7. පාදඤ්ජලී ජාතකය (247)
අද්ධා පාදඤ්ජලී සබ්බෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවාසය කරන සේක් ලාළුදායි තෙරුන් අරබයා වදාළ සේක. එක්දිනක් අගසව් දෙදෙනා වහන්සේ ප්‍රශ්න විසඳන සේක. භික්‍ෂූහු ප්‍රශ්න විසඳන අයුරු අසමින් තෙරුන්ට ප්‍රශංසා කරත්. පිරිස අතරෙහි හුන් ලාළුදායි තෙර මේ දෙදෙනා වහන්නේ අප හා සමානයි. කුමක් දනිත්දැයි තොල් බින්දේය. (තොල් සෙලවීය) ඒ දැක අගසව් දෙදෙනා වහන්සේලා හුනස්නෙන් නැගිට වැඩියාහුය. පිරිස විසිරී ගියේය. (බිඳුණේය) දම්සභාවෙහිදී භික්‍ෂූහු “ඇවැත්නි! ලාළුදායි තෙර අගසව් දෙදෙනා වහන්සේට නිගරුකොට තොල් බින්දේය. බුදුරජාණන් වහන්සේ ඒ අසා මහණෙනි! දැන් පමණක් නොව පෙරත් ලාළුදායි තොල් සෙලවීම ඊට වැඩි යමක් නොදන්නේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ රජුගේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා විය. රජතුමාට බොළඳ මඳ උත්සාහ ඇති පාදඤ්ජලී නම් පුතෙක් විය. පසුකලෙක පියරජතුමා කළුරිය කළේය. ඇමතිවරු රජුගේ අවමඟුල් කටයුතු කොට කවරෙකු රාජාභිෂේක කරවන්නෙම්දැයි සාකච්ඡා කරමින් රජ පුත් පාදඤ්ජලී රජකරවමුයි කීවාහුය. බෝසතාණන් වහන්සේ වනාහි මේ කුමාරයා බොළඳ මඳ උත්සාහ ඇත්තේය. ඒ නිසා විමසා බලා ඔහු අභිෂේක කරන්නෙමුයි කීහ. ඇමතිවරු විනිශ්චයක් සූදානම්කොට කුමාරයා ළඟ හිඳුවා නඩුවක් විසඳමින් නිසිලෙස නොවිසඳූහ. ඔවුහු වැරදිකරු නිවැරදිකරු කොට කුමාරයාගෙන් කෙසේද? අපි නඩුව මනාව විසඳුවෙහිදැයි විචාළහ. කුමාරයා තොල් බින්දේය. බෝසතාණන් වහන්සේ කුමාරයා නුවණ ඇත්තෙකැයි සිතමි. වැරදි විනිශ්චයක් දුන් බව ඔහු විසින් දැනගන්නට ඇතැයි සිතමින් -
අද්ධා පාදඤ්ජලී සබ්බෙ පඤ්ඤාය අතිරොචති,
තථාහි ඔට්ඨං භුඤ්ජති උත්තරිං නූන පස්සති
යන පළමු ගාථාව කීහ.
ඒකාන්තයෙන් පාදඤ්ජලී කුමාරයා අප හැමට වඩා ප්‍රඥාවෙන් ඉතා බබළයි. එය එසේමය. තොල් බිඳී. මත්තෙහි අන් කරුණක් ඒකාන්තයෙන් බලයි.
එහි අර්ථය; ඒකාන්තයෙන්, පාදඤ්ජලී - පාදඤ්ජලී කුමාරයා, සබ්බෙ අප හැමට වඩා. පඤ්ඤාය අතිරොචති තථාහි ඔට්ඨං භඤ්ජති නූන උත්තරිං නුවණින් බබළයි. එනිසාම තොල් බිඳියි. ඒකාන්තයෙන් තවදුරටත්, වෙනත් කරුණක් පස්සති බලයි.
ඔවුහු තව දවසක විනිශ්චයක් සූදානම්කොට වෙනත් නඩුවක් නිවැරදිව විසඳා කෙසේද? දේවයිනි! නඩුව මනාව විසඳන ලදදැයි විචාළාහුය. කුමාරයා නැවතද තොල් සෙලවීය. ඉක්බිති ඔහුගේ මෝඩ බව දැන බෝසතාණන් වහන්සේ -
නායං ධම්මං අධම්මං වන අත්‍ථා නත්‍ථං ව බුජ්ඣති,
අඤ්ඤානු ඔට්ඨ නිබ්භොගා නායං ජානානි කිඤ්චනං
යන දෙවන ගාථාව කීහ.
