9. සාලක ජාතකය (249)
එකපුත්තකො භවිස්සසි යන මේ දේශනා බුදුරජාණන් වහන්සේ විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා මහතෙර නමක් අරබයා වදාළ සේක. ඒ තෙරුන්වහන්සේ වනාහි එක් ළමයෙක් පැවිදිකරවා පීඩා කරමින් එහි වාසය කරති. සාමණේරයා පීඩාවන් ඉවසිය නොහැකිව උපැවිදි විය. (ගිහි විය.) තෙරුන්වහන්සේ ඔහු වෙත ගොස් කුමාරය! නුඹේ සිවුර නුඹටම (අයත්) වන්නේය. පාත්රයද නුඹටමයි. මා සතු පාත්රා සිවුරුද නුඹටම (අයත්) වන්නේය. එන්න පැවිදිවන්න යනුවෙන් ඔහු පොළඹවති. ඒ ළමයා මම පැවිදි නොවන්නෙමියි කී නමුදු පුන පුනා කියද්දී යළි පැවිදි විය. ඉක්බිති ඔහු පැවිදි වූ දිනයේ සිට නැවතත් තෙරුන්වහන්සේ සාමණේර නම වෙහෙසවති. ඒ සාමණේර නම පෙළීම නොඉවසමින් නැවතත් උපැවිදිව සිටිනවිට ඒ භික්ෂුව පැවිදිවන ලෙස නොයෙක්වර ඉල්ලා සිටිද්දී (ඒ දරුවා) ඔබ මා නුරුස්නෙහිය. මා හැර ජීවත්වන්නටද නොහැක්කෙහිය යන්න මම පැවිදි නොවන්නෙමි’යි කියා පැවිදි නොවීය. භික්ෂූන් වහන්සේලා දම්සභාවේදී ඇවැත්නි! ඒකාන්තයෙන් හොඳ හදවතක් ඇති ඒ ළමයා මහතෙරුන් වහන්සේගෙ සිත දැනගෙන පැවිදි නොවීයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! ඔහු හොඳ හදවතක් ඇතිව සිටියේ දැන් පමණක් නොවේ. පෙරත් සුහදවූයේ ම එක්වරක් ඔහුගේ දොස් දැක නැවත ඔහු ළඟ නොසිටියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කෙළෙඹි කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව ධාන්ය විකුණා දිවි ගෙවූහ. එක්තරා අහිකුණ්ඨිකයෙක් එක් වඳුරෙකු පුහුණු කරගෙන (උගේ ආරක්ෂාවට) ඌ ලවා බෙහෙත් ගෙන්වාගෙන ඌ නයකු නටවමින් දිවි ගෙවීය. හෙතෙම බරණැස් නුවර සැණකෙළි පවත්වන කාලය දැන්වූ කල්හි එහි සෙල්ලම් කරනු කැමැත්තේ මූ ගැන සැලකිලිමත්ව සිටින්නැයි ඒ වඳුරා ඒ ධාන්ය වෙළෙන්දාට බාර දී සැණකෙළියෙහි සෙල්ලම්කොට සත්වන දවසේ වෙළෙන්දා ළඟට ගොස් වඳුරා කොහිදැයි විචාළේය. වඳුරා ස්වාමියාගේ කටහඬ ඇසූ ගමන්ම ධාන්ය වෙළෙඳසලෙන් වේගයෙන් එළියට පැමිණියේය. ඉක්බිති ඔහු වඳුරාට උණ පතුරෙන් පිටට ගසා අල්ලාගෙන උයනට ගොස් පැත්තක බැඳ නිදන්නට විය. වඳුරා ඔහු නිදන බව දැන තමන්ගේ බැම්ම මුදාගෙන පැනගොස් අඹගසට නැග අඹ ගෙඩියක් කා ඇටය අහිකුණ්ඨිකයාගේ ඇඟ හෙලීය. ඔහු පිබිදී බලන්නේ ඌ දැක මිහිරි වචනයෙන් ඌ රවටා ගසින් බස්සාගන්නෙමියි සිතා ඌ පොළඹවමින්
එක පුත්තකො භවිස්සසි, ත්වඤ්ච නො හෙස්සසි ඉස්සරො කුලෙ,
ඔරොහ දුමස්මා සාලක, එහ දානි ඝරතං වජෙමසෙ
ඔරොහ දුමස්මා සාලක, එහ දානි ඝරතං වජෙමසෙ
යන පළමු ගාථාව කීවේය.
