නාක් මෙන් සංඝයා වැඳ දහම් කොටස කියත්. ඒ භික්ෂූන් දහම් කොටස කියන කල්හි කෝකාලික භික්ෂුව තමාගේ නුවණ හිස් බව නොදැනම මම ද දහම් කොටස් කියන්නෙමියි භික්ෂූන් අතරට පැමිණ අපට දහම් කොටස කීමට අවස්ථාවක් ලබා නොදෙති. ඉදින් අපටත් අවස්ථාවක් ලබාදනේනාහු නම් අපිත් කියන්නෙමුයි භික්ෂු සංඝයාගේ නම ඉදිරිපත් නොකරම ඒ ඒ තැන කියමින් ඇවිදියි. උන්වහන්සේගේ ඒ කථාව භික්ෂු සංඝයා අතරෙහි ප්රකට විය. භික්ෂූහු පළමුකොටම කෝකාලික භික්ෂුව විමසන්නෙමුයි යන හැඟීමෙන් “ඇවැත්නි! කෝකාලික, අද සංඝයාට ධම්මපද දේශනාව සිදු කරන්නයි කීහ. කෝකාලික ද තමන්ගේ බලය නොදැනම යහපතැයි පිළිගෙන අද ධම්මපද කියන්නෙමියි තමන්ට යෝග්ය කැඳ වැළඳුවේය. කැවිලි වැළඳුවේය. යෝග්ය එළවලුවලින් දන් වැළඳුවේය.
හිරු බැස ගිය පසු බණ ඇසීමට මේ කාලයයි ඝෝෂා කළ (දැන්වූ) කල්හි භික්ෂු සංඝයා රැස්වූහ. කෝකාලික භික්ෂුව කටු කරඬු මල්පැහැය ඇති කහවතක් ඇඳගෙන කිණිහිරි මල් පැහැති සිවුරක් පොරවාගෙන සංඝයා මැදට පිවිස තෙරුන් වහන්සේලාට වැඳ, සරසන ලද රුවන් මණ්ඩපයෙහි පනවන ලද උතුම් ධර්මාසනය නැග සරසන ලද විජිනිපත ගෙන ධම්මපද දේශනා කරන්නෙමියි හිඳ ගත්තේය. එකෙණෙහි උන්වහන්සේගේ ශරීරයෙන් දහඩිය ගැලුවේය. ලජ්ජාවට පත්විය. පළමු ගාථාවෙහි පළමු පදය දේශනාකොට ඊළඟ පදය නොදුටුවේය. සිහිනොවීය. හෙතෙම වෙවුලමින් ධර්ම ආසනයෙන් බැස ලජ්ජාවෙන් සංඝයා මධ්යයෙන් බැහැරව තමන්ගේ පන්සලට වැඩියේය. වෙනත් බහුශ්රැත භික්ෂුවක් ධර්මාසනාරූඪව ධම්මපද ගාථා වදාළ සේක. එතැන් පටන් භික්ෂූහු කෝකාලික භික්ෂුවගේ හිස් බව දැන ගත්තාහුය. ඉක්බිති එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි! කෝකාලික භික්ෂුවගේ හිස්බව පළමුව දැනගැනීමට අපහසු විය. දැන් වනාහි මේ තෙමේ තමන්ම වහසි බැණ (නාදකොට) ප්රකට කෙළේය යන කථාව මතු කළාහුය. බුදුරජාණන් වහන්සේ එහි වැඩමකොට මහණෙනි! මා එන්නට පෙර නුඹලා මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා කෝකාලිකගේ සිද්ධිය පිළිබඳව යයි කී කල්හි, මහණෙනි! කෝකාලික නාදකොට හෙවත් පුරසාරම් කියා ප්රකට වූයේ දැන් පමණක් නොවේ. පෙරත් නාදකොට ප්රකට වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු කරන කල්හි බෝධිසත්ත්වයන් වහන්සේ හිමාලය වන පෙදෙසේ සිංහ යෝනියෙහි ඉපිද බොහෝ සිංහයන්ගේ රජා විය. හෙතෙම නොයෙක් සිංහයන් පිරිවරාගෙන රිදී ගුහාවක වාසය කරයි. ඒ අසල එක්තරා ගුහාවක එක් හිවලෙක්ද වාසය කරයි. ඉක්බිති දිනක් වැස්ස වැස නතර වූවාට පසු සියලු සිංහයෝ සිංහ රජුගේ ගුහා දොරටුව ළඟට රැස්වී සිංහනාද පවත්වමින් ඔවුන්ගේ ක්රීඩා කළාහුය. ඔවුන් එසේ නාදකොට සෙල්ලම් කරන අවස්ථාවේ ඒ හිවලාද නාද කෙළේය. සිංහයෝ හිවලාගේ හඬ අසා මේ හිවලාත් අප සමග නාද කරන්නේ යයි ලජ්ජාවට පත්ව නිහඬ වූහ. සිංහයන් නිහඬ වූ කල්හි බෝසත් සිංහයාගේ පුත් වූ සිංහ පෝතකයා, පියාණෙනි! මේ සිංහයෝ නාද පවත්වමින් සිංහ ක්රීඩා කරමින් සිටියදී එකකුගේ හඬ අසා ලජ්ජාවෙන් නිහඬ වූහ. තමන්ගේ හඬින් තමා කවුරුන්දැයි දන්වා සිටින මොහු කවරෙක්දැයි පියාගෙන් විමසන්නේ,
කොනු සද්දෙන මහතා අභිනාදෙති දද්දරං,
කිං සීහා නප්පටිනන්දන්ති කොනාමෙසො මිගාධිභූ.
