4. වීතිච්ඡ ජාතකය (244)
යං පස්සති න තං ඉච්ඡති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් පලාසිකනම් (අනුන්ගේ දොස් කියන) පරිබ්‍රාජකයෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි මුළු දඹදිව පුරා ප්‍රතිවාදියෙකු නොලබා සැවැත්නුවරට අවුත් මා සමග වාද කරන්නට සමත් කවුදැයි විචාරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යයි අසා මහජනයා විසින් පිරිවරන ලද්දේ ජේතවනාරාමයට ගොස් සිව් පිරිස් මැද ධර්මදේශනා කරන භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාළේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නය විසඳා “එක නම් කුමක්ද” යන ප්‍රශ්නය විචාළ සේක. ඔහු පිළිතුරු කියන්නට අසමත් වූයේ නැගිට පලා ගියේය. එහි සිටි පිරිස ස්වාමීනි! ඔබවහන්සේ විසින් එක පදයෙන්ම පරිබ්‍රාජකයා නිගරුවට පත් කරන ලදීන යයි කීවාහුය. උපාසකවරුනි! මම ඔහු එක පදයකින් නිග්‍රහයට පත් කළේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ කළෙමි යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.**
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු කම්සැප අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව දිගුකලක් හිමාල වනයෙහි වාසය කළ සේක. හෙතෙම හිමාලය පර්වතයෙන් බැස එක් නියම්ගමක් ඇසුරුකොට ගඟේ නැම්මක (ගංගා නිවර්තනයක) ඇති පන්සලක වාසය කළේය. ඉක්බිති එක් පිරිවැජියෙක් සියලු දඹදිව ප්‍රතිවාදියෙකු නොලැබ ඒ නියම්ගමට පැමිණ මා සමග වාද කරන්නට සමත් කිසිවෙක් ඇත්දැයි විමසා, ඇතැයි බෝසතාණන් වහන්සේගේ ආනුභාවය අසා මහජනයා විසින් පිරිවරන ලද්දේ බෝසතුන් වසන තැනට ගොස් පිළිසඳර කථාකොට හුන්නේය. ඉක්බිති ඔහුගෙන් බෝධිසත්ත්වයන් වහන්සේ වන සුවඳ මුසුවූ ගඟෙහි පැන් බොන්නෙහිදැයි විචාළහ. පිරිවැජියා වාදයට බසිමින් කුමන ගංඟාවක්ද? වැලි ගඟද, ජල ගඟද, මෙගොඩදී එගොඩදැයි ඇසීය. බෝසතාණෝ පිරිවැජිය! ඒ ජලයත් වැලිත් මෙගොඩත් එගොඩත් හැර ගංඟාවක් ලැබෙන්නේ කොහෙන්දැයි ප්‍රශ්න කළහ. පිරිවැජියා එය නොවැටහෙන්නෙක්ව නැගිට පලා ගියේය. ඔහු පලාගිය කල්හි බෝසතාණන් වහන්සේ එහි සිටි පිරිසට දම් දෙසමින් -
යං පස්සති න තං ඉච්ඡති, යඤ්ච න පස්සති තංකිර ඉච්ඡති,
මඤ්ඤාමි චිරං චරිස්සති, නහි තං ලච්ඡති යං සො ඉච්ඡති
යං ලභති න තෙන තුස්සති, යං පත්‍ථෙති ලද්ධං හීළෙති,
ඉච්ඡා හි අනන්ත ගොචරා, වීතිච්ඡානං නමො කරොමසෙ
යන මේ ගාථා කීහ.
දකින දෙයට කැමති නැත. නොදකින දෙයට කැමතිය. (ජලය නැති ගඟක් සොයමින්) බොහෝකල් ඇවිදින්නේ යයි සිතමි. ඔහු කැමති දේ නොලබන්නේය.
ලද දෙයින් සතුටු නොවේ. පතන ලද දෙය ලැබූ විට එය හෙළාදකියි. ආසාව අනන්ත අරමුණු ඇත්තේය. පහකළ ආසා ඇත්තවුන්ට නමස්කාර කරමු.
