1. කල්‍යාණ ධම්ම ජාතකය (171)
කල්‍යාණ ධම්ම යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් එක්තරා බිහිරි නැන්දා කෙනෙකු මුල් කරගෙන දේශනා කළ සේක. සැවැත්නුවර සැදැහැති ප්‍රසන්න, තෙරුවන් සරණගිය පන්සිල් රකින එක් කෙළෙඹි පුත්‍රයෙක් (විවාහකයෙක්) විසීය. හෙතෙම එක්දිනක් ගිතෙල් ආදී බොහෝ බෙහෙත් ද, මල්, සුවඳ වර්ග වස්ත්‍රාදිය ද රැගෙන ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ සමීපයේ බණ අසන්නෙමියි එහි ගියේය. ඔහු එහි ගිය අවස්ථාවෙහි නැන්දා කන බොන දෑ රැගෙන දුවණිය දකිනු කැමැත්තී දුවගේ ගෙට ගියාය. ඈ (නැන්දා) ද ටිකක් බිහිරි ස්වභාවයෙන් යුක්ත වෙයි. නැන්දා දුව සමග ආහාර අනුභව කොට පසුව ඇතිවන බත්මතය දුරු කරමින් අනතුරුව දුවගෙන් විචාළාය. කිම දරුව! නුඹේ සැමියා සතුටින් වාද විවාද නොකරමින් ප්‍රියමනාප ලෙස වාසය කරයිද? අම්මේ! මොනවා කියනවද? නුඹේ බෑණා යම්බඳු සීලයෙන් හා ගතිපැවතුම්වලින් යුක්ත ද එබඳු පැවිද්දෙක් පවා දුර්ලභයි. ඒ උපාසිකාව දුවගේ වචනය හරි හැටියට තේරුම් නොගෙන පැවිද්දෙක් යන වචනය පමණක් ගෙන දුවේ! කුමක් නිසා නුඹේ සැමියා පැවිදි වූයේදැයි මහත් ඝෝෂාවක් කළාය. එය අසා ගෙදර සියලු දෙනා අපේ කෙළඹි පුත්‍රයා පැවිද්දෙකැයි කෑගැසූහ. ඔවුන්ගේ ඝෝෂාව අසා නිවස අසලින් සංචාරය කරන්නෝ ඒ කුමක්ද මේ නිවසෙහි කෙළඹි පුත්‍රයා වනාහි පැවිද්දෙක්දැයි විචාළාහුය. ඒ කෙළඹි පුත්‍රයාද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා විහාරයෙන් නික්මී නුවරට පිවිසියේය.
ඉක්බිති එක් පුරුෂයෙක් අතරමගදී ඔහු දැක යහලුව! ඔබ පැවිදි වූවෙහියයි නුඹේ ගෙදර අඹුදරුවෝද සෙසු සේවක ජනයාද හඬතියි කීවේය. ඉක්බිති ඔහුට මේ අදහස ඇතිවිය. මොහු මා පැවිදි නොවීම පැවිද්දෙක් යයි කියයි. මට ඇතිවූ මේ කිතුගොස අතුරුදහන් කර නොගත යුතුයි. අදම මම පැවිදිවීමට වටී යයි එතැනින්ම ආපසු හැරී බුදුරජාණන් වහ්නසේ වෙත ගොස් සිටිවිට, උපාසකය! දැන්ම බුද්ධ උපස්ථානය කොට ගොස් දැන්ම ආපසු ආවේ කුමක් නිසාදැයි කී කල්හි ඒ කාරණය පවසා ස්වාමීනි! කීර්ති නාමයක් ඇතිවූ විට එය අතුරුදහන් කරගැනීම නොවටියි. ඒ නිසා පැවිදි වෙනු කැමතිව ආවෙමියි කීවේය. හෙතෙම පැවිදි උපසම්පදාව ලබා මනාව පිළිවෙත් පුරන්නේ නොබෝ දිනකින්ම රහත් බවට පැමිණියේය. මේ කරුණ භික්ෂූන් වහන්සේලා අතර ප්‍රකට විය. දිනක් භික්ෂූහු දම් සභාවේදී මේ සිද්ධිය මතු කළාහුය. ඇවැත්නි! අසවල් කෙළඹි පුත්‍රයා උපන්නා වූ කිතුගොස අතුරුදහන් කර නොගත යුතුයයි කියා පැවිදිව දැන් රහත් බවට පැමිණ සිටියි. එහි වැඩමකළ බුදුරජාණන් වහන්සේ මහණෙනි, මා එන්නට පෙර මෙහි කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! පැරණි පඬිවරයෝ පවා උපන්නා වූ කිතුගොස විනාශ කිරීමට නොවටීයයි සිතා පැවිදි වූවාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටුකුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පැමිණියහ. ඔහු