කිං සීහා නප්පටිනන්දන්ති කොනාමෙසො මිගාධිභූ.
යන පළමු ගාථාව කීවේය.
මෘගරාජය! මේ රිදී පර්වතය මහත් ශබ්දයෙන් ගුගුරුවන්නේය. කවරෙක්ද? කවර හෙයින් සිංහයෝ පිළිතුරු නාද නොකෙරෙත්ද? මේ තෙමේ කිනම් ඇත්තෙක්ද?
එහි, අභිනාදෙති දද්දරං යනු දද්දර පර්වතය එකම නාදයක් කරයි. මිගාධිභූ යනු පියා අමතයි. මේ එහි අර්ථයයි. සිංහයන්ගේ අධිපතිතුමනි, සිංහ ප්රධානිය! සිංහ රජුනි! ඒ කවරෙක්දැයි නුඹෙන් විමසමි.
ඉක්බිති ඔහුගේ වචනය අසා පියා
අධමො මිගජාතානං සිගාලො තාත වස්සති,
ජාතිමස්ස ජිගුච්ඡන්තා තුණ්හී සීහා සමච්ඡරෙ.
ජාතිමස්ස ජිගුච්ඡන්තා තුණ්හී සීහා සමච්ඡරෙ.
යන ගාථාව කීවේය.
දරුව! මෘග ජාතීන්ට අධම වූ හිවලා හඬයි. මොහුගේ වර්ගය පිළිකුල් කරමින් සිංහයෝ නිහඬව සිටිත්.
එහි, සමච්ඡරෙ යනු සං යනු උපසර්ග මාත්රයකි. නැවතී සිටිත් යන අර්ථයි. තුණ්හී අච්ඡන්ති, නිහඬව හිඳිත් යයි කියන ලද්දේ වෙයි. පොත්වල වනාහි සමච්ඡරෙති යනුවෙන් ලියත්.
බුදුරජාණන් වහන්සේ මහණෙනි! කෝකාලික තමන්ගේ නාදයෙන් තමන් ප්රකට කෙළේ දැන් පමණක් නොවේ. පෙරත් ප්රකට කෙළේ යයි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල හිවලා නම් මේ කෝකාලිකය. සිංහ පෝතකයා නම් රාහුලය. සිංහ රජ වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
3. මක්කට ජාතකය (173)
තාත! මාණවකො එසො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කුහක (නැති ගුණ පෙන්වන) භික්ෂුවක මුල් කරගෙන දේශනා කළ සේක. කථා පුවත ප්රකීර්ණක නිපාතයෙහි උද්දාල ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මහණෙනි! මේ භික්ෂුව කුහකයෙක් වූයේ දැන් පමණක් නොව, පෙරත් වඳුරෙකු වී ගිනි නිසා කුහක කම් කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා කසීගමක බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන අවුත් ගෘහ ජීවිතයට පිවිසි සේක. ඉක්බිති ඔහුගේ බැමිණිය එක් පුතෙකු බිහිකර පුතා දුවපැන ඇවිදින කාලයේදීම මව මිය ගියාය. බෝසතාණන් වහන්සේ ඇගේ අවමඟුල් කටයුතු සිදුකර දැන් මට ගිහිගෙයි වාසය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? පැවිදි වන්නෙමියි සිතා හඬා වැටෙන නෑ මිතුරු කැල හැර දමා තම පුතා රැගෙන හිමාල වනයට පිවිස තවුස් පැවිදිව එහි වන මුල්, පළතුරු ආහාරය ගනිමින් වාසය කෙළේය. හෙතෙම එක්දිනක් වැසි කාලයක වැසි වසිද්දී අරටු සහිත දර දල්වා ගිනි තපිමින් ලෑල්ලෙහි නිදාගත්තේය. මොහුගේ පුත් තාපස කුමරා පා සම්භාහනය කරමින් හුන්නේය.
ඉක්බිති එක් වන වඳුරෙක් සීතලෙන් පෙළෙමින් තවුසාගේ අසපුවේ ඒ ගිනිගොඩ දැක ඉදින් මෙහි පිවිසෙන්නෙමි නම් වඳුරෙක් වඳුරෙක් යයි කියා මට තලා නෙරපයි. ගිනි තපින්න නොලබන්නෙමි. දැන් මට කිසියම් උපායක් ඇත. තවුස් වෙස් ගෙන කුහකකම පෙන්වා පිවිසෙන්නෙමියි සිතා මියගිය එක් තවුසෙකුගේ වැහැරි සිවුරු ඇඳගෙන පසුදා පැසද (කූඩය) පළතුරු නෙළන කෙක්කද ගෙන අසපු දොරටව අසල ඒ තල්ගසක් ඇසුරුකොට ගුලිවී සිටියේය. තවුස් කුමරා දැක වඳුරෙකු බව නොදන්නේ එක් මහලු තවුසෙකු සීතලෙන් පෙළෙන්නේ ගිනි තපින්න එන්නට ඇතැයි තවුසාට කථාකොට මොහු පන්සල තුළට කැඳවා ගිනි තපින්නට සලස්වන්නෙමියි සිතා පියා අමතන්නේ,