8. කිංසුකෝපම ජාතකය (248)
සබ්බෙහි කිංසුකො දිට්ඨො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කිංසුකොපම සූත්‍රාන්ත දේශනාව අරබයා වදාළ සේක. භික්‍ෂූන් වහන්සේලා සිව් නමක් තථාගතයන් වහන්සේ වෙත එළඹ කමටහන් ඉල්ලූහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට කමටහන් දුන් සේක. උන්වහන්සේලා කමටහන් ලබාගෙන තම තමන්ගේ රෑ දාවල් වසන තැන්වලට වැඩියහ. උන්වහන්සේලා අතුරෙන් එක් නමක් ජීවිස්සායතන (චක්ඛු ඵස්සා යන නය -පෙ- මනෝ ඵස්සායතනය) විමසා බලා රහත් බවට පත්වූහ. එක් භික්‍ෂුවක් පඤ්චස්කන්ධය, එක් භික්‍ෂුවක් සතරමහා භූතයන්ද, එක් භික්‍ෂුවක් අට්ඨාරස ධාතු (ධාතු 18) විමසා බලා රහත් වූහ. උන්වහන්සේලා තම තමන් වහන්සේලා ලැබූ ඤාණ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට දන්වා සිටියාහුය. එහිදී එක් භික්‍ෂුවකට “මේ කමටහන්වල විවිධත්වයක් ඇත. නිවන එකකි. එසේනම් සියලු දෙනාම රහත් බවට පත්වූයේ කෙසේද යනුවෙන් අදහසක් ඇතිවිය. ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේගෙන් විමසීය. ශාස්තෲන් වහන්සේ මහණ! එරබදු ගස දුටු සහෝදරයන් සතරදෙනා කෙසේදැයි වදාරා (සිටිවිට) ස්වාමීනි! ඒ කාරණය අපට වදාරණු මැනවයි ඒ භික්‍ෂූන් විසින් ඉල්වන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජ රජය කරවීය. ඔහුට පුත්‍රයෝ සතරදෙනෙක් සිටියහ. ඔවුහු එක්දිනක් රථාචාරියා කැඳවා යහලුව! අපි කෑල ගස් දකිනු කැමැත්තෙමු. එරබදු ගසක් අපට පෙන්වන්නැයි කීවාහුය. රථාචාරියා යහපති පෙන්වන්නෙමියි කියා හතර දෙනාටම එකවර නොපෙන්වා පළමුව දෙටු පුත්‍රයා රථයෙහි හිඳුවාගෙන වනයට ගෙන ගොස්, මේ එරබදු ගසක් යයි දලු හටගැනීමට ආසන්න කණුවක් ලෙස පෙනෙන කාලයෙහි එරබදු ගස පෙන්වීය. අනිකාට දලු ඇති කාලයෙහි ද අනිකාට මල් පිපුණු කාලයෙහිද අනිකාට ගෙඩි ඇති කාලයෙහිද එම එරබදු ගස පෙන්වීය. පසුකලෙක සහෝදරයෝ සතරදෙනාම එකට හිඳ එරබදු ගස කෙබඳුදැයි කථාවක් උපදවා සිටිවිට එක් කුමාරයෙක් එය දැවුණු කණුවක් වගේ යයි කීවේය. දෙවැන්න නුග ගසක් වැනි යයි කීවේය. තුන්වැන්නා මස්කැටි මෙනැයි කීය. හතරවැන්නා මහරි ගසක් වැනියයි කීවේය. ඔවුහු ඔවුනොවුන්ගේ කථාවෙන් සතුටු නොවී පියා සමීපයට ගොස් දේවයන් වහන්ස! එරබදු ගස කොයි වගේදැයි විචාරා, තොප විසින් කුමක් කියන ලදදැයි කී කල්හි තම තමන් කී ආකාරය රජතුමාට කීවාහුය. රජතුමා, නුඹලා හතරදෙනාම එරබදු ගස දැක ඇත. ඔබලා විසින් මේ කාලයෙහි එරබදු ගස කෙසේද? මේ කාලයෙහි කෙසේදැයි කියා බෙදාහදා රියැදුරු (ගොස්) නොවිමසන ලදි. ඒ නිසා තොපට සැක උපන්නේයයි කියා -
සබ්බෙහි කිංසුකො දිට්ඨො කිනෙත්‍ථත්‍ථ විචිකිච්ඡථ,
නහි සබ්බෙසු ඨානෙසු සාරථී පරිපුච්ඡිතො
යන පළමු ගාථාව කීවේය.
හැමදෙනා විසින්ම කෑල ගස දක්නා ලදි. මේ කරුණෙහි කුමක් නිසා සැක කරව්ද? එරබදු ගස පෙන්වද්දී ඔබලා විසින් හැම අවස්ථාවක් ගැනම රථාචාරියාගෙන් නොවිමසන ලදි.
