5. මූලපරියාය ජාතකය (245)
කාලොඝසති භූතානි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර සුභග වනයෙහි වැඩවාසය කරන සේක් මූලපරියාය සූත්‍රාන්තය අරබයා වදාළ සේක. එකල්හි වනාහි ත්‍රිවේදයෙහි පරතෙරට ගියා වූ බමුණෝ පන්සියයක් බුදු සසුනෙහි පැවිදිව ත්‍රිපිටකය ඉගෙනගෙන මානයෙන් මත් වී, සම්මා සම්බුදුරජාණන් වහන්සේද තුන්පිටකය දනිති. අපිද ඒවා දනිමු. මෙසේ ඇතිකල්හි අපට වඩා උන්වහන්සේගේ ඇති වෙනස කුමක්දැයි සිතා බුද්ධෝපස්ථානයට නොයත්. (අපි) බුදුරජාණන් වහන්සේට සමාන වෙමුයි සිතා හැසිරෙත්.
ඉක්බිති එක් දවසක් බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලා අවුත් තමන් වහන්සේ සමීපයෙහි හුන් කල්හි අට තැනකින් සරසා මූලපරියාය සුත්‍රාන්තය වදාළ සේක. ඔවුහු (එම සූත්‍රයෙහි) කිසිවක් දැන නොගත්හ. එවිට ඔවුන්ට “අපි අප හා සමාන පඬිවරුන් නැතැයි” මානය ඇතිකර ගනිමු. දැන් අපි කිසිදෙයක් නොදනිමු. බුදුරජාණන් වහන්සේට සමාන පඬිවරයෙක් නම් නැත. අනේ! බුදුගුණයක මහිමයයි සිතා ඔවුන් එතැන් පටන් නිහතමාන වී උදුරා දැමූ දළ ඇති සර්පයන් මෙන් දමනය වූහ. බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර කැමතිතාක් කල් වැඩසිට විශාලා මහනුවරට වැඩමවා ගෝතමක චේතියෙහිදී ගෝතමක සූත්‍රය වදාළ සේක. ඒ අවස්ථාවේ දහසක් ලෝකධාතූන් කම්පා විය. ඒ (දේශනාව) අසා ඒ භික්‍ෂූහු රහත් වූහ. මූලපරියාය සූත්‍රාන්ත දේශනාවගේ කෙළවර බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර වැඩවාසය කරද්දීම භික්‍ෂූහු දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි! ආශ්චර්යයකි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය, බමුණු කුලයෙන් පැවිදි වූ, මානයෙන් මත් වූ ඒ භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මූලපරියාය සූත්‍ර දේශනාවෙන් නිහතමානී බවට පත්කරන ලදහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මම මෙසේ මොවුන් මානයෙන් හිස උදුම්මාගෙන හැසිරෙන කල්හි නිහතමානින් කළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් දිසාපාමොක් ඇදුරු වී පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර ශාස්ත්‍රය ඉගැන්වූ සේක. ඒ අතවැසි පන්සියයද නිමවන ලද ශිල්ප ඇතිව පාඩම් දී (තවත් ඇද්දැයි ප්‍රශ්නකොට නැති බව දැන) යම් පමණක් අප විසින් ශිල්ප දනිමුද, ගුරුවරයාද එපමණක්ම දනී. දැනීමේ විශේෂයක් නැතැයි මානයෙන් උඩඟු වී ගුරුවරයා සමීපයට නොයත්. වත් පිළිවෙත් නොකරත්. ඔවුන් එක් දවසක් ඇදුරුතුමා ඩෙබර ගසක් මුල සිටිනවිට එතුමා වංචා කරනු කැමතිව ඩෙබර ගසට නියෙන් තට්ටුකොට මේ ගස නිස්සාර යැයි කීවාහුය. බෝධිසත්ත්වයන් වහන්සේ තමන් රවටන බව දැන අතවැසියනි! තොපගෙන් එක් ප්‍රශ්නයක් අසන්නෙමියි කී සේක. ඔවුහු තුටුපහටුව කියනු මැනවි, පිළිතුරු කියන්නෙමුයි කීවෝය. ඇදුරුතුමා ප්‍රශ්නය අසමින් -
කාලො ඝසති භූතානි සබ්බානෙව සහත්තනා,
යොච කාල ඝසො භූතො සභූත පචනිං පචී.
