10. කපි ජාතකය (250)
අයං ඉසී උපසමසඤ්ඤමෙ රතො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ, දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක් නැති ගුණ පෙන්වන (කුහක) භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුවගේ කුහක බව භික්ෂූන් අතරෙහි ප්රකට විය. භික්ෂූහු දම් සභාවෙහිදී “ඇවැත්නි! අසවල් භික්ෂූන් වහන්සේ නිවනට පමුණුවන බුදුසසුනෙහි පැවිදිව නැතිගුණ පෙන්වන ප්රතිපත්තියක් අනුගමනය කරති. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර ගාථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! මේ භික්ෂුව දැන් පමණක් කුහකයෙක් වූයේ නොවේ. පෙරත් කුහකයෙක්මය. ගින්නක් හේතුවන් වඳුරෙක් වී කුහකකම් කළේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව පුතා දුවපැන ඇවිදින කාලයේදී බැමිණිය මළ බැවින් පුතා වඩාගෙන හිමාල වනයට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පුතුද තවුස් කුමරෙකු කොට පන්සල වාසය කළේය. වැසි පටන්ගත් කාලයෙහි නොකඩවා එකදිගට වැසිවසින කල්හි එක් වඳුරෙක් සීතලේ ගැහෙමින් දත් කමින් වෙවුලමින් හැසිරේ. බෝසතාණන් වහන්සේ මහත් දර කොට ගෙනවිත් ගිනි දල්වා ඇඳෙහි වැතිරුණහ. ඔහුගේ පුතාද පා පිරිමදිමින් හුන්නේය. ඒ වඳුරා එක් මළ තවුසෙකුට අයිති වැහැරී සිවුරක් හැඳ පොරවාගෙන අඳුන් දිවිසමක් ඒකාංශකොට (එක් උරහිසක දමා) (පලාපල ගෙනෙන) කඳත් පැන් කෙණ්ඩියත් රැගෙන තවුස් වෙසින් ගොස් පන්සල් දොරටුව ළඟ ගින්දර තියා (ගිනි තැපීමේ කාර්යයෙන්) (තවුසෙකු නොවී තවුසෙකු ලෙස සිටීමේ කුහකකම කොට සිටියේය.) තවුස් කුමරා ඌ දැක පියාණෙනි! සීතලෙන් පීඩා විඳින එක් තාපස කෙනෙක් වෙවුලමින් සිටී. ඔහු මෙහි කැඳවන්න. ගිනි තපින්නේයයි පියාගෙන් ඉල්ලමින් -
අයං ඉසි උපසම සංයමෙ රකො, සංතිට්ඨති සිසිර භයෙන අට්ටිතො,
හන්ද අයං පවිසතුමං අගාරකං, චිනෙතු සීතං දරථඤ්ච කෙවලං
හන්ද අයං පවිසතුමං අගාරකං, චිනෙතු සීතං දරථඤ්ච කෙවලං
යන පළමු ගාථාව කීවේය.
රාගාදී කෙලෙස් සන්සිඳීමෙහි නියැලුණු මේ තාපසයා සීතල නිසා හටගත් බියෙන් පෙලුණේ දොරටුව ළඟ සිටී. අනේ මේ තාපසයා ගෙට පිවිසේවා! සියලු සිත පීඩා දුරුකෙරේවා!
එහි, උපසම සංයමෙ රතො යනු රාගාදී කෙලෙස් සංසිඳවීමෙහි ද, සීල සංවරයෙහිද ඇලුනේ, සංතිට්ඨති යනු ඔහු සිටියි. සිසිරභයෙන යනු සුළඟ හා වැස්ස ඇතිකරන සිසිර සෘතුවට බියෙන්, අට්ටනො යනු පීඩාවට පත්වූයේ, පවිසතමං යනු මොහු පිවිසේවා! කෙවලං යනු සියල්ල ඉතිරි නොකොට.
බෝසතාණන් වහන්සේ පුතාගේ වචනය අසා නැගිට බලමින් වඳුරෙකු බව දැන
නායං ඉසී උපසම සංයමෙ රතො, කපී අයං දූම වරෙ සාඛ ගොචරො,
සො දූසකො රොසකොචාපි ජම්මො, සචෙ වජෙ ඉමම්පි දූසයෙ ඝරං
සො දූසකො රොසකොචාපි ජම්මො, සචෙ වජෙ ඉමම්පි දූසයෙ ඝරං
යනුවෙන් දෙවන ගාථාව කීවේය.
මේ කෙලෙස් සංසිඳීමේ ඇලුණු තවුසෙක් නොවෙයි. මේ වෘක්ෂ ශාඛා ගෝචර කොට ඇති වඳුරෙකි. හෙතෙම එය ගිය තැන මළ මුත්රා කිරීම ආදියෙන් දූෂණය කරන්නෙකි. කිපෙන්නෙකි. ලාමකයෙකි. ඉදින් පිවිසියේ වී නම් මේ ගෙදරද දූෂණය කරන්නේය.
එහි, දුමවර සාඛ ගොචරො යනු ගස්, අතු ගොදුරු (ආහාර) කොට ඇති, සො දූසකො, රොසකො චාපි ජම්මො යනු ඒ මොහු (වඳුරා) ගිය ගිය තැන දූෂණය (කැත) කරන හෙයින් දූසකයෙකි. ගැටෙන බැවින් (කිපෙන බැවින්) රොසකයෙකි. ලාමක බැවින් නීචයෙකි. සචෙ වජේ යනු ඉදින් මූ පන්සලට යයි නම් පිවිසෙන්නේ නම්, මල, මුත්රා කිරීමෙන්ද (පන්සල) ගිනි තැබීමෙන්ද සියල්ල දූෂණය කරන්නේය යනුයි.
මෙසේද කියා බෝසතාණන් වහන්සේ ගිනි පෙනෙල්ලක් ගෙන ඌ තැති ගන්වා පලවා හැරියහ. ඌ උඩ පැන වනයට පලා ගියේ (නැවත නොඑන්නට ම) පලා ගියේය. නැවත ඒ ස්ථානයට නාවේය. බෝසතාණන් වහන්සේ අභිඤ්ඤාද, සමාපත්තිද උපදවාගෙන තාපස කුමාරයාටද කසිණ වඩන හැටි කීහ. ඔහුද අභිඥා හා සමාපත්තීන් ඉපිදවීය. ඒ පිය පුතු දෙදෙනාම නොපිරිහුණු ධ්යාන ඇත්තාහු බඹලොව උපන්නාහුය.