එහි, නහි සබ්බෙසු ඨානෙසු සාරථී පරිපුච්ඡිතො යනු තොප සියලු දෙනා විසින්ම කෑල ගස දක්නා ලදි. කුමක් නිසා තෙපි මෙහි සැක කරව්ද? හැමවිටම කෑල ගස මෙසේදැයි තොප විසින් ගසෙහි සියලු අවස්ථාවන් ගැන රියදුරුගෙන් නොවිමසන ලදි. ඒ නිසා තොපට සැක උපන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ කරුණ දක්වා මහණ! ඒ සොහොයුරන් සතරදෙනා (ගසේ අවස්ථාවන් පිළිබඳ) බෙදා හදා නොවිමසන ලද බැවින් එරබදු ගස පිළිබඳව සැක ඉපදවූහ. මෙසේ නුඹ ද මේ ධර්මයෙහි සැක ඉපදවූයෙහි යයි වදාරා බුදු වී
එවං සබ්බෙහි ඤාණෙහි යෙසං ධම්මා අජානිතා,
තෙ වෙ ධම්මෙසු කංඛන්ති කිංසු කස්මිං ව භාතරො
යනුවෙන් දෙවන ගාථාව වදාළ සේක.
“මෙසේ සියලු විදසුන් නුවණින් යම් කෙනෙකුන් විසින් ස්පර්ශයතනාදී ධර්මයෝ නොදක්නා ලදද ඔවුහු ඒකාන්තයෙන් කෑල ගස පිළිබඳ සැක කළ සොයුරන් සේ ධර්මයන්හි සැක කරත්.”
එහි අර්ථය, යම්සේ ඒ සහෝදරයෝ සියලු තන්හි කෑල ගසේ විවිධ අවස්ථා නුදුටු බැවින් සැක කළාහුය. මෙසේ සියලු විදසුන් නුවණින් යමෙකු විසින් සියලු ඵස්සායතනය, ස්කන්ධ, භූත ධාතු වශයෙන් බෙදා ඇති ධර්මයන් නොදන්නා ලදද සෝවාන් මාර්ගය ලබාගන්නා ලදද ප්‍රතිවේධ නොකරන ලදද ඒ නිසාම ඒ ඵස්ස ආයතන ආදී ධර්මයන්හි සැක කරත්. එකම එරබදු ගස ගැන සැක කළ සහෝදරයන් හතරදෙනා මෙනි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බරණැස් රජ මම ම වූයෙමි යි වදාළ සේක.
9. සාලක ජාතකය (249)
එකපුත්තකො භවිස්සසි යන මේ දේශනා බුදුරජාණන් වහන්සේ විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා මහතෙර නමක් අරබයා වදාළ සේක. ඒ තෙරුන්වහන්සේ වනාහි එක් ළමයෙක් පැවිදිකරවා පීඩා කරමින් එහි වාසය කරති. සාමණේරයා පීඩාවන් ඉවසිය නොහැකිව උපැවිදි විය. (ගිහි විය.) තෙරුන්වහන්සේ ඔහු වෙත ගොස් කුමාරය! නුඹේ සිවුර නුඹටම (අයත්) වන්නේය. පාත්‍රයද නුඹටමයි. මා සතු පාත්‍රා සිවුරුද නුඹටම (අයත්) වන්නේය. එන්න පැවිදිවන්න යනුවෙන් ඔහු පොළඹවති. ඒ ළමයා මම පැවිදි නොවන්නෙමියි කී නමුදු පුන පුනා කියද්දී යළි පැවිදි විය. ඉක්බිති ඔහු පැවිදි වූ දිනයේ සිට නැවතත් තෙරුන්වහන්සේ සාමණේර නම වෙහෙසවති. ඒ සාමණේර නම පෙළීම නොඉවසමින් නැවතත් උපැවිදිව සිටිනවිට ඒ භික්‍ෂුව පැවිදිවන ලෙස නොයෙක්වර ඉල්ලා සිටිද්දී (ඒ දරුවා) ඔබ මා නුරුස්නෙහිය. මා හැර ජීවත්වන්නටද නොහැක්කෙහිය යන්න මම පැවිදි නොවන්නෙමි’යි කියා පැවිදි නොවීය. භික්‍ෂූන් වහන්සේලා දම්සභාවේදී ඇවැත්නි! ඒකාන්තයෙන් හොඳ හදවතක් ඇති ඒ ළමයා මහතෙරුන් වහන්සේගෙ සිත දැනගෙන පැවිදි නොවීයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! ඔහු හොඳ හදවතක් ඇතිව සිටියේ දැන් පමණක් නොවේ. පෙරත් සුහදවූයේ ම එක්වරක් ඔහුගේ දොස් දැක නැවත ඔහු ළඟ නොසිටියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.