එහි, යංපස්සති යනු ජලය ආදි යමක් දකියිද, එය ගඟක් යයි අකැමති වෙයි. යඤ්ච නපස්සති යනු යමෙක් ජලය ආදියෙන් තොර ගංගාවක් නොදකීද එය කැමති වෙයි. මඤ්ඤාමි චිරං චරිස්සති යනු මම මෙසේ සිතමි. මේ පිරිවැජියා මෙබඳු (ජලය ආදිය නැති) ගංගාවක් සොයමින් කලක් හැසිරෙන්නේය. ජලය ආදියෙන් තොර ගඟක් සොයන්නාක් මෙන් රූපාදියෙන් තොර ආත්මයක් සොයමින් සසරෙහිම බොහෝ කලක් හැසිරෙන්නේය. නහි තං ලච්ඡති යනු බොහෝ කාලයක් හැසිරෙමින් මෙබඳු ගංගාවක් හෝ ආත්මයක් හෝ කැමති වන්නේ නම් එය නොලබන්නේය. යං ලභති යනු යම් ජලයක් හෝ රූපාදියක් හෝ ලබයි නම් එයින් සතුටු නොවෙයි. යං පත්‍ථෙති ලද්ධං හීළෙති යනු මෙසේ ලැබුණු දෙයින් සතුටු නොවෙමින් පතන පතන සම්පත් ලැබ මෙයින් ඇති ඵලය කුමක්දැයි පිළිකුල් කරයි. අවමන් කරයි. ඉච්ඡාහි අනන්තගොචරා යනු ලද ලද දේ පිළිකුල් කොට අනෙක් අනෙක් අරමුණු කැමති වීමෙන් මේ ඉච්ඡා නම් වූ තෘෂ්ණාව අනන්ත අරමුණු ඇති එකක් වේ. වීතිච්ඡානං නමො කරොමසෙ යනු ඒ නිසා යමෙක් පහවූ ආසා ඇති බුද්ධාදී උතුමන්ට අපි නමස්කාර කරමු යි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල පිරිවැජියාම මෙකලත් පිරිවැජියාම විය. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
5. මූලපරියාය ජාතකය (245)
කාලොඝසති භූතානි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර සුභග වනයෙහි වැඩවාසය කරන සේක් මූලපරියාය සූත්‍රාන්තය අරබයා වදාළ සේක. එකල්හි වනාහි ත්‍රිවේදයෙහි පරතෙරට ගියා වූ බමුණෝ පන්සියයක් බුදු සසුනෙහි පැවිදිව ත්‍රිපිටකය ඉගෙනගෙන මානයෙන් මත් වී, සම්මා සම්බුදුරජාණන් වහන්සේද තුන්පිටකය දනිති. අපිද ඒවා දනිමු. මෙසේ ඇතිකල්හි අපට වඩා උන්වහන්සේගේ ඇති වෙනස කුමක්දැයි සිතා බුද්ධෝපස්ථානයට නොයත්. (අපි) බුදුරජාණන් වහන්සේට සමාන වෙමුයි සිතා හැසිරෙත්.
ඉක්බිති එක් දවසක් බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලා අවුත් තමන් වහන්සේ සමීපයෙහි හුන් කල්හි අට තැනකින් සරසා මූලපරියාය සුත්‍රාන්තය වදාළ සේක. ඔවුහු (එම සූත්‍රයෙහි) කිසිවක් දැන නොගත්හ. එවිට ඔවුන්ට “අපි අප හා සමාන පඬිවරුන් නැතැයි” මානය ඇතිකර ගනිමු. දැන් අපි කිසිදෙයක් නොදනිමු. බුදුරජාණන් වහන්සේට සමාන පඬිවරයෙක් නම් නැත. අනේ! බුදුගුණයක මහිමයයි සිතා ඔවුන් එතැන් පටන් නිහතමාන වී උදුරා දැමූ දළ ඇති සර්පයන් මෙන් දමනය වූහ. බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර කැමතිතාක් කල් වැඩසිට විශාලා මහනුවරට වැඩමවා ගෝතමක චේතියෙහිදී ගෝතමක සූත්‍රය වදාළ සේක. ඒ අවස්ථාවේ දහසක් ලෝකධාතූන් කම්පා විය. ඒ (දේශනාව) අසා ඒ භික්‍ෂූහු රහත් වූහ. මූලපරියාය සූත්‍රාන්ත දේශනාවගේ කෙළවර බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර වැඩවාසය කරද්දීම භික්‍ෂූහු දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි! ආශ්චර්යයකි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය, බමුණු කුලයෙන් පැවිදි වූ, මානයෙන් මත් වූ ඒ භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මූලපරියාය සූත්‍ර දේශනාවෙන් නිහතමානී බවට පත්කරන ලදහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මම මෙසේ මොවුන් මානයෙන් හිස උදුම්මාගෙන හැසිරෙන කල්හි නිහතමානින් කළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.