මගේ එකම පුතා වූ සාලක! අපගේ ගෙදර ප්රධානියා වන්නේ ඔබයි. ඒ නිසා ගසින් බසින්න. එන්න දැන් ගෙට යම්හ.
එහි අර්ථය; නුඹ මගේ එකම පුත්රයා වන්නෙහි අපේ ගෙදර සම්පත්වල අධිපතියාද ඔබයි. ඔය ගසින් බසින්න. එන්න, අපේ ගෙදර යමු සාලකයැයි (උගේ) නමින් අමතමින් කීවේය.
ඒ අසා වඳුරා-
නනු මයං හදයෙති මඤ්ඤසි, යඤ්ච මං හනසි වෙ ළුයට්ඨියා,
පක්කම්බවනෙ රමාමසෙ, ගච්ඡත්වං ඝරකං යථා සුඛං
පක්කම්බවනෙ රමාමසෙ, ගච්ඡත්වං ඝරකං යථා සුඛං
යන දෙවන ගාථාව කීය.
මා තොපගේ මිතුරෙකැයි සිතහිද? යම් හෙයකින් උණ පතුරෙන් මට ගැසුවෙහිද? එහෙයින් තොප සමග නොඑමි. ඉදුණු අඹ උයන්හි රමණය කරමි. තෙපි සුවසේ ගෙට යව.
එහි; නනු මං හදයතිමඤ්ඤසි යනු නුඹ මට හදවතින් අවමන් නොකරන්නෙහිද? මේ මිත්රයෙකැයි සිතන්නෙහිද යන අර්ථයි. යඤ්ච මං හනසි වෙළුයට්ඨියා යනු යමෙකුට මෙසේ අවමන් කරහිද? යමෙකුට උණ පතුරෙන් තලහිද? ඒ නිසා මම නොඑමියි දක්වයි. ඉක්බිති (වඳුරා) ඔහුට අපි මේ පක්කම්බවනෙ රමාමසෙ, ගච්ඡ ත්වං ඝරකං යථා සුඛං ඉදුණු අඹ වනයෙහි රමණය කරමු. (සතුටු වෙමු) නුඹ කැමති පරිදි ගෙදර යවයි කියා ඉහළට පැන කැලයට පිවිසියේය. අහිකුණ්ඨිකයාද නොසතුටු සිත් ඇත්තේ තමන්ගේ ගෙට ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා සාමණේරයා විය. අහිකුණ්ඨිකයා මහතෙරය. ධාන්ය වෙළෙන්දා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
10. කපි ජාතකය (250)
අයං ඉසී උපසමසඤ්ඤමෙ රතො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ, දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක් නැති ගුණ පෙන්වන (කුහක) භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුවගේ කුහක බව භික්ෂූන් අතරෙහි ප්රකට විය. භික්ෂූහු දම් සභාවෙහිදී “ඇවැත්නි! අසවල් භික්ෂූන් වහන්සේ නිවනට පමුණුවන බුදුසසුනෙහි පැවිදිව නැතිගුණ පෙන්වන ප්රතිපත්තියක් අනුගමනය කරති. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර ගාථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! මේ භික්ෂුව දැන් පමණක් කුහකයෙක් වූයේ නොවේ. පෙරත් කුහකයෙක්මය. ගින්නක් හේතුවන් වඳුරෙක් වී කුහකකම් කළේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.