දිනක් සිටු ගෙදරින් නික්මී රාජ්‍ය සේවයට ගියේය. ඉක්බිති මොහුගේ නැන්දා දියණිය බලන්නෙමියි ඇගේ ගෙදර ගියාය. ඇය ටිකක් බිහිරි ස්වභාවයක් ඇත්තීය යනාදී සියල්ල වර්තමාන කථාවට සමානයි. ඔහු වනාහි රාජ්‍ය සේවය නිමවා තමන්ගේ නිවසට එනු දැක එක් පුරුෂයෙක් නුඹ වනාහි පැවිදි වීයයි නුඹගේ ගෙදර මහත් වැළපීමක් පවතීයයි කීවේය. බෝසතාණන් වහන්සේ උපන්නා වූ කීර්ති ඝෝෂාව අතුරුදහන් කරන්න නොවටී යයි එතැනින්ම ආපසු හැරී රජු සමීපයට ගොස් සිටියේය. මහ සිටුතුමනි! දැන්ම ගොස් ආපසු ආවේ ඇයිදැයි කී කල්හි දේවයන් වහන්ස! ගෙදර ජනයා වනාහි මා පැවිදි නොවීම පැවිද්දෙක් යයි කියා වැළපෙති. උපන්නා වූ කිතුගොස අතුරුදහන් නොකළ යුතුයයි මම පැවිදි වන්නෙමි. මගේ පැවිද්දට අවසර දෙනු මැනවියි මේ කරුණු ප්‍රකාශ කරමින්
කල්‍යාණ ධම්මොති යදා ජනින්ද, ලොකෙ සමඤ්ඤා අනුපාපුණාති,
තස්මා න හීයෙථ නරො සපඤ්ඤො, හිරියාපි සන්තො ධුරමාදියන්ති.
තස්මා න හීයෙථ නරො සපඤ්ඤො, හිරියාපි සන්තො ධුරමාදියන්ති.
සායං සමඤ්ඤා ඉධ මජ්ජ පත්තා, කල්‍යාණ ධම්මොති ජනින්ද ලොකෙ,
තාහං සමෙක්ඛං ඉධ පබ්බජිස්සං. නහි මත්ථි ඡන්දො ඉධ කාමභොගෙ.
තාහං සමෙක්ඛං ඉධ පබ්බජිස්සං. නහි මත්ථි ඡන්දො ඉධ කාමභොගෙ.
යන මේ ගාථා කීහ.
1. රජතුමනි! ලෝකයෙහි යම්කලෙක (යමෙකු ගැන මේ තැනැත්තා) කල්‍යාණ ධර්ම ඇත්තෙකැයි සම්මතයට පැමිණියේද, නුවණ ඇති මනුෂ්‍ය තෙමේ ඒ (තමාට ලැබුණු) සොඳුරු බව නොපිරිහෙළයි. ලජ්ජාවෙන් යුත් සත්පුරුෂයෝ පැවිද්ද ලබා ගනිත්.
2. නිරිඳුනි! මේ ලෝකයෙහි කල්‍යාණ ධර්මයයි යමක් ඇත්තේද ඒ මේ ප්රඥප්තිය (හොඳනම) මවිසින් අද ලබන ලදි. ඒ ප්රඥප්තිය මම ලබන්නෙමි. පැවිදි වන්නෙමි. කම්සැප කෙරෙහි කැමැත්තක් නැත.
එහි, කල්‍යාණ ධම්මො යනු යහපත් ධර්මයයි. සමඤ්ඤං අනුපාපුණාතී යනු කම්කලෙක සිල්වතා කල්‍යාණ ධර්ම ඇති පැවිද්දෙකැයි යන යෙදෙන මේ පැණවීම් ව්‍යවහාරයට පැමිණෙයිද. තස්මා නහීයෙථ යනු එහෙයින් පැවිද්දෙන් නොපිරිහෙයි. හිරියාපි සන්තො ධුර මාදියන්ති යනු මහරජ! සත්පුරුෂයෝ නම් ආධ්‍යාත්මයෙන් මතු වූ ලජ්ජාවෙන්ද බාහිර වශයෙන් හටගත් බියෙන්ද යුක්ත වූ මේ පැවිදි ධූරය ගනියි. ඉධ මජ්ජ යනු මෙහි මා විසින් අද. තාහං සමෙක්ඛං යනු ඒ මම ගුණ වශයෙන් ලබන ලද පැවිද්ද නුවණින් මෙනෙහි කරන්නේ, බලන්නේ, නහි මත්ථි ඡන්දො යනු මට ඡන්දරාගය, කැමැත්ත නැත. ඉධ කාම භොගෙ යනු මේ ලෝකයෙහි ක්ලේශ කාම, වත්ථු කාමයන් පරිභෝග කිරීමයි.
බෝසතාණන් වහන්සේ මෙසේ කියා රජු ලවා පැවිද්දට අවසර ලබාගෙන හිමවත් පෙදෙසට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥාද, සමාපත්තිද උපදවාගෙන බඹලොව උපන් සේක.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජතුමා නම් ආනන්දය. බරණැස් සිටුතුමා වනාහි ලොව්තුරා බුදුවූ මම ම වූවෙමි යි වදාළහ.