මේ පාදඤ්ජලී කුමාරයා, දහමද නොදහමද, දියුණුවද පිරිහීමද නොදනී. තොල් බිඳුම හැර අන් කිසිවක් නොදනී.
ඇමතිවරු පාදඤ්ජලී කුමාරයාගේ බොළඳ බව දැන බෝසතාණන් වහන්සේ රාජ්‍යයෙහි අභිෂේක කළාහුය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා නිමවා වදාළ සේක. එකල පාදඤ්ජලී කුමාරයා ලාළුදායී විය. නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
8. කිංසුකෝපම ජාතකය (248)
සබ්බෙහි කිංසුකො දිට්ඨො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කිංසුකොපම සූත්‍රාන්ත දේශනාව අරබයා වදාළ සේක. භික්‍ෂූන් වහන්සේලා සිව් නමක් තථාගතයන් වහන්සේ වෙත එළඹ කමටහන් ඉල්ලූහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට කමටහන් දුන් සේක. උන්වහන්සේලා කමටහන් ලබාගෙන තම තමන්ගේ රෑ දාවල් වසන තැන්වලට වැඩියහ. උන්වහන්සේලා අතුරෙන් එක් නමක් ජීවිස්සායතන (චක්ඛු ඵස්සා යන නය -පෙ- මනෝ ඵස්සායතනය) විමසා බලා රහත් බවට පත්වූහ. එක් භික්‍ෂුවක් පඤ්චස්කන්ධය, එක් භික්‍ෂුවක් සතරමහා භූතයන්ද, එක් භික්‍ෂුවක් අට්ඨාරස ධාතු (ධාතු 18) විමසා බලා රහත් වූහ. උන්වහන්සේලා තම තමන් වහන්සේලා ලැබූ ඤාණ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට දන්වා සිටියාහුය. එහිදී එක් භික්‍ෂුවකට “මේ කමටහන්වල විවිධත්වයක් ඇත. නිවන එකකි. එසේනම් සියලු දෙනාම රහත් බවට පත්වූයේ කෙසේද යනුවෙන් අදහසක් ඇතිවිය. ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේගෙන් විමසීය. ශාස්තෲන් වහන්සේ මහණ! එරබදු ගස දුටු සහෝදරයන් සතරදෙනා කෙසේදැයි වදාරා (සිටිවිට) ස්වාමීනි! ඒ කාරණය අපට වදාරණු මැනවයි ඒ භික්‍ෂූන් විසින් ඉල්වන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජ රජය කරවීය. ඔහුට පුත්‍රයෝ සතරදෙනෙක් සිටියහ. ඔවුහු එක්දිනක් රථාචාරියා කැඳවා යහලුව! අපි කෑල ගස් දකිනු කැමැත්තෙමු. එරබදු ගසක් අපට පෙන්වන්නැයි කීවාහුය. රථාචාරියා යහපති පෙන්වන්නෙමියි කියා හතර දෙනාටම එකවර නොපෙන්වා පළමුව දෙටු පුත්‍රයා රථයෙහි හිඳුවාගෙන වනයට ගෙන ගොස්, මේ එරබදු ගසක් යයි දලු හටගැනීමට ආසන්න කණුවක් ලෙස පෙනෙන කාලයෙහි එරබදු ගස පෙන්වීය. අනිකාට දලු ඇති කාලයෙහි ද අනිකාට මල් පිපුණු කාලයෙහිද අනිකාට ගෙඩි ඇති කාලයෙහිද එම එරබදු ගස පෙන්වීය. පසුකලෙක සහෝදරයෝ සතරදෙනාම එකට හිඳ එරබදු ගස කෙබඳුදැයි කථාවක් උපදවා සිටිවිට එක් කුමාරයෙක් එය දැවුණු කණුවක් වගේ යයි කීවේය. දෙවැන්න නුග ගසක් වැනි යයි කීවේය. තුන්වැන්නා මස්කැටි මෙනැයි කීය. හතරවැන්නා මහරි ගසක් වැනියයි කීවේය. ඔවුහු ඔවුනොවුන්ගේ කථාවෙන් සතුටු නොවී පියා සමීපයට ගොස් දේවයන් වහන්ස! එරබදු ගස කොයි වගේදැයි විචාරා, තොප විසින් කුමක් කියන ලදදැයි කී කල්හි තම තමන් කී ආකාරය රජතුමාට කීවාහුය. රජතුමා, නුඹලා හතරදෙනාම එරබදු ගස දැක ඇත. ඔබලා විසින් මේ කාලයෙහි එරබදු ගස කෙසේද? මේ කාලයෙහි කෙසේදැයි කියා බෙදාහදා රියැදුරු (ගොස්) නොවිමසන ලදි. ඒ නිසා තොපට සැක උපන්නේයයි කියා -