යන පළමු ගාථාව කීය.
කාලය තමා හා සමග හැම සතුන්ම කයි. කාලය කාදැමූ සත්ත්වයා අළුකළේය. තෘෂ්ණාව දැවීය.
එහි, කාලො යනු පෙරවරු කාලය පස්වරු කාලය ආදියයි. භූතානි යන මෙය සත්ත්වයන්ට නමකි. කාලය, සත්ත්වයන්ගේ සම් මස් ආදිය උදුර උදුරා (උගුල්ල උගුල්ලා) නොකයි. එහෙත් සත්ත්වයන්ගේ ආයුෂය, වර්ණය (ලස්සන) බලය ගෙවා දමමින් තරුණකම මඩිමින් නිරෝගි බව නැති කරමින් කාදමයි යනුවෙන් කියන ලදි. මෙසේ කාදමමින් කිසිවක් ඉතිරි නොකරයි. සබ්බානෙව සියල්ලම කයි. සත්ත්වයන් පමණක්ම නොවෙයි. සහත්තනා තමාවත් කයි. (කාලය කාලය විසින්ම කාදමනු ලැබේ) පෙරවරු කාලය පස්වරු කාලයට නොපැමිණෙයි. පස්වරු කාලය ආදියෙහිද ඒ ක්‍රමයමයි. යො ච කාලඝසො භූතො යන මෙය රහතන් වහන්සේට නමකි. උන්වහන්සේ ආර්ය මාර්ගයෙන් මත්තෙහි උපදින (ප්‍රතිසන්ධි) කාලය ගෙවා දමා කා දමා සිටින බැවින් “කාලඝසො භූතො” යයි කියනු ලැබේ. ස භූත පචනිං පචී යනු සත්ත්වයන් අපායවලදී (එහි ගින්නෙන්) දවන යම් මේ තණ්හාවක් වේද, රහතන් වහන්සේ ඒ තෘෂ්ණාව ඤාණ නමැති ගින්නෙන් පිසූහ. දැවූහ. අළුකළහ. එහෙයින් “භූත පචනි” යම් තණ්හාව ‘පචී’ පිසුවේයයි (දැවීයයි) කියන ලදි. ‘පජනිං’ යනුද පාඨයකි. උපදවන්නිය යන අර්ථයයි.
මේ ප්‍රශ්නය අසා මානවයන් අතුරෙන් එක් අයෙක්වත් තේරුම් ගැනීමට සමත් නොවීය. ඉක්බිති ඔවුන්ට බෝසතාණන් වහන්සේ නුඹලා මේ ප්‍රශ්නය ත්‍රිවේදයෙහි ඇතැයි නොසලකන්න. නුඹලා මා දන්නා සියල්ල “අපිත් දනිමුයි” කියා සිතමින් මා ඩෙබර ගසකට සමාන කරව්ද? නුඹලා නොදන්නා බොහෝ දේ මා දන්නා බව තොපි නොදනිහුද? යව්, සත්දිනක් කල්දෙමි. එපමණ කාලයකින් මේ ප්‍රශ්නය සිතවුයි කීහ. ඔවුන් බෝධිසත්ත්වයන්ට වැඳ තම තමන් වාසය කරන ස්ථානවලට ගොස් සත් දවසක් සිතුවත් ප්‍රශ්නයේ අගක් මුලක් නොදුටුවාහුය. ඔවුහු සත්වන දින ඇදුරුතුමා වෙත ගොස් වැඳ හිඳගෙන සිටිවිට කෙසේද? ශිෂ්‍යයිනි, ප්‍රශ්නයට පිළිතුර දැනගත්තාහුදැයි ඇසූහ. ඔවුහු නොදන්නා බව කීවාහුය. නැවත බෝසතාණන් වහන්සේ ඔවුන්ට ගරහමින් -