6. තේලෝවාද ජාතකය (246)
හනත්වා ඣත්වා වධිත්වා ච යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර ඇසුරු කරගෙන ඇති කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක් සීහ සේනාධිපති අරබයා වදාළ සේක. හෙතෙම බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ආරාධනා කොට දෙවන දිනයේ මස් සහිත දානයක් දුන්නේය. නිගණ්ඨයෝ ඒ අසා කිපී නොසතුටු සිත් ඇතිව තථාගතයන් වහන්සේ වෙහෙසනු කැමතිව ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ දැන දැන තමා උදෙසා සකස් කළ මස් අනුභව කළහ යනුවෙන් ආක්රෝස කළාහුය. භික්ෂූහු දම්සභාවෙහි “ඇවැත්නි! නිගණ්ඨනාථ පුත්රයා ශ්රමණ භවත් ගෞතමයෝ දැනගෙන තමා උදෙසා සකස්කළ මස් වැළඳූහ යනුවෙන් දොස් කියමින් පිරිස සමග ඇවිදීයයි” කථාවක් මතු කළහ. ඒ අසා බුදුරජාණන් වහන්සේ මහණෙනි, නිගණ්ඨනාථ පුත්රයා උදෙසා කළ මස් කෑමෙන් මට ගැරහුවේ දැන් පමණක් නොවේ. පෙරත් ගැරහුවේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහබෝසතාණන් වහන්සේ බ්රාහ්මණ කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තවුස් පැවිද්දෙන් පැවිදිව ලුණු ඇඹුල් සෙවීම පිණිස හිමාල වනයේ සිට බරණැස් නුවරට අවුත් දෙවන දවසේ නගරයට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති එක් කෙළෙඹි පුත්රයෙක් තවුසා වෙහෙසන්නෙමියි සිතා නිවසට කැඳවාගෙන අවුත් පනවන ලද ආසනයක හිඳුවා මස් මාංශ සහිත බොජුන් වළඳවා වළඳා අවසානයේදී එකත්පසෙක හිඳගෙන මේ මස් නුඹවහන්සේ උදෙසාම ප්රාණීන් මරා සකස් කරන ලද්දකි. මේ අකුසලය මට පමණක් නොවේවා! නුඹවහන්සේටත් වේවායි කියා -
හනත්වා ඣත්වා වධිත්වා ච දෙතිදානං අසඤ්ඤතො,
එදිසං භත්තං භුඤ්ජමානො සපාපෙන උපලිප්පති
එදිසං භත්තං භුඤ්ජමානො සපාපෙන උපලිප්පති
යන පළමු ගාථාව කීය.
දුසිල් පුද්ගලයා පහරදී ක්ලාන්ත කරවා, මරා දන් දේද, එබඳු දන් වළඳන ඒ පුද්ගලයාද පවින් තැවරේ.
එහි, හනත්වා යනු ගසා පහරදී, ඣත්වා යනු ක්ලාන්තකොට, වධිත්වා යනු මරා. දෙති දානං අසඤ්ඤතො යනු සංයමයක් නැති දුසිල් පුද්ගලයා මෙසේ කොට මෙසේ දන් දේ. එදිසං භන්තං භුඤ්ජමානො ස පාපෙන උපලිප්පතති යනු උදෙසා පිළියෙල කළ මෙබඳු (මස් සහිත) බත් අනුභව කරන ඒ ශ්රමණයාද පාපයෙන් තැවරේ. සංයෝග වේ.
ඒ අසා බෝසතාණන් වහන්සේ,
පුත්තදාරම්පි චෙ හනත්වා දෙති දානං අසඤ්ඤතො,
භුඤ්ඤමානොපි සප්පඤ්ඤො නපාපෙන උපලිප්පති
භුඤ්ඤමානොපි සප්පඤ්ඤො නපාපෙන උපලිප්පති
යන දෙවන ගාථාව කීහ.
දුසිල් තෙමේ අඹුදරුවනුදු මරා දන් දේද, එය වළඳන නුවණ ඇති තැනැත්තා පාපයෙන් නොතැවරේ. (පවට මුසුවන්නේ නැත.)
එහි, භුඤ්ජමානොපි සප්පඤ්ඤොති යනු අනිත් මසක් තිබේවා. අඹුදරුවන් මරා වුවද දුසිල් පුද්ගලයා විසින් දෙන දානය ඉවසීම, මෛත්රිය ආදී ගුණයෙන් යුත් නුවණ ඇති පුද්ගලයා වළඳන්නේ නමුදු (වැළඳුවත්) පාපයෙන් නොතැවරෙන්නේය. මෙසේ ඔහුට බෝසතාණන් වහන්සේ දහම් දෙසා හුනස්නෙන් නැගී ගිය සේක.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කෙළෙඹි පුත්රයා නිගණ්ඨනාථ පුත්රයා විය. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
7. පාදඤ්ජලී ජාතකය (247)
අද්ධා පාදඤ්ජලී සබ්බෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවාසය කරන සේක් ලාළුදායි තෙරුන් අරබයා වදාළ සේක. එක්දිනක් අගසව් දෙදෙනා වහන්සේ ප්රශ්න විසඳන සේක. භික්ෂූහු ප්රශ්න විසඳන අයුරු අසමින් තෙරුන්ට ප්රශංසා කරත්. පිරිස අතරෙහි හුන් ලාළුදායි තෙර මේ දෙදෙනා වහන්නේ අප හා සමානයි. කුමක් දනිත්දැයි තොල් බින්දේය. (තොල් සෙලවීය) ඒ දැක අගසව් දෙදෙනා වහන්සේලා හුනස්නෙන් නැගිට වැඩියාහුය. පිරිස විසිරී ගියේය. (බිඳුණේය) දම්සභාවෙහිදී භික්ෂූහු “ඇවැත්නි! ලාළුදායි තෙර අගසව් දෙදෙනා වහන්සේට නිගරුකොට තොල් බින්දේය. බුදුරජාණන් වහන්සේ ඒ අසා මහණෙනි! දැන් පමණක් නොව පෙරත් ලාළුදායි තොල් සෙලවීම ඊට වැඩි යමක් නොදන්නේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ රජුගේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා විය. රජතුමාට බොළඳ මඳ උත්සාහ ඇති පාදඤ්ජලී නම් පුතෙක් විය. පසුකලෙක පියරජතුමා කළුරිය කළේය. ඇමතිවරු රජුගේ අවමඟුල් කටයුතු කොට කවරෙකු රාජාභිෂේක කරවන්නෙම්දැයි සාකච්ඡා කරමින් රජ පුත් පාදඤ්ජලී රජකරවමුයි කීවාහුය. බෝසතාණන් වහන්සේ වනාහි මේ කුමාරයා බොළඳ මඳ උත්සාහ ඇත්තේය. ඒ නිසා විමසා බලා ඔහු අභිෂේක කරන්නෙමුයි කීහ. ඇමතිවරු විනිශ්චයක් සූදානම්කොට කුමාරයා ළඟ හිඳුවා නඩුවක් විසඳමින් නිසිලෙස නොවිසඳූහ. ඔවුහු වැරදිකරු නිවැරදිකරු කොට කුමාරයාගෙන් කෙසේද? අපි නඩුව මනාව විසඳුවෙහිදැයි විචාළහ. කුමාරයා තොල් බින්දේය. බෝසතාණන් වහන්සේ කුමාරයා නුවණ ඇත්තෙකැයි සිතමි. වැරදි විනිශ්චයක් දුන් බව ඔහු විසින් දැනගන්නට ඇතැයි